මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ කටයුතු කිරීම වළක්වමින් හා ඔහුගේ යෝජනාවක් අනුව එහි විධායක සභාව

විසින් පක්ෂ තනතුරු වලින් ඉවත් කරන ලද පිරිස් එම ඉවත් කිරීම් වළක්වමින් අධිකරණ නියෝගයක් ලබා ගැනීම මගින් එම පක්ෂයේ බලය යළි අල්ලාගෙන ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් නැවත පන ගන්වන්නට යන පොදුජන එක්සත් පෙරමුණු දේශපාලන සන්ධානයේ කටයුතුද එසේ බලය අල්ලා ගත් පිරිස්වල මූලිකත්වයෙන් ඉදිරියට යනු ඇතැයි ද වාර්තාවේ.


නැවතත් මෙම පෙරමුණේ කටයුතු සක්‍රිය කරන්නට පාර්ශ්ව කිහිපයක් පසු ගිය කාලයේ උත්සාහ කළත් ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේනගේ ක්‍රියාකලාපයන් එයට බාධකයක් වශයෙන් සලකා ඇති අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රීලනිප නායකත්වය අධිකරණය හමුවේ අභියෝගයට ලක්කරමින් නියෝගයක් ලබා ගත්තේ එම බාධකය ඉවත් කර ගැනීම සඳහා බව පැවසේ. 


එම අධිකරණ නියෝගය අනුව ශ්‍රීලනිප නායකත්වයේ කටයුතු කිරීමෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා වළක්වමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් අප්‍රේල් 04 දින ලබා දුන්නේය.

මීට අමතරව පසුගිය මාර්තු 30 වැනිදා පැවති එම පක්ෂයේ විධායක සභාවේදී මෛත්‍රීපාල සිරිසේන ගේ යෝජනාවක් අනුව ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයෙන් ඉවත් කරන ලද මහින්ද අමරවීර, ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් කරන ලද දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් කරන ලද ලසන්ත අලගියවන්න එම ධුරවලින් ඉවත් කිරීමට එරෙහිව අප්‍රේල් 01 දින අධිකරණ නියෝග ලබාගත් අතර ඔවුන් ඉන්පසු පක්ෂ මුලස්ථානයට පැමිණ මාධ්‍ය සාකචිජාවක් පවත්වා පක්ෂ නායකත්වය විවේචනය කරමින් අදහස් දක්වනු ලැබීය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ගත් අධිකරණ ක්‍රියාමාර්ගයට අප්‍රේල් 04 වැනිදා තීන්දුව ලැබීමෙන් පසු එම තිදෙනා පක්ෂ මූලස්ථානයට පැමිණ එහි සේවකයින් කැඳවා උපදෙස් ලබා දෙමින් යළි එම තනතුරුවල කටයුතු කරන්නට පටන් ගෙන තිබේ. එහිදී ඔවුන් ආරාධනා කර ඇත්තේ පක්ෂය හැරගිය අය යළි එහි පැමිණෙන ලෙසයි.

පුටුව ලකුණේ සන්ධානය කරළියට

ශ්‍රීලනිප ව්‍යවස්ථාවට අනුව හිටපු ජනාධිපතිවරයෙකුට ශ්‍රීලනිපයේ නායකත්වයේ කටයුතු කරන්නට නොහැකි අතර ඔහුට එහි උපදේශක තනතුරක් පමණක් දැරිය හැකිය. එම ව්‍යවස්ථාමය තත්ත්වය භාවිත කරමින් මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපයේ නායකත්වයේ කටයුතු කිරීම වළක්වාලන නියෝගයක් අධිකරණයෙන් ලබා ගැනීමට චන්ද්‍රිකා කුමාරතුංග පාර්ශ්වය කටයුතු කළ අතර ඒ අනුව දැන් පොදුජන එක්සත් පෙරමුණ නැවත බලගැන්වීමට බාධාවක් නැතැයි කරුණු වාර්තා වෙයි.


මේ නව තත්ත්වය සමග පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් තනතුර එහි ලේකම් වශයෙන් මෙතෙක් සිටි ලසන්ත අලගියවන්නට හිමි වෙන බව වාර්තා වෙත අතර නායකත්ව මණ්ඩලයක් හරහා එම සන්ධානයේ ඉදිරි කටයුතු සංවිධානය කරන්නට බලාපොරොත්තු වෙන බවද ඒ අනුව අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ පොහොට්ටුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු පමණ මෙම සන්ධානයට එකතු වෙන්නට නියමිත බවද කරුණු වාර්තා වෙයි.


එම පෙරමුණ වෙත එකතු වෙන පක්ෂවල නායකත්වය, පෙරමුණේ නායකත්ව මණ්ඩලය නියෝජනය කරනු ඇතැයි ද අදාළ පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන් පහකට වඩා තිබේ නම් එම පක්ෂයේ නායකයාට අමතරව තවත් සාමාජිකයෙක් නායකත්ව මණ්ඩලයේ සාමාජිකත්වය ලැබෙනු ඇති බවද කරුණු වාර්තා වෙයි.

(anidda.lk - කේ. සංජීව)

 

  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්