රට පවතින අර්බුදයෙන් මුදා ගැනීම සඳහා දෙමුහුම් විසඳුමක් ඉදිරිපත් කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසිය.


එහිදී අත්දැකීම් සහිත පිරිසිදු දේශපාලනඥයන් සහ නව දැක්මක් සහිත වෘත්තීයවේදීන්ගේ දායකත්වය වැදගත් වන බවත් එම දෙපාර්ශවය එක් කිරීම මගින් රට මුහුණ පා සිටින අර්බුදවලට විසඳුම් ලබා දිය හැකි බවටයි ඔහු විශ්වාස පළ කරන්නේ.

වර්තමාන පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 225 ම ප්‍රතික්ෂේප කිරීම ජනප්‍රිය මතය වුවද රට අර්බුදයට ලක්වීමට 225 ම වගකිව යුතු නැති බවයි චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඊට වගකිව යුතු පාර්ශව සිටියද, පිරිසිදු හා නිවැරදි දේශපාලනඥයන් 225 තුළ සිටින බව ද ඔහු සඳහන් කළේය.

ඔවුන් සමග තරුණ වෘත්තීයවේදීන් සහ බුද්ධිමතුන් සම්බන්ධ කරමින් සැකසෙන ව්‍යුහයකින් රටේ අර්බුද විසඳිය හැකි බවයි ඔහු අවදාරණය කරන්නේ.

 

වසර 75 ක් රට විනාශ කළ බවට දේශපාලකයන්ට නැගෙන චෝදනාවද ගැටලු සහගත බව පැවසු චම්පික රණවක මන්ත්‍රීවරයා, මේ වනවිට ඒක පුද්ගල ආදායම, ආයු අපේක්ෂාව, සාක්ෂරතාව ආදිය වර්ධනය වී ඇති අතර ඉන් සනාථ වන්නේ වසර 75 ක් තුළ අවගමනයක් පමණක්ම සිදුව නොමැති බවත් අවස්ථා ගණනක දී කැරළි කෝලාහල ඇති විම නිසා සිදුව ඇති ආර්ථික හානිය ද විශාල බවයි.

 

කෙසේ වුවද වත්මන් අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා එක්සත් ජනරජ පෙරමුණ පොදු අවම යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි.

එය මත පදනම්ව මනුෂ්‍යත්වයේ දේශපාලන සන්ධානය ස්ථාපනය කරන අතර එය නායකත්ව මණ්ඩලයකින් මෙහෙයවීම අපේක්ෂාවයි.

පිරිසිදු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ සංවිධානවලට ඊට එක්විය හැකි බවද එම පක්ෂය පවසයි.

එම නායකත්ව මණ්ඩලය විසින් ජනාධිපතිවරණය සඳහා තමා නම් කළහොත්, අභියෝගය භාර ගැනීමට සූදානම් බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

වෙනත් අපේක්ෂකයෙකු නම් කළහොත් ඔහුට පූර්ණ සහාය පළ කරන බව ද එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් පැවසිය. 

 
(චතුරංග මේදිස්)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්