මෙරට ආර්ථිකය කඩා වැටුණේ ආර්ථිකයේ සැබෑ ඇත්ත, තොරතුරු ජනතාවගෙන් වසන් කළ නිසා බවට

මුදල් අමත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කරයි.

මීට වසර දෙක, තුනකට පෙර ඇත්ත ඇති සැටියෙන් කතා කොට කටයුතු කළා නම්, ආර්ථික අර්බුදයෙන් මිදීමට හෝ එය අවම කර ගැනීමට හෝ ඉඩකඩ තිබුණා යැයි මුදල් ලේකම්වරයා පවසයි.

ඔහු එබව සඳහන් කර සිටියේ, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව සංවිධානය කළ විශේෂ වැඩමුළුවක ආරාධිත දේශනය සිදුකරමිනි. ඉකුත්දා, (17) කොළඹ රාමඩා හෝටලයේ එම වැඩමුළුව පැවැත්විණ.


බදු ගෙවීමට හැකි පිරිස් නියමිත පරිදි රජයට බදු ගෙව්වොත් මේ වන විට පවතින වැඩි බදු බර අනුපාත පවා වෙනස් කිරීමට හැකියාව ලැබෙන බව මුදල් අමත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන ප්‍රකාශ කළේය.


ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් ඉහළ නංවා ගැනීමට එම ක්ෂේත්‍ර‍ෙය් නියැලී සිටින පිරිස් වෙත හා බැංකු හා මූල්‍ය ආයතනවල ඉහළ පෙළේ නිළධාරින්ට ලොව ප්‍රවණතා සහ ඩිජිටල්කරණය පිළිබඳව දැනුම්වත් වීමට මෙම වැඩමුළුව සංවිධානය කොට තිබුණි.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති නීතිඥ ශනිල් ප්‍රනාන්දු, මහලේකම් හේමකුමාර ගුණසේකර ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියහ.


රටේ අද ඇති වී තිබෙන ප්‍රශ්න මීට වසර 15 ක්, 20ක්, 25ක් තිස්සේ ඇති වු යම් යම් දේවල්වල ඵල විපාක බව පවසන මුදල් අමාත්‍යංශ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන, අමාරුවෙන් හෝ අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කොට ඉදිරියට ගියහොත් අවුරුදු දෙක තුනකින් ගොඩ ඒමට හැකි බව සඳහන් කළේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් ලේකම්වරයා මෙසේද කීය.

'' අපේ රටේ ආර්ථිකය කඩා වැටු‍ෙණ් ආර්ථිකයේ සැබෑ ඇත්ත, තොරතුරු ජනතාවගෙන් වසන් කළ සිටි නිසයි. එදා ආර්ථිකය කඩා වැටෙන බව දැන දැනත් කිසිම කෙනෙක් ඇත්ත කිව්වේ නැහැ. අවසානයේ ආර්ථිකය කඩා වැටුණා.


අද වන විට කඩා වැටුණු රටේ ආර්ථිකය යලි නැගීමත් ආරම්භ වී තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම සතුටුවීමට හැකි තත්ත්වයක් නොවෙයි. අද දවසින් අපට මුහුණදීමට තිබෙන අභියෝගය විශාලයි. රාජ්‍ය ආදායමට වඩා රාජ්‍ය වියදම අති විශාලයි. එදා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 20 මට්ටමේ තිබුණා. කුමක් හෝ නිසා එය සියයට 08 පහළ වැටුණා. දැන් ටිකක් ඉහළට පැමිණ තිබෙනවා.


අපි මෙය හැකිතරම් අඩුකර ගන්නට කටයුතු කළ යුතුයි. අපි අද රටේ ආර්ථිකය ගැන ඇත්ත තොරතුරු දත්ත ලබා දෙනවා. මේවා ලබා දෙන විට ඇත්ත කතා කරන විට ඇතැම් දෙනාට රිදෙනවා.

ජනාධිපතුමා, මුදල් ඇමැතිවරයා ලෙස දිවා රෑ නොබලා, වෙහෙස වී වැඩ කරනවා. මුදල් ඇමැතිවරයා පමණක් නොව ඇමැති මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු, නිලධාරිහු, මහ බැංකු අධිපතිතුමා මහ බැංකුවේ අය විශාල මහන්සිවී වැඩ කටයුතු කරනවා. එය පිටට පේන්නේ නැහැ. මේ අයගේ සේවා නිසායි මේ මට්ටමින් හෝ රට ඉදිරියට යන්නේ. කඩා නොවැටී තියෙන්නේ.


