නවීන වෛද්‍ය සේවාවන්ට ගැළපෙන පරිදි නව තාක්ෂණය සමඟ අනුගත වෙමින් මෙරට සෞඛ්‍ය සේවාව තුළ සිදු කළ යුතු නව පරිවර්තනයන් පිළිබඳ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ ඊයේ (23) පැවති හමුවකදීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ “නායකත්වය සහ නිපුණතා සංවර්ධන” දෛදින වැඩමුළුවක් පෙරේදා  (23) පෙළොන්නරුව සුදු අරලිය හෝටලයේ දී ආරම්භ වූ අතර එහි පැවති වෙනත් නිල වැඩසටහනකට සහභාගීවීමට පැමිණි සිටි ජනාධිපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේ දී තම වැඩමුළුව පැවැත්වෙන ස්ථානයට ද කෙටි වේලාවකට හෝ පැමිණෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හදිසි ඇරයුමක් ලැබි තිබිණ.

එම හදිසි ඇරයුම පිළිගත් ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ සුහද කතා බහක නිරත විය.

''මෙරට සෞඛ්‍ය සේවාවේ නව පරිවර්තනයක් වෙනුවෙන් පුළුල් සංවාදයක් අවශ්‍යයි''

යටත් විජිත යුගයේ සිට ගොඩනගාගත් නිදහස් වෛද්‍ය ක්‍රමයක් ශ්‍රී ලංකාව සතු බවත් එය ලෝකයම පිළිගෙන ඇති බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම අතීත අත්දැකීම්ද සමඟ ගුණාත්මක සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවාවක් රට තුළ සහතික කළ යුතු බව සඳහන් කළේය.

කෘත්‍රීම බුද්ධිය ඇතුළු  නවීන තාක්ෂණය සෞඛ්‍ය සේවාවට එක් කර ගැනීමේ හැකියාවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරි වසර 10-15 තුළ මෙම නව පරිවර්තනයන් සිදු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම වෙනුවෙන් ක්ෂේත්‍රයේ සියලුදෙනා සමඟ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

ඒ සඳහා අදහස් සහ යෝජනා ලබාදෙන ලෙසද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට ආරාධනා කළ ජනාධිපතිවරයා මෙම සියලු සාකච්ඡා දේශපාලනීකරණයෙන් තොරව තර්කානුකූලව සිදු කිරිමේ වැදගත්කම ද පැහැදිළි කළේය.

ජාතික ආරක්ෂාක උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ඇතුළු සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

rw dhrfh6


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image