ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම ධුරයේ කටයුතු කිරීම

වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (අප්‍රේල් 04 වැනිදා) වාරණ නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වශයෙන් කටයුතු කරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබීය.

වාරණ නියෝගය අප්‍රේල් 18 වැනිදා දක්වා බල පැවැත්වෙන බව නියෝගයේ සඳහන් විය.

එසේම අදාළ පෙත්සමේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, ජ්‍යෙෂ්ඨ උප සභපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ උප සභාපති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපාට නොතීසි නිකුත් කරන ලෙසත් අධිකරණය නියම කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීර්ති නාමයට දැඩි හානියක් කර ඇති බවට චෝදනා

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමේ සඳහන් කර තිබුණේ මෛත්‍රිපාල සිරිසේන පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් වගකීම් විරහිත ආකාරයෙන් කටයුතු කිරීම නිසා පක්ෂයට විශාල හානියක් සිදුවූ බව ය.

පක්ෂයේ සභාපතිවරයා මෙන්ම රටේ සේනාධිනායකයා වශයෙන් ද කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන වගකීම් විරහිත ආකාරයෙන් කටයුතු කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම නිසා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය උද්ගත වූ බව පෙත්සමේ සඳහන් වෙයි.

එහි ප්‍රතිඵලයක් ලෙස ළමුන් ඇතුළු පුද්ගලයින් 269 දෙනෙකු මිය ගොස් තවත් 500 පමණ තුවාල ලැබූ බවත් පෙන්වා දෙන පැමිණිලිකාරීය ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් වලින්ද මෛත්‍රිපාල සිරිසේන වරදකරු වී ඔහුට රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවීමට නියම කෙරුණු බවත් පෙත්සමේ දක්වා තිබේ.

එසේම මෛත්‍රීපාල සිරිසේන තමන්ට ලැබුණු ජනවරමට පිටුපාමින් යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම තනතුරින් නීති විරෝධී ලෙස ඉවත්කොට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති පාර්ශවයකට අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමට කටයුතු කළ බවත් එම ක්‍රියාව තුළින් මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට අධිකරණය විසින් ද තීන්දු කළ බවත් පෙත්සමේ සඳහන් වෙයි.

මේ මගින් මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති උල්ලංඝණය කරමින් ජනතා පරමාධිපත්‍යයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවක ආණ්ඩු කිරීම වැළැක්වීමට ක්‍රියා කළ බවත් චෝදනා කර තිබේ.

එසේම මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වය යටතේ පක්ෂයෙහි අභිවෘද්ධිය සඳහා කලක් තිස්සේ ක්‍රියා කළ ප්‍රබල ක්‍රියාකාරිකයින් රැසක්ම අත්තනෝමතික ආකාරයෙන් නෙරපා හැරීමට ඔහු කටයුතු කර ඇති බවත් පෙත්සමෙන් එල්ල කර තිබෙන තවත් චෝදනාවකි.

මෛත්‍රිපාල සිරිසේනගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීර්ති නාමයට දැඩි හානියක් සිදු වී ඇති බවත් එබැවින් ඔහුට පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට නෛතික සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් චන්ද්‍රිකා කුමාරතුංග සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

xdfgsdg2015 වසරේ පැවති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ ආසන 95 ක් දිනා ගැනීමට හැකි වුවද මෛත්‍රිපාල සිරිසේනගේ අත්තනෝමතික හා ඒකාධිපති පාලනයේ ප්‍රතිඵලයක් වශයෙන් එම මන්ත්‍රී සංඛ්‍යාව මේ වන විට කුඩා සංඛ්‍යාවක් බවට පත්ව තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙයි.


එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ජනාධිපතිවරයෙකු ඉන් විශ්‍රාම ගිය පසු ඉබේම ඔහු පක්ෂයේ අනුශාසක ධුරයට පත්වන නමුත් මෛත්‍රීපාල සිරිසේන ධුරයෙන් විශ්‍රාම ගිය පසුව ද අත්තනෝමතික ලෙස සභාපති ධුරයේ රැඳී සිටීම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙන්වා දෙන පැමිණිලිකාරිය ඔහුට එම ධුරයේ රැඳී සිටීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවත් සඳහන් කර තිබේ.

විත්තිකාර මෛත්‍රිපාල සිරිසේනගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ලංකා නිදහස් පක්ෂයේ කීර්ති නාමයට දැඩි හානියක් සිදු වී ඇති බවත් එබැවින් ඔහුට පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට නෛතික සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් චන්ද්‍රිකා කුමාරතුංග සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

පැමිණිල්ලිකාර චන්ද්‍රිකා කුමාරතුංග වෙනුවෙන් පූර්ණිමා රත්නායක, අමිල දිසානායක යන නීතිඥවරු සමග ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර කරුණු ඉදිරිපත් කළහ.

(BBC සිංහල සේවය)

 


 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්