පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කළ තැනැත්තා එම ධුරයට පත් කිරීම

සඳහා 2024 පෙබරවාරි මස 26වන දින පැවති ව්‍යවස්ථාදායක සභා රැස්වීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අනුමැතිය ලබාදී නොතිබියදී එම නිර්දේශ කරන ලද තැනැත්තා පොලිස්පති ධුරයට පත් කරමින් ජනාධිපතිවරයා කථානායකවරයා සමග කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි විපක්ෂනායක වරයා කියා සිටියි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස එබව සඳහන් කර ඇත්තේ අද (03) පස්වරුවේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනිවාර්ය විධිවිධාන චේතනාන්විතව සහ අමු අමුවේ උල්ලංඝනය කරමින් ද්වේෂ සහගත ලෙස කටයුතු කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

විපක්ෂනයකවරයාගේ නිවේදනය පහත පළවේ.

''ව්‍යවස්ථාදායක සභාවේ සභාපති මෙන් ම කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත 2024 පෙබරවාරි මස 26 වැනි දින යොමුකරන ලද ලිපිය හා බැඳේ.

මෙම ලිපියේ 2 වැනි ඡේදයෙන්, ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා යෝජනා කරන ලද නම සලකා බැලීම සඳහා 2024.02.26 වැනි දින ව්‍යවස්ථාදායක සභාවේ පැවැත් වූ රැස්වීමේ දී ඡන්දය දුන් ආකාරය නිවැරැදිව දක්වනු ලබයි. එනම්, යෝජනාවට පක්ෂව සාමාජිකයන් 4 දෙනකු ද, විරුද්ධව සාමාජිකයන් දෙදෙනකු (2) ද, ඡන්දය ලබා දී ඇති අතර, සාමාජිකයන් දෙදෙනකු (2) ඡන්ද ලබා දීමෙන් වැළකී සිට ඇත.

යෝජිත නම අනුමත කිරීම සඳහා රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව අවශ්‍ය අවම ඡන්ද 5ක් ලබා නොගත්තේය, යන කරුණ 3 වැනි ඡේදය තුළ නිවැරදිව සඳහන් කරනු ලැබ ඇත.


කෙසේ වුවද, ඡන්දය දීමෙන් වැළකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකනු ලබන්නේ නම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 E (5) ව්‍යවස්ථාව අනුව එකී ප්‍රශ්නය සම්බන්ධයෙන් සම සමව ඡන්දය ලැබුණා සේ සලකන්නේ නම්, සභාපතිවරයා වශයෙන් කථානායකවරයාගේ තීරක ඡන්දයද පක්ෂව ලබා දෙන බවට එම ලිපියේ 4වන ඡේදයේ අන්තර්ගත කරුණුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන්වන විධිවිධානවලට අනුව එකඟ විය නොහැක.


41 E (5) ව්‍යවස්ථාවේ ප්‍රධාන විධිවිධානය තුළ පහත පරිදි සඳහන් වේ:

“සභාපතිවරයාට හෝ රැස්වීමේ මූලාසනය දරන වෙනත් සාමාජිකයාට මුල් ඡන්දයක් නොමැති නමුත් සභාවේ යම් රැස්වීමක දී තීරණය කරනු ලැබිය යුතු යම් ප්‍රශ්නයක් සඳහා සම සමව ඡන්දය ලැබුණු අවස්ථාවක දී සභාපතිවරයාට හෝ රැස්වීමේ මූලාසනය දරන වෙනත් සාමාජිකයාට තීරක ඡන්දයක් තිබිය යුත්තේය.”

කතානායකවරයාට ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ඇති එක ම තත්ත්වය ප්‍රශ්නයට අදාළ කාරණය සම්බන්ධයෙන් සම සමව ඡන්දය ලැබුණු අවස්ථාවක් ය යන කරුණ මෙම විධිවිධානය අනුව බැලූ බැල්මට ම පැහැදිලි වේ.

අදාළ අවස්ථාවේ දී පක්ෂව ඡන්ද 4ක් සහ විපක්ෂව ඡන්ද 2ක් ලැබුණු අතර සම සමව ඡන්දය ලැබීමක් සිදු නොවූවේය යන්න අවිවාදයෙන් පිළිගත යුතු වේ.

කිසිදු සාධාරණ පදනමක් මත මෙය සම සමව ඡන්දය ලැබීමක් ලෙස සැලකිය නොහැකි ය.

කතානායකවරයා හට භාවිත කිරීමට නීතියෙන් හිමිකම් ඇති එක ම ඡන්දය තීරක ඡන්දයක් වන අතර එය ඡන්ද සම වීමක දී විනා අන් කිසිදු අවස්ථාවකට අදාළ නොවේ.

ඒ අනුව, කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනිවාර්ය විධිවිධාන චේතනාන්විතව සහ අමු අමුවේ උල්ලංඝනය කරමින් ද්වේෂ සහගත ලෙස කටයුතු කර ඇති බව කණගාටුවෙන් හෝ පෙන්වා දිය යුතු ය.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයාට පොලිස්පතිවරයා පත් කළ හැක්කේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා නිර්දේශ කළ තැනැත්තා එම ධුරයට පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ඇත්නම් පමණක් වන අතර, මෙකී තත්ත්වය තුළ ව්‍යවස්ථාදායක සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ආකාරයට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද තැනැත්තා පොලිස්පති ධූරයට පත් කිරීම සඳහා අනුමැතිය ලබා දී නොමැති බව පැහැදිළිය.

එකී කරුණු අනුව පොලිස්පති ධුරය සඳහා ගරු ජනාධිපතිවරයා විසින් නිර්දේශ කළ තැනැත්තා එම ධුරයට පත් කිරීම සඳහා 2024 පෙබරවාරි මස 26වන දින පැවති ව්‍යවස්ථාදායක සභා රැස්වීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අනුමැතිය ලබාදී නොතිබියදී එම නිර්දේශ කරන ලද තැනැත්තා පොලිස්පති ධුරයට පත් කරමින් ගරු ජනාධිපතිවරයා කථානායකවරයා සමග කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත.''

(උපුටා ගැනීම අවසන්)

විපක්ෂ නායකවරයා ඉහත නිවේදනය නිකුත්කර ඇත්තේ, කතානායකවරයා විසින් පෙබරවාරි 26 දින ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියක් පදනම් කරගනිමිනි.

khdf

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්