ලෝක ආර්ථික රටාවට ගැලපෙන සේ මෙරට ආර්ථික උපාය මාර්ගය සකස් කර ගැනීම හැර වෙනත් මගක් ශ්‍රී ලංකාවේ ආර්ථික ගොඩනැංවිමට නැති බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනය කරයි.


එම යථාර්ථය පිළිගැනීමට තරම් දේශපාලන දැක්මක් රජයට මෙන්ම විපක්ෂයට අයත් ඇතැම් කාණ්ඩායම්වලට නැති බවයි එම පක්ෂය අවාධරණය කරන්නේ.

ඉහත සන්දර්භය තුළ නව දේශපාලන පෙළගැසීමක වැදගත් කම සහ අවශ්‍යතාවය ඔවුන් පෙන්වා දෙයි.

එබැවින් නව දේශපාලන සම්මුතියක් සඳහා එකතුවෙන ලෙස සියලූ‍ දේශප්‍රේමි, ප්‍රගතිශීලි, වාමගාමී බලවේගයන්ට කොමියුනිස්ට් පක්ෂය ආයාචනා කර සිටී.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කළ විශේෂ ප්‍රකාශය මෙසේය -

2024-01-24 දින රැස් වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය, ජාතික මෙන්ම ජාත්‍යන්තර දේශපාලන වර්ධනයන් සහ ප්‍රවනතාවයන් කෙරෙහි සිය දැඩි අවධානය යොමු කර සිටියේ ය.

 

2022 ආර්ථික අර්බුදය පුපුරා ගියේ, විදේශ විනිමය සංචිතය සිදීයෑම මෙන්ම රුපියල් හිඟයක් ඇතිවීම සහ ණය වාරය ආපසු ගෙවීමට නොහැකි වු තත්ත්වයන් තුළින් ය. ඊට පාදක වූ මූලික සාධකය වන්නේ, 1978 සිට විවිධ ආණ්ඩු යටතේ, ක්‍රියාත්මක කරනු ලැබූ නවලිබරල් ආර්ථික උපාය මාර්ගය සහ ඒ තුළින් ක්‍රියාත්මක වු ප්‍රතිපත්ති තුළින් බව, කොමියුනිස්ට් පක්ෂයේ පිළිගැනීමයි. දූෂණය, මුළුමහත් සමාජදේහය පුරා පැතිරීගිය පිලිකාවක් බවට පත්වීමට මඟ හෙලිපෙහෙලි කරනු ලැබුවේ ද, එම නව ලිබරල්වාදී ආර්ථික උපාය මාර්ගයම ය.

 

මේ බව කොමියුනිස්ට් පක්ෂය, විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ ද සිටිමින් තම නියෝජිතයින් හරහා පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් මතු කරනු ලැබී ය. 

පසුගිය කාලය තුළ බොහෝ අයවැය විවාදයන්හී දී පිරිහෙමින් පවතින විදේශ විනිමය සහ රුපියල් හිඟය ගැන කොමියුනිස්ට්වරු යළි යළිත් අවධාරණය කරනු ලැබු බව පාර්ලිමෙන්තු හැන්සාඩ් වාර්තාවලින් දැකිය හැක. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමට පෙර ද ඉන් පසුව ද කොමියුන්ස්ට් පක්ෂය ලිඛිතව කරුණු සැලකර සිටිය ද, ඊට සවන්දීමක් සිදු නොවීය.

 

අර්බුදය පුපුරා ගොස් දෙවසරක් නිමවී තිබුණ ද, රජයේ අවධානය යොමු වී ඇත්තේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පමණ ය. එම උත්සාහය ද ඵල රහිත වී තිබේ. දේශීය ණය සම්බන්ධයෙන් වුව ද, ඊනියා ප්‍රතිව්‍යුහගත කිරීම අර්ථ සාධක අරමුදලට පමණක් සීමා කරමින්, එහි බර, විශ්‍රාමිකයන් ඇතුළු වැඩ කරන පන්තියට පැටවීමට රජය සාහසික වීය.

 

දේශීය සහ ජාත්‍යන්තර, පොලී මුදලාලිලා ගෙන් ලබාගත් ණය ගැන මෙතෙක් කිසිදු ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වී නැත. වක්‍ර බදු සහ ණය මගින් හා මුදල් නෝට්ටු අච්චු ගැසීමෙන් ආර්ථිකය මෙහෙයවීමට රජය පෙළඹුනේ, මුල්‍ය ප්‍රාග්ධන සහ වානිජ ධනපති ස්ථරය පමණක් පෝෂණය වීමට ඉඩසලසන මුල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමිණි.