එදා ආර්ථිකය කඩා වැටෙන බව මම හොඳාකාරවම දැක්කා. ඒ පිළිබඳව සාක්ෂි සටහන් පවා මා සතුව තිබෙනවා. ආර්ථිකය කඩා වැටුණු හැටි පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හොඳ තීන්දුවක් ලබා දුන්නා. ඒ ගැන සතුටුයි.


එදා බලධාරින් ආර්ථිකය සම්බන්ධව ඇත්ත කිව්වේ නැහැ. ඒවා ගැන කතා කළේ නැහැ. ආර්ථිකය කඩා වැටෙන්නට ඉඩදී කතා නොකර හිටියා. ඒවායින් වුණේ රටේ ජනතාවට අතිවිශාල පීඩනයක්. දුකක්, කරදරයක් උරුම වීම පමණයි.

ජනතාව අද ඉතා අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ දුක අපි නොදන්නවා නොවෙයි. අපට නොදැනෙනවා නොවෙයි. මේ දුක් නිවීමටයි අපි කටයුතු කරමින් ඉන්නේ.


මේ රටේ අද ඇති වී තිබෙන ප්‍රශ්න අද ඊයෙක ඇති වූ දෙයක් නොවෙයි. මීට වසර 15 ක්, 20ක්, 25ක් තිස්සේ ඇති වු යම් යම් දේවල්වල ඵලවිපාකයි, අද අපට භුක්ති විඳීමට සිදු වී තිබෙන්නේ අද ජනතාව විඳින දුක අමාරුවෙන් හරි මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කොට ඉදිරියට ගියොත් තව අවුරුදු දෙක තුනකින් අපට ගොඩ ඒමට පුළුවන්. අපි කවුරුත් රට, ජාතිය ගොඩනැඟීමට දායක විය යුතුයි.


අද රටේ බොහෝ පිරිසක් නිසි ලෙස බදු ගෙවන්නේ නැහැ. බදු ගෙවන විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට අපි ගරු කරනවා. බදු ගෙවීමට හැකි පිරිස් නියමිත ලෙස බදු ගෙව්වොත් අද පවතින මේ වැඩි බදු අනුපාත පවා වෙනස් කිරීමට පුළුවන්.

අපට අලුත් අවස්ථාවක් ලැබී තිබෙනවා. මේ ඇති වී ඇති ආර්ථික අර්බුදය අපි රටේත් ජනතාවගේත් යහපතට අනාගත දියුණුවට යොදා ගත යුතුයි.

අපේ රටේ සෑම තැනකම, ආයතනවල පවා ප්‍රශ්න ගැටලු මතු වෙලා. මේ ප්‍රශ්න ගැටලු මතු වූයේ ආර්ථිකය කඩා වැටුණු නිසයි. අපි මතුවූ ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් අලුත් ගමනක් යා යුතුයි.

අපට හැමදාම ජනතාවට බොරු කියන්න බැහැ. රටට බොරු කියන්නට බැහැ. අපි ඇත්ත කතා කළ යුතුයි. ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට ශක්තියක් දිය යුතුයි. ඒ වාගේම අපි තම තමන් තම තමන්ගේ සේවය රට වෙනුවෙන් ලබා දිය යුතුයි.

තමා නිවැරැදිව රට වෙනුවෙන් කැපවී වැඩ කළ යුතුයි. මුදල් අමාත්‍යාංශයේත් එහි නිළධාරින්ගේත් ප්‍රශ්න ඇති. මම කියන්නේ නැහැ සියලු දෙනා සර්ව සම්පූර්ණයි කියා. අපි සියලු දෙනාගේ ම ප්‍රශ්න සාකච්ඡාවෙන්, සම්මුතියෙන් විසඳා ගත යුතුයි. එකිනෙකා විවේචනය කිරීමෙන් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ.


එදා ආර්ථිකය කඩා වැටෙන විට නිහඬව සිටි අය අද ආර්ථිකය යළි නිසි පීල්ලට දමන විට එවැනි දේ කරන නිවැරැදි කටයුතු කරන නිලධාරින්ට බොරු චෝදනා, විවේචන, අභූත චෝදනා නඟනවා. ඒක වැරදියි. සිදු විය යුත්තේ සියලු දෙනා නිවැරැදි වීමයි.


මේ රට, ආර්ථිකය කඩා වැටෙන බව දැන දැනත් එදා කතා නොකර සිටි අය අද කතා කරන්නට පටන් අරන්. ඒ අය පසුගිය කාලේ රජය අමාරුවෙන් කළ ප්‍රතිසංස්කරණය නිසායි. දැන් ඔය විදිහට කතා කරන්නේ. ජනතාවට ඒවා අමතක නැහැ'' ලේකම්වරයා කියා සිටියේය.

(චතුරංග මේදිස්)

dfgfder5ty

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image