ව්‍යවස්ථා දායක සභාව සහ විධායකය අතර මතුවෙමින් පවතින ගැටළුකාරි තත්වය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සිය මතය දක්වමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.


එම සභාවේ සාමාජිකයකු නොවුනත් ඇති විය හැකි ව්‍යවස්ථා ගැටළුව සම්බන්ධව නිරික්ෂණ ඔහු මෙම ලිපිය මගින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇත.

 

මීට පෙර ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථා දායක සභාවේ තීරණයට එරෙහිව පාර්ලිමේන්තුවේ දී කරුණු දැක්වු බව සිහිපත් කර දෙන මන්ත්‍රීවරයා එම ප්‍රකාශය හරහා බරපතල ව්‍යවස්ථාමය ගැටළුවක් නිර්මාණය විය හැකි බවටයි අනතුරු අඟවන්නේ.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මුලික කරුණු 4ක් සහිතව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කළ ලිපිය පහතින් කියවන්න.


2024.02.05
 
අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 07
 
අතිගරු ජනාධිපතිතුමනි,
 
පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව සහ ජනාධිපතිවරයා අතර ගොඩනැගෙමින් පවතින ගැටලුකාරීතත්වයක් පිළිබඳව විවිධ වාර්තා මේ දිනවල පළ වෙමින් පවතී. මෙම ගැටලුකාරීතත්වයට මූලික පදනම වී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙසින් සිටි බුවනෙක අළුවිහාරේ මහතා විශ්‍රාම ගැනීමෙන් හිස් වූ පුරප්පාඩුව සඳහා ඔබ විසින් පත් කිරීමට යෝජනා කරන ලද වත්මන් අභියාචනාධිකරණ සභාපති, විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ නම පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව විසින් මුලදී අනුමත කිරීම කල් දැමීමත්, පසුව 2024 ජනවාරි 30 දින රැස් වූ ව්‍යවස්ථාදායක සභාව එය 5 ට 3 ලෙසින් බහුතරයේ කැමැත්ත මත ප්‍රතික්ෂේප කිරීමත් යන කාරණාව යි.
 
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටින මා උක්ත ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු නොවන බව ඔබ හොඳින් දන්නා කරුණකි. එසේ නමුත් මෙම සිදුවීම (නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ නම  ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම) සහ එම මතය විධායක ජනාධිපතිවරයා ලෙසින් ඔබතුමන් නොපිළිගැනීම යන කරුණු හරහා බරපතළ ව්‍යවස්ථා ගැට‍ළුවක් ඇති වන බව මාගේ නිරීක්ෂණයයි.

 

උක්ත ව්‍යවස්ථාදායක සභාවේ තීරණයට එරෙහිව ඔබතුමන් විසින් මීට පෙර අවස්ථාවක පාර්ලිමේන්තුව තුලදී ද, පසුගිය දිනක විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් හරහා ද අදහස් දක්වා ඇත. ඔබගේ මූලික තර්කය වන්නේ යැයි මා සිතන්නේ පහත සඳහන් ආකාරයේ අදහසකි. "ව්‍යවස්ථාදායක සභාව යනු ජනාධිපතිවරයා සතු විධායක බලය ක්‍රියාත්මක කිරීමට ඇති ආයතනයයකි. එහෙයින් ජනාධිපතිවරයාගේ බලතල යටතේ සිදු කරන පත්කිරීම් (41 C වගන්තිය යටතේ ඇති පත්කිරීම්) අනුමත කිරීම හැර වෙනත් දෙයක් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවට අදාළ නැත" වැනි අදහසකි.

 

 

මෙම අදහස ඔබ විසින් මෙම කාරණය මුල් කර ගනිමින් නිකුත් කල ඇති 2024.01.31 දින දරන (PDM-PRO131#04 අංකය සහිත ) ප්‍රවෘත්ති නිවේදනයේ දක්වා ඇත. එහිදී ඔබතුමන් මෙසේ ප්‍රකාශ කරයි “The Constitution Council, Which is chaired by the Hon speaker of the Parliament and Established Under the Constitution has been empowered to assist the President in the making of certain decisions and is part of the executive” (Paragraph 05). ඔබතුමන්ගේ ඉහත ප්‍රකාශය මගින් රටේ බරපතළ ව්‍යවස්ථාමය ගැට‍ළුවක් (Constitutional Crisis) නිර්මාණය කරන බව මාගේ තේරුම් ගැනීමයි.
 
