විදේශ රැකියාවක් ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ

ඇයගේ සැමියා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (05) නියෝග කරනු ලැබීය.

පෙරේදා (04)  දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඔවුහු ඊයේ  දහවල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළහ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුකරන බව යි.

විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි.

 මේ