ලොව දියුණු රටවල කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීමට පෙර එමගින් උද්ගත විය හැකි අයහපත් ප්‍රතිඵල වලක්වාගැනීමේ පූර්ව සූදානමක් ලෙස අදාළ නීති රීති සම්පාදනය කරන බැවින් මෙරට ද ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

පාසල් දරුවන් මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුම්වත් කිරීම හරහා මාර්ග අනතුරු සිදු වන්නට පෙර වලක්වා ගැනීමේ අපේක්ෂාවෙන් පළ කර ඇති මාර්ග ආරක්ෂණ පදක්කම් වැඩසටහනට අදාළ ශිෂ්‍ය අත්පොත් හා ගුරු මාර්ගෝපදේශ අත්පොත් මෙන් ම උපදෙස් සංග්‍රහය එළි දැක්වීමේ වැඩසටහනකට එක් වු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේය.

දිනකට පාසල් දරුවන් 196,000ක් නගරගත වන අධික ජනඝනත්වයක් සහිත කොළඹ නගරය ආශ්‍රිත ව දිවයිනේ වෙනත් ප්‍රදේශවලට සාපේක්ෂ ව පාසල් දරුවන් මාර්ග අනතුරුවලට මුහුණපෑමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගන්නා බව පැවසු ඇමැතිවරයා, මෙම ඛේදජනක තත්වය වෙනස් කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු ව ඇති බවත් ඒ සඳහා මෙවැනි මාර්ග ආරක්ෂණ වැඩසටහන් මහඟු‍ පිටුබලයක් බව කියා සිටියේය.

ප්‍රවාහන හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂණ සභාව හා ඒකාබද්ධ ව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක සහයෝගය මත සිසු දැනුම්වත්කරණය ඇතුළු මෙම මාර්ග ආරක්ෂණ වැඩසටහන් අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී හා මාර්ගෝපදේශන ශාඛාව හරහා ක්‍රියාවට නංවන බව ද හෙතෙම පැවසීය.

වර්තමානයේ පාසල්වල විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලට පවත්නා උද්‍යෝගය අඩු වී යාමේ ප්‍රවණතාවක් පවතින පසුබිමක එම තත්වය මගහරවා ගැනීමට උත්සුක වෙමින් විෂය සමගාමී ක්‍රියාකාරකමක් ලෙස මෙම වැඩසටහන් දියත් කර මාර්ග අනතුරු සිදු වීමට පෙර ඒවා වලක්වා ගැනීමට ක්‍රියාත්මක වීම මෙම වැඩසටහනේ මුඛ්‍ය අරමුණ බවයි අධ්‍යාපන ඇමැතිවරයා පෙන්වා දෙන්නේ.

දිවයිනේ සමස්ත පාසල් පද්ධතියෙන් පාසල් 7,000කට අධික ප්‍රමාණයක මෙම පාසල් මාර්ග ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාවට නංවන බවත් එහි දී පාසල තුළ හා පාසලෙන් පිටත මෙන් ම පාසල ඉදිරිපස දී ද පොලිස් නිලධාරීන් සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වෙමින් ම මෙම අනතුරු වලක්වා ගැනීමේ පූර්ව ක්‍රමවේද ක්‍රියාත්මක කරන බව ද අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත තවදුරටත් පැවසීය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් මෙන්ම පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් සහ අධ්‍යාපන ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් රූපසිංහ ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

(චතුරංග මේදිස්)


edu ai


සබැඳි පුවත් :
දරුවන්ගේ ප්‍රසාදයට ලක් වූ ඉන්දියාවේ 'පළමු AI රොබෝ ගුරුවරිය'


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image