ඒ නිසාම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු නොවන නමුත් වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් විධායකයේ මෙම ස්ථාවරය සම්බන්ධව අදහස් දැක්වීමට තීරණය කරමි.
 
1cons
 

1. මෙහි දී අවධානයට යොමු විය යුතු ප්‍රධාන කාරණයක් වන්නේ, ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව ඔබතුමා දරණ ස්ථාවරය ඉතාමත් පාර්ශවීය හා ඒකමානීය (Marginalized and One Dimensional) ස්ථාවරයක් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණ වශයෙන් සලකා බැලීමෙන් හා / හෝ ව්‍යවස්ථාදයක සභාව පිළිබඳව 17 වන ව්‍යවස්ථා සංශේධනය මගින් ඉදිරිපත් වූ මූලික අභිලාෂයන් (Main Expectations of 17A) සමග සලකා බැලීමෙන් ඔබතුමා දරණ ස්ථාවරය නිවැරදි නොවන බව පෙනී යයි. ඔබතුමාගේ ස්ථාවරය සීමිත සහ පාර්ශවීය එකක් බවත් (Limited and Biased) යෝජනා කිරීමට කැමැත්තෙමි.
 
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමස්ත අර්ථය තුළ තේරුම් ගත යුතු එක් ප්‍රධාන කාරණයක් වන්නේ රටේ පරමාධිපත්‍ය ජනතාව සතු අත්හැරිය නොහැකි බලයක් වන බවයි. එය (a) ඡන්ද බලය (b) මූලික අයිතිවාසිකම් සහ (c) රාජ්‍ය පාලන බලය යන තෙයාකාරයකින් යුතු පරමාධිපත්‍ය බලයක් ලෙස ක්‍රියාත්මක වන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය මගින් මෙම තත්වය ඉතාමත් නිශ්චිතව බලගන්වා ඇත. (In the Republic of Sri Lanka, Sovereignty is in the people and is inalienable. Sovereignty includes the Powers or government Fundamental Rights and Franchise.) (Article 3)
 
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය මගින් ඉහත සඳහන් පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වන ආකාරය නීතිගත කර ඇත. ඒ අනූව ප්‍රමුඛතාවය සමාන ලෙස බෙදී යන ආකාර 05 කින් පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වේ. ඒවා වන්නේ, 1. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව මගින් ද, 2. ජනතාවගේ විධායක බලය ජනාධිපතිවරයෙකු මගින් ද, 3. ජනතාවගේ අධිකරණ බලය අධිකරණය මගින් ද, 4. ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධීකරණය අධිකරණය හරහා ක්‍රියාත්මක කිරීම මගින් ද, 5. ජනතාවගේ ඡන්ද බලය පාර්ලිමේන්තු නියෝජනය  හරහා සහ ජනමත විචාරණයක දී සෘජු මැදිහහත්වීම් හරහා ද ක්‍රියාත්මක කිරීමයි.
 
 
මෙහිදී ඔබතුමාගේ අවධානය යොමු විය යුතු තවත් කාරණයක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන සහ 4 වන වගන්ති එක්ව කියවිය යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවස්ථා ගණනාවකදීම පාර්ලිමේන්තුවට දෙන ලද අර්ථදැක්වීම් හරහා නිර්දේශ කර ඇති බවයි. SD 5/80, 1/82, 2/83, 1/84, 7/87 සහ SD 12/2002 ඒ ඒ අවස්ථාව වල පාර්ලිමේන්තුවට යොමු කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථදැක්වීම් මේ සඳහා නිදසුන් සපයයි.
 
image c0abf9e968 
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්පූර්ණ ව්‍යුහාත්මක තත්වය මත සලකා බලන විට විධායක ජනාධිපතිවරයා යනු ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන මූලික ක්‍රමවේද 5 අතරින් එකක් ලෙස මිස විශේෂතම අවස්ථාව ලෙස නොගත යුතු බව පැහැදිලිය. මාගේ යෝජනාව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිච්ඡේද 7A හි (41A, 41B, 41C, 41E, 41F, 41G, 41H, 41J යන වගන්ති) එන ව්‍යවස්ථාදයක සභාව පිළිබඳව අවධානය යොමු කළ යුත්තේ ඉහත සඳහන් පළල් හා ඒකාබද්ධ (Broader and Holistic approach) එළඹුමක් හරහා බවයි.
 
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 41 වගන්තියට අවධානය යොමු කළ යුත්තේ ඉහත සඳහන් පළල් තේරුම් ගැනීමක් හරහා මිස තනිකර කියවීමක් (Isolated Reading) මත නොවේ. විශේෂයෙන්, 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය වෙතට අවධානය යොමු කිරීම මෙහි දී ඉතාමත් වැදගත්ය. “Clearly, the Constitution did not intend the president to function as an Unfettered repository of executive power unconstrained by the other organs of Governance” (S.D. No 04/2015).
 
3. ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ නෛතික තත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් වූයේ 17 වන ව්‍යවස්ථා සංශෝධනය සමග බව හැමෝම දන්නා කරුණකි. 17 වන සංශෝධනයේ සිට 18, 19, 20 හා 21 වන සංශෝධනය ලෙස මේ කාරණය අර්බුදජනක ගමන් මාර්ගයක මේ වන විටත් ගමන් කර ඇත. පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව ඔබතුමන්ගේ ස්ථාවරය වන්නේ එය ව්‍යවස්ථාදායකයේ අභිමතය නියෝජනය කරන්නක් නොව විධායකයට සහය වනු පිණිස ඇති කළ එකක් බවයි. (අවධාරණය මගින්).
 
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කොට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් වශයෙන් ක්‍රියාත්මක වන අතර ජනාධිපතිවරයාට තම ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමට සහයෝගය ලබා දෙන බව " (PMD-PR0131#4 නිවේදනයේ 5 වන ඡේදය) ඔබතුමන්ගේ ප්‍රවෘත්ති නිවේදනයේ නිශ්චිතවම දක්වා ඇත්තේ මේ නිසා විය යුතුය. 17 වන ව්‍යවස්ථා සංශෝධනයේ සිට 18, 19, 20, 21 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති අර්ථ නිරූපණ සලකා බලන විට, ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව ඔබතුමන් දරණ ස්ථාවරයට පැමිණියේ කෙසේ දැයි බරපතල ප්‍රශ්නයක් මතුවේ.
 
 
ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බලතල (33 වන වගන්තිය, 41 B වගන්තිය, 42, 43, 44, 45 වැනි වගන්ති තුළ සහ අනෙකුත් අදාළ වගන්ති හරහා ජනාධිපතිවරණය වෙත ලබා දී ඇති බලතල) කප්පාදුවක් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව ඇති කිරීම හරහා සිදු නොවන බව මගේ මතයයි. විශේෂයෙන්ම මේ ප්‍රශ්නය 17 වන ව්‍යවස්ථා සංශෝධනයේ සිට 18, 19, 20, 24 සංශෝධන වල දී නෛතිකව අර්ථ දක්වා ඇති කාරණාවක් බව ප්‍රකාශ කළ යුතුය. මේ සම්බන්ධයෙන් SD No 6/2001 හී ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපනයේ කරුණු 04ක් මත පදනම්ව ඉහත සඳහන් බල කප්පාදුවක් සිදු නොවන බව නිශ්චිතවම සඳහන් කර ඇත.
 
 
ඊට අමතරව මෙම කාරණය සම්බන්ධව 21 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අර්ථ නිරූපණය කෙරෙහි ද ඔබතුමන්ගේ අවධානයට තවදුරටත් යොමු කරමි. SD No 40/2022 ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය තුළ 17 වන ව්‍යවස්ථා සංශෝධනය සභාගත කරමින් දක්වන්නේ ව්‍යවස්ථාදායක සභාව යනු විධායකයේ කොටසක් නොව පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන යන්ත්‍රණයක් බවයි. The (Council is essentially a body that comes within the aegis of parliament with the speaker as its chairman) (Page 14)
 
එසේම ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීම හරහා ජනාධිපතිවරයාගේ ස්ථාවරය එම සභාව තුළ නියෝජනය වන බවද මෙහිදී අවධාරණය කර ඇත.
 
රාජ්‍ය නිලධාරීන් මාධ්‍යවලට අදහස් දැක්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව  මෙන්න
 
උක්ත 21 වන ව්‍යවස්ථා සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය දැක්වෙන තවත් එක් කාරණයක් වන්නේ ව්‍යවස්ථාදායක සභාවට "ජනාධිපතිවරයෙකුට තනි කැමැත්තට විධායක තීරණ ගැනීම වළක්වමින් ආවරණ හා තුලන නියාමනයට යටත් කිරීම." අදහස් කරන බව නීතිපතිවරයාගේ මතය වූ බවයි. (Constitutional council “serve As a check and balance on the powers of the president and prevents the arbitrary exercise or the executive powers) (SD 40/2022 Page 18)
 
ඉහත තත්වය තුළ පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව යනු විධායකයේම කොටසක් ලෙසින් ඔබතුමා දරණ ස්ථාවරය නිවැරදි නොවන බවට යෝජනා කරනු කැමැත්තෙමි.
 

4. අවසාන වශයෙන් ඔබතුමන්ගේ නිවේදනයෙහි තවත් එක් වැදගත් කාරණයක් සම්බන්ධව අවධානය යොමු කරවමි. එම නිවේදනයේ දැක්වෙන්නේ "කථානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 4 (ඇ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසින් අධිකරණය හරහා ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරයි. එබැවින් පාර්ලිමේන්තුව වගකි යුත්තේ ජනතාවට පමණි" යනුවෙනි.
 
මෙහි අවසාන වාක්‍යයෙන් කියන්නේ කුමක්දැයි මා හරියටම දන්නේ නැත. පාර්ලිමේන්තුව වගකිව යුත්තේ ජනතාවට බව සැබෑවක්ය. ජනාධිපතිධූරය යනු එම ජනතාවගෙන් ව්‍යුත්පන්නව පවතින වෙනත් අයෙකුගේ වපසරියක් නොවන බවද ඒවගේම සැබෑවක්ය. ජනාධිපතිවරයා ජනතාවට වගකීමටත් පාර්ලිමේන්තුවට පිළිතුරු දීමටත් යටත් බව ව්‍යවස්ථාවේ 42 වගන්තියෙන් පිළිගෙන තිබෙන බව අවධාරණය කරනු කැමැත්තෙමි. එපමනක් ද නොවේ. ඔබතුමා සඳහන් කරන්නේ ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණය හරහා ක්‍රියාත්මක කරන බවයි. එය සත්‍යක්ය. එසේම විධායක බලය යනු ද ජනතාවගේ විධායක බලය මිස වෙන වෙන අයෙකුගේ විධායක බලයක් නොවේ.
 
 
පාර්ලිමේන්තුවත් අධිකරණයත් පමණක් නොව විධායකය ද ජනතාවගේ පරමාධිපත්‍යයේ නියෝජනයක් මිස එයට පිටින් පවතින දෙයක් නොවේ. මෙම අදහස 21 වන සංශෝධනය සදහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අර්ථ නිරූපණයෙහි ද දක්වයි. ඒ නිසා පාර්ලිමේන්තුව පමණක් නොව විධායක ජනාධිපතිවරයා ද ජනතාවට  වගකිව යුතු බව අවසාන වශයෙන් නැවත වරක් සඳහන් කරනු කැමැත්තෙමි.
 
එම වගකීම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය ජනතාවගෙන් සෘජුව පත් වන ජනාධිපතිවරයෙකුට පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුව මගින් පත් කරන ලද අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුටද අදාළ වන බව ද තවදුරටත් අවධාරණය කරමි.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්