සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (මාර්තු මස 01 වැනිදා) රාත්‍රී අත්අඩංගුවට

ගෙන තිබේ.

ප්‍රශ්නගත මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව තහවුරු කළේය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකට ඊයේ (මාර්තු මස 01 වැනිදා) පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම පෙබරවාරි මස 29 වැනිදා නියෝග කළාය.

ඒ අනුව ඔහු ඊයේ දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත.

ඒ අනුව පැය 07 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට ගෙන තිබේ.


මීට පෙර අත්අඩංගුවට පත්වූ පිරිස යළි රිමාන්ඩ්


9f12f6f0 c187 11ee 8c20 61f02aecd2beකෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු මාර්තු මස 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.


ප්‍රශ්නගත මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු මාර්තු මස 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙබරවාරි මස 29 වැනිදා එම නියෝගය නිකුත් කරන ලදී.



අධිකරණයේ දී සිදුවුයේ කුමක්ද ?


පෙබරවාරි 29 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන පිටු හතක වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

 එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම පවසා සිටියේ "ශ්‍රී ලංකාවට බෙහෙත් ආනයනය කිරීමේ ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කරනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින්. එහෙත් මෙම නඩුකරයට පාදකවන සිද්ධියේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව බෙහෙත් ආනයනය කිරීමේ ක්‍රියාවලියෙන් ඉවත් කොට සම්මත පටිපාටියට පරිබාහිරව මෙම බෙහෙත් මිලදී ගැනීමට සැකකාර අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා. මෙම බෙහෙත් තොගය ආනයනය කිරීම සඳහා සැකකාර අමාත්‍යවරයා අවස්ථා හතරක දී කැබිනට් සංදේශ හතරක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවේ බෙහෙත් වර්ග 182ක් නොමැති බවත් ඇතැම් බෙහෙත් වර්ග තිබෙන්නේ ඉදිරි මාස තුනක කාලයකට පමණක් බවත් සැකකාර අමාත්‍යවරයා එම කැබිනට් සංදේශය තුළින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබෙනවා. එම අවස්ථාව වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට අවශ්‍ය ඖෂධ ලබා දීමට එකඟතාව පළ කර තිබුණා. එවැනි තත්ත්වයක් තිබියදී ශ්‍රී ලංකාව තුළ බෙහෙත් හිඟයක් මතුවිය හැකි බවට බොරු බිල්ලෙක් අමාත්‍ය මණ්ඩලය තුළ මවා මෙම බෙහෙත් ආනයනය කිරීමට සැකකාර අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා. මෙම බෙහෙත් ආනයනය කිරීමට අදාළ සියලු වගකීම් පැවරී තිබෙන්නේ සැකකාර අමාත්‍යවරයා මතයි" යනුවෙනි.

 
සැකකාර අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෑතකදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුද උත්සන්න වී අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පෝලිම් නිර්මාණය වී තිබූ අවස්ථාවක මෙම බෙහෙත් තොගය ආනයනය කිරීමට සිදු වූ බව පැවසීය.

එම අවස්ථාවේදී රට තුළ උග්‍ර බෙහෙත් හිඟයක් පැවැති බවත් ජනතාවගේ සෞඛ්‍යය රැක ගැනීම සඳහා මෙලෙස බෙහෙත් ආනයනය කිරීම වරදක්දැයි ඔහු අධිකරණය හමුවේ ප්‍රශ්න කර සිටියේය.

මෙම ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලියේ සියලු ලේඛන වලට අනුමැතිය ලබා දී තිබෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් තම සේවා දායකයා ඊට මැදිහත් වී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

එහෙත් මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ කරුණු දක්වමින් "ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් මෙම සැකකරු පත් කරනු ලැබුවේ මහජන සෞඛ්‍ය නඟා සිටුවීමේ අරමුණින්. මහජන සෞඛ්‍යයේ භාරකරු වශයෙන් කටයුතු කිරීමේ වගකීම සහ වගවීම සැකකාර අමාත්‍යවරයා වෙත පැවරී තිබෙනවා. ඒ නිසා 'මේවා ගැන දන්නෙ නෑ' කියා කීමට ඔහුට හැකියාවක් නෑ. " කියා සිටි මහේස්ත්‍රාත්වරිය සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝග කළාය.

එමෙන්ම මෙම නඩුවට පාදකවන ප්‍රශ්නගත ඖෂධය භාවිත කිරීම හේතුවෙන් සංකූලතාවලට මුහුණ දුන් රෝගීන් හා එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ අගතිදායක තත්ත්වයන්ට මුහුණ දුන් වෛද්‍යවරු පිළිබඳව විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියාය.

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සිවිල් සංවිධාන විසින් දිගින් දිගටම චෝදනා එල්ල කරමින් සිටියි.


(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්