දවසින් දවස, ඉතා අසීරුවෙන් ආර්ථිකය ශක්තිමත් කරමින්, ජනතාවට තව තවත් පහසුකම් ලබා දීමට රජය ක්‍රියා කරන බව ජනාධිපති රනිල්

වික්‍රමසිංහ අද( 06) පාර්ලිමේන්තුවේදී පැවසීය. 

මේ සියල්ල සැලසුමකට අනුව සිදු කරන බවත් හෙතෙම පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා එබව සඳහන් කළේය. 

වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා මෙසේ පැවසිය.

''අප සියල්ල සිදු කරන්නේ ක්‍රමානුකූලවයි. විද්‍යාත්මක සැලසුමකට අනුවයි. ආර්ථිකයට බරක් වන ආකාරයේ සහන ලබා දීමෙන් නැවත අපායකට රට ඇද දමන්න අපට  බැහැ.

සමහරු සිල්ලර විසඳුම්වලින් මේ ගැටළුව විසඳන්න පුළුවන් කියා කල්පනා කරනවා. පිටරටවල සිටින ලාංකිකයන්ගෙන් ඩොලර් 10 බැගින් හෝ 100 බැගින් ලබාගන්න සමහරු යෝජනා කරනවා. ඒක හරියට ඉස්කෝලයක් වටේ ඉන්න අයගෙන් සල්ලි ලබා ගෙන ඒ ඉස්කෝල දියුණු කරන්න පුළුවන් වගේ අමනෝඥ යෝජනා. ඒ වගේ දේවල්වලින් රටක ආර්ථිකය යථා තත්වයට පත් කරන්න බැරි බව කිසියම්ම හෝ ආර්ථික දැනුමක් තියෙන අයට වැටහෙනවා.

ඉතින් මේ අවස්ථාවේ අප ඉදිරියේ තියෙන්නේ එක ප්‍රශ්නයයි. අප මේ දැන් මේ යන මගෙහිම ඉදිරියට යනවාද, නැද්ද?

මේ මගෙහිම ඉදිරියට ගිහින් ආර්ථිකය ශක්තිමත් වීමේ යහ ප්‍රතිඵල අපි රටක් විදියට භුක්ති විඳිනවාද? එහෙම නැතිව මේ සැලැස්මෙන් ඉවත් වෙලා, වසර එකහමාරකට දෙකකට කලින් රට වැටී තිබුණු අසහනකාරී, බංකොලොත් තත්වයට යළි ඇද දමනවාද? තීරණය කරන්න. අපායට යළි ඇද වැටෙනවාද? නැතිනම් මේ මාර්ගයේ පාරාදීසය කරා ගමන් ගන්නවාද?


''මේ ගමන් මගම හැර අන් මගක් අපට නැහැ. අප මෙතෙක් ලබා ඇති සාර්ථකත්වය මගින් ඒ බව සනාථ වී තියෙනවා. ඉතින් මේ මාර්ගයේම ඉදිරියට යෑම සඳහා අවශ්‍ය අණ පනත් හා නීතිරීති පාර්ලිමේන්තුව ඉදිරියේ සම්මත කර ගැනීමටත් මා බලාපොරොත්තු වෙනවා. ඒ අරමුණින් ආර්ථික ප්‍රතිසංස්කරණ පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.''


ඉදිරියේ දී වැට් බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට බලාපොරොත්තු  වන බවත්, පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය ද වැට් බද්දෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. 

හැකිළී තිබුණ ආර්ථිකය මේ වනවිට යථාතත්ත්වයට පත්වෙමින් පවතින බවද පැවසු ජනාධිපතිවරයා අසීරු වුවත් දිනෙන් දින ආර්ථිකය ශක්තිමත් කරන බව ද කියා සිටියේය.


''රාජ්‍ය ආදායම 50% කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනීමට හැකිවුනා''  


2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී රාජ්‍ය ආදායම 50% කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනීමට හැකි වූ බවත් පසුගිය වසරේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලබා ගැනීමට හැකි වූ බවත් පැවසූ ජනාධිපතිවරයා,  ඒ හේතුවෙන් රජයට සේවා සැපයූ කොන්ත්‍රාත්කරුවන්ට වසර තුන හතරක් පුරා ගෙවීමට නොහැකිව තිබූ සියළු හිඟ මුදල් ගෙවා අවසන් කළ බව සඳහන් කළේය.

මහ බැංකුව සහ රජය සම්බන්ධීකරණයෙන් සිදු කළ සාර්ව ආර්ථික ඉල්ලුම් කළමනාකරණ ප්‍රයත්නයන් හේතුවෙන් 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී 70% ක්ව තිබූ උද්ධමනය 2024 වසරේ පෙබරවාරි මාසයේ දී 5.9% දක්වා පහත වැටීමත් සමඟ  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ පාරිභෝගිකයින්ට සහන ලබා දෙමින්, 2023 වසරේ දී 30% ඉක්ම වූ පොලී අනුපාත 10% කට වඩා අඩු අගයකට ගෙන  ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

2022 වසරේ අප්‍රේල් මස මැද භාගයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ට වඩා අඩු අගයක පැවැති, භාවිතා කළ හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3 කට වඩා වැඩි අගයකට ඉහළ නැංවී ඇති බවත් පෞද්ගලික මෝටර් වාහන හැර අනෙකුත් ආනයන සීමා ඉවත් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

1977 වර්ෂයෙන් පසු ප්‍රථම වතාවට 2023 වසරේ දී ගෙවුම් ශේෂයේ, ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමට හැකි වීම හේතුවෙන් පසුගිය වසරේ මෙම කාලයේ දී රුපියල් 363 ක්ව පැවති ඇමෙරිකානු ඩොලරය ඊයේ වන විට රුපියල් 308 ක පමණ අගයක් කරා අවප්‍රමාණය වී රුපියල ශක්තිමත් වී ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.


උරුමය වැඩසටහන යටතේ පවුල් ලක්‍ෂ විස්සක් සින්නක්කර ඉඩම් ඔප්පු හිමිකරුවන් බවට පත්වන බව ජනාධිපතිවරයා පැවසීය. 

එසේම දිළිඳු හා අවදානමට ලක් විය හැකි පිරිස් ආර්ථික අර්බුදයේ බලපෑම්වලින් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණය සඳහා වන වියදම තුන් ගුණයකින් ඉහළ දැමීමට හැකි වීම හේතුවෙන් අඩු ආදායම් ලබන පවුල් ලක්‍ෂ 24 කට අස්වැසුම හිමිවන බවද සඳහන් කළේය.


පාසැල් දරු දැරියන් ලක්‍ෂ 45 ක පමණ පිරිසකට සුරක්‍ෂා රක්‍ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ


පාසැල් දරු දැරියන් ලක්‍ෂ 45 ක පමණ පිරිසකට සුරක්‍ෂා රක්‍ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ ලැබෙන බවත් ජනාධිපති අරමුදල යටතේ පාසල් දරුවන් ලක්‍ෂයකට ශිෂ්‍යත්ව ලබා දෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අරමුදලෙන් රෝගීන්ට ලබා දෙන මුදල් දෙගුණ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේය.

කඳුකර දශකය යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 89 ක් පුරා ගම්මාන දහස් ගණනක සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා  මේ සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට රුපියල් මිලියන 100 බැගින් ලබා දී ඇති බවද සඳහන් කළේය.

පිබිදෙන ආර්ථිකයේ ප්‍රතිලාභ මුළු මහත් සමාජයටම සාධාරණ ලෙස බෙදී යන ආර්ථිකයක් නිර්මාණය කර මුළු මහත් සමාජයම ඉහළට ඔසවා තැබීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසීය.


පොත්, පාසැල් උපකරණ, ඖෂධ හා සෞඛ්‍ය උපකරණ වැනි භාණ්ඩ වැට් බදු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරත් පැවසීය.



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්