අවුරුදු 45ක් තිස්සේ ගෙනයන මෙම නව ලිබරල්වාදී ආර්ථික උපාය මාර්ගයේ අවසන් තර්කානුකූල ප්‍රථිපලය වී ඇත්තේ, ජනතාවගේ ආදායම් පරතරය බිහිසුණු ලෙස පුළුල් වීම ය. වර්තමානයේ සමාජයේ ඉහළ තලයේ 10% ජාතික ආදායමෙන් 64%ක හිමිකරුවන් බවට පත්ව ඇත. මුදුනේ සිටින 1% ජාතික ආදායමෙන් 31% අත්පත් කර ගෙන තිබේ පහළ ම තලයේ 50% හිමිවී ඇත්තේ 4% තරම් සොච්චමකි.

 

නව ලිබරල්වාදී ආර්ථික උපාය මාර්ගය, දැන් මුළු ලොව පුරාම අර්බුදයට ලක්වී ඇත. ඉන් දුරස්ථ වූ හා බැහැර වූ රටවල් පමණක් ඉදිරියට පැමිණ ඇත. ආසියානු ආර්ථිකය ලෝක ආර්ථිකයේ පෙර ගමන්කරු බවට පත්ව ඇත. චීන ආර්ථිකයේ දැවැන්ත පිම්ම ඊට ඍජුව බලපා ඇති සාධකයයි.

 

ජී 7 සංවර්ධිත රටවල් අභිබවා රටවල් පහකින් යුත් බ්‍රික්ස් සංවිධානය, ලොවේ ප්‍රධානතම ආර්ථිකය බවට පත් ව ඇත. තවත් රටවල් 5ක් ඊට ඇතුළු වී තිබේ. තවත් බොහෝ රටවල් එහි සාමාජිකත්වය ඉල්ලා ඇත. මින් ගම්‍ය වන්නේ බහුද්‍රව නව ලෝක ආර්ථික රටාවක් නිර්මාණය වීමයි. නව සේද මාවත ආර්ථික ව්‍යාපෘතියට රටවල් 152ක් එක්ව සිටිති. නව විකල්ප සංවර්ධන බැංකු දෙකක් ස්ථාපිත කරනු ලැබ ඇත.

ජාතික රාජ්‍යයන් කලාපීය වශයෙන් ගොනුවීම, බහුද්‍රව ලෝක රටාවේ ලක්ෂණයයි. ප්‍රාග්ධනය ගලායන්නේ ගෝලීය දකුණට ම ය. විශාලතම වෙළෙඳ පොළ පවතින්නේ ද ගෝලීය දකුණේ ය. ලොවේ ප්‍රධාන කාර්මික නිෂ්පාදකයා, අපනයනකරු හා ආනයනකරු බවට චීනය පත්ව ඇත. මහේශාඛ්‍ය ඩොලරය වෙනුවට විකල්ප මුදල් ක්‍රම ජාත්‍යන්තරව හා කලාපීයව භාවිතා වෙමින් නව ජාත්‍යන්තර මුල්‍ය ක්‍රමයක් නිර්මාණය වනු දැකිය හැකිය.

 

නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියකින් හා ඵලදායිතාවය ඉහළ නැංවීමකින් තොරව හුදෙක් මුල්‍යකරණය හරහා රටක් සංවර්ධනය කරලීමට නොහැකි බව ගත වු වසර 45 අත්දැකීම්වලින් මනා ලෙස ඔප්පු කරනු ලැබ ඇත. ආර්ථික අර්බුදයට විසදුම් සෙවීමේ දී, නව ප්‍රවේශයක් ගැනීම හැරෙන්නට වෙනත් මගක් නැත. වෙනස් වන්නා වු ලෝක ආර්ථික රටාවට ගැලපෙන සේ අපේ ආර්ථික උපාය මාර්ගය සකස් කර ගැනීම හැර වෙනත් මගක් ශ්‍රී ලංකාවට නැත. එම යථාර්ථය පිළිගැනීමට තරම් දේශපාලන දැක්මක් රජයට මෙන්ම විපක්ෂයට අයත් ඇතැම් කාණ්ඩායම්වලට නැති බව අපේ හැගීමයි.

 

නව දේශපාලන පෙළගැසීමක වැදගත් කම සහ අවශ්‍යතාවය පැන නැගී ඇත්තේ ඉහත සන්දර්භය තුළ ය. ඒ අනුව, දේශප්‍රේමී, ප්‍රගතිශීලි හා වාමගාමී බලවේගයන් නව පෙලගැස්මකින් මතුවෙමින් තිබේ.

එබැවින් එවැනි නව දේශපාලන සම්මුතියක් සඳහා එකතුවෙන ලෙස සියලූ‍ දේශප්‍රේමි, ප්‍රගතිශීලි, වාමගාමී බලවේගයන්ට කොමියුනිස්ට් පක්ෂය ආයාචනා කර සිටී.''


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්