රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද රාජ්‍ය නොවන සංවිධාන

ලියාපදිංචි කිරීමේ හා අධීක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත දීර්ඝ කාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැක.

2005 වසරේ පමණ සිට 1980 අංක 31 දරණ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීමේ හා අධීක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට උත්සාහ ගෙන තිබිණි.

එම උත්සාහයේ එක්තරා සංධිස්ථානයක් වන්නේ 2017 වර්ෂයේ දී එවකට පැවති රජය විසින් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතයි. එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිවිල් සංවිධාන විසින් විශාල විරෝධයක් ගොඩනැඟුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස එය කෙටිකාලීනව හකුලා ගැනීමට එවකට පැවැති රජයට සිදුව තිබිණි.

ඉන්පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව 1980 අංක 31 දරණ ස්වේච්චා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීමේ හා අධීක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා සඳහා වන යෝජනාවක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදීරිපත් කොට අනුමත කරගත්තේය.

එම යෝජනාවලිය පිළිබඳව විශාල සැකයකින් හා භීතියකින් සිවිල් සංවිධාන ක්‍රියා කළ අතර, එහි පිටපතක් සිවිල් සංවිධාන වෙත ලබා ගැනීමට විවිධ අමාත්‍යවරුන් හරහා උත්සාහ දැරුවද එය ලබාගැනීමට ඔවුන්ට නොහැකි විය.


සිවිල් සංවිධාන වෙත ආරාධනා

අරගලයෙන් පසු බලයට පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලය මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැසට් කිරීමත් සමඟම, විෂය භාර අමාත්‍යවරයා විසින් එම කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සිවිල් සංවිධාන වෙත ආරාධනා කළේය.

එම සාකච්ඡාවලදී පැවති පාලනය තුල සංවිධාන වලට පැවති සිවිල් අවකාශය සිමා කිරීමට කටයුතු කළ එවකට සිටි රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ඉවත්කොට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත්කරන ලෙස සිවිල් සංවිධාන එකමුතුව විසින් ඉල්ලීම් කරන ලදී.

එම ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ අමාත්‍යවරයා විසින් හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත්කර නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කිරීමට අවශ්‍ය කටයුතු මාසයක කාලයක් තුළ සිදු කිරීමට කටයුතු කළ අතර, ඉන්පසු නැවත එම එකමුතුව,  අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ අතර එහිදී අමාත්‍යවරයා විසින් දැනට සකස් කොට ඇති යෝජනාවලිය සිවිල් සංවිධාන වෙත ලබාදී ඔවුන්ගේ අදහස් ලබා ගන්නා ලෙස  නියෝග කළේය.

“රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධාන එකමුතුව”

එහිදී අමාත්‍යවරයා විසින් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන විශාල ප්‍රමාණයක් පවතින බැවින් ඒ සියල්ල නියෝජනය කළ හැකි කණ්ඩායමක් පමණක් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළ යුතු බවයි. එහිදී  “රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධාන එකමුතුව” ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන කොපමණ ප්‍රමාණයක් නියෝජනය කරන්නේ ද යන්න නිශ්චිතව දක්වන ලෙස ඉල්ලීමක් කරන ලදී.

ඒ අනුව එම එකමුතුව විසින් රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධානවල මහ සමුළුවක් ශ්‍රී ලංකා පදනම් ආයතයේ පැවැත්වීමට කටයුතු කළේය. එම  රැස්වීම සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් සිවිල් සංවිධාන 394 ක් පැමිණ සිටි බව මෙම සංවිධානය විසින් ඉන්පසුව පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා වෙත දැනුම් දෙන ලදී.

එහිදී තවදුරටත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ සිවිල් සංවිධාන එකමුතුව නියෝජනය නොකරන වෙනත් කණ්ඩායම් සිටී නම් ඔවුන්ට ද අමාත්‍යාංශය සමඟ මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සම්බන්ධ වන ලෙස පණිවිඩ ලබාදෙන ලෙසයි.

පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්න

ඒ අනුව ජාත්‍යන්තර සිවිල් සංවිධාන එකමුතුව අමාත්‍යවරයා සමග සාකච්ඡාවකට පැමිණියේය. එහිදී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කළ අතර අවසානයේදී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජාත්‍යන්තර සිවිල් සංවිධාන මැදිහත්වීමට අපේක්ෂා නොකරන බවත් එම කටයුත්ත ජාතික මට්ටමේ සිවිල් සංවිධාන විසින් සිදු කළ යුතු බවත් ඔවුන් විසින් ප්‍රකාශ කරන ලදී.

අමාත්‍යවරයා සමඟ පැවති හතරවන සාකච්ඡාවේදී යෝජිත පනත් කෙටුම්පතට සිවිල් සංවිධාන වල ප්‍රතිචාරය ලෙස ලැබුණේ එම පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් ඉල්ලා අස්කර ගන්නා ලෙසයි.

එම ඉල්ලීම සලකා බැලූ අමාත්‍යවරයා විසින් එම පනත් කෙටුම්පත් යෝජනාවලිය ඉවත් කර නව කෙටුම්පතක් සඳහා වන සිවිල් සංවිධාන වල යෝජනා ලබාදෙන මෙන් ඉල්ලා සිටියේය.  

එහිදී අමාත්‍යවරයා සදහන් කලේ රජයේ අවශ්‍යතාවයත්, සිවිල් සංවිධානවල යෝජනාත් සලකා බලා සමතුලිත පනත් කෙටුම්පතක් සැකසීමට කටයුතු කරන බවයි. ඒ සඳහා මාසයක කාලයක් ලබා දුන් අතර 2023 ජනවාරි 30 වනදා පැවති සාකච්චාවේදී ඔවුන්ගේ යෝජනාවලිය අමාත්‍යංශයට ලබාදීමට කටයුතු කළේය.

එම යෝජනාවලිය හා පෙර පැවති කෙටුම්පත් අධ්‍යයනය කිරීමට අමාත්‍යංශය විසින් නිලධාරී කමිටුවක් පත් කළ අතර එම කමිටුව විසින් ලබා දුන් වාර්තා සහ පෙර පවත්වා තිබූ ප්‍රවිචාරණ ක්‍රියාවලියෙන් ලබාගත් අදහස් සහ යෝජනාද සම්පින්ඩනය කර පනත් කෙටුම්පතක් සෑදීම සඳහා අවශ්‍ය කරන යෝජනාවලිය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කල අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය හා නිතී කෙටුම්පත් දෙපාර්තමේන්තුව අතර සාකච්ඡා වට කිහිපයකට පසු සකස් කළ අවසාන කෙටුම්පත 2024 ජනවාරි මස 12 වන දින අමාත්‍යංශය වෙත ලැබී තිබිණි.

අමාත්‍යවරයා විසින් එම අවසාන කෙටුම්පත සිවිල් සංවිධාන ජාතික එකමුතුවට ලබා දී ඔවුන්ගේ අදහස හා යෝජනා හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙස දැනුම් දෙන ලදී.

රාජ්‍ය නොවන සංවිධානවලට එක් නීතියක්

ඒ අනුව සිවිල් සංවිධාන සමඟ සාකච්ඡාව ජනවාරි මස තිස් වන දා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේදී පැවැති අතර අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ අවසාන කෙටුම්පත බවත්, ඒ පිළිබඳ යම් ආකාරයක අදහස් සහ යෝජනා ඇත්නම් ඒ පිළිබඳව දින විසි එකක් තුළ ලබාදෙන ලෙස දන්වන ලදී. එහෙත් දින 21 අවසන් වන තෙක්ම ඔවුන්ගේ යෝජනා ලබාදීමට එම එකමුතුව ක්‍රියාකලේ නැත.

මේ අතර මෙම පනත් කෙටුම්පතට මූල්‍ය විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැලැක්වීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (Financial Action Task Force) විසින් නිර්දේශිත කරුණු ඇතුලත් කරන ලෙස අනිවාර්ය කර තිබිණි.

ඒ අනුව, සියලුම රාජ්‍ය නොවන සංවිධාන එක් නීතියක් යටතේ ලියාපදිංචි කර අධීක්ෂණය කිරීම, කලින් කලට ලියාපදිංචිය අලුත් කිරීම, දිගින් දිගටම සුපරීක්ෂණය හා අධික්ෂණය කිරීම, පරීක්ෂණ හා තොරතුරු කැදවීම සදහා බලය සහ නිතී උල්ලංඝනය කරන විට ඒ සදහා ප්‍රමාණවත් දඩ මුදල් තීරණය කිරීමට බලය ආදිය ඇතුලත් කල යුතුව ඇත.

මේ සියලු අවශ්‍යතා ඉටුවන පරිදි නව පනතක් ඉදිරිපත් කිරීම බැරෑරුම් කාර්යයක් වුවත් යෝජිත පනත් කෙටුම්පත තුල සිවිල් අවකාශයද ආරක්ෂා කරමින්, මහජන ආරක්ෂාවද තහවුරු කරමින්, රාජ්‍ය නොවන සංවිධානවලට රාජ්‍යයේ හා ජනතාවගේ සුභසෙත සැලසීම සදහා ලැබෙන මුදල්වලින් (පොදු මුදල්) ව්‍යාපෘති යෝජනාවලින් පොරොන්දු වන ප්‍රතිලාභ ගලා යාම සුපරික්ෂණය කිරීමේ වගකීම ඉටු කරමින් සංවරණ හා තුලන අභියෝගය ජයගෙන  ඇති බව පනත් කෙටුම්පත දෙස මධ්‍යස්ථ ඇසකින් බලන නීතිඥවරුන්ගේ මතය වේ.

(සනත් නිශාන්ත රුපරත්න)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image