සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතත්, සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ. 


ඒ අනුව වර්ජනය අද (14) දිනයේත් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේය.

වෛද්‍යවරුන් සඳහා ලබාදුන් ඩැට් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඊයේ (13) උදෑසන 6.30ට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

මේ හේතුවෙන් රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වී තිබු අතර ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව රෝහල් කටයුතු පවත්වාගෙන යාමට රජය පියවර ගනු තිබිණි.

කෙසේවෙතත් බලධාරින් විසින් තම ගැටලුවලට නිසි විසඳුම් ලබානොදීම හේතුවෙන් අද දිනයේදීත් වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තිය සමිති සංධානයේ කැදවුම්කරු රවී කුමුදේෂ් පැවසිය.


ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා සිටියේ, ලක්ෂයකට ආසන්න සෞඛ්‍ය සේවකයින් පිරිසක් මෙම වැඩවර්ජනයට එක්ව ඇති බවය. 

අද දහවල් 2ට වෘත්තීය සමිති 72කම නියෝජනය කරමින් නැවත වතාවක් රැස්වීමක් පැවැත්වීමට නියමිත බවත් එහිදී හෙට (15) දිනයේ දී වැඩවර්ජනය සිදුකරන්නේ ද නැද්ද? යන්න පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව ද උපුල් රෝහණ වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඊයේ ආරම්භ කළ වර්ජනයට එක් නොවූ සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය ඉල්ලීම් 04 ක් මුල් කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී අද විරෝධතාවක් පැවැත්වීමට නියමිතව ඇත.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එච් එම් එස් මැදිවත්ත කියා සිටියේ සිය සංගමයට අයත් සියලු හෙද නිලධාරීන් අද දිනයේ කොළඹට කැදවන බවයි.



කෙසේවෙතත් සෞඛ්‍ය වර්ජනය සම්බන්ධයෙන් ජනතාව 'නෙත් නිව්ස්' වෙත දක්වා තිබුනේ මෙවන් ප්‍රතිචාරයකි. 


මේ අතර සෞඛ්‍ය සේවයට අදාළ සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (13) නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් එය නිකුත් කර ඇත.

රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවාවන් බවට එම ගැසට් පත්‍රය මඟින් පත්කර තිබේ.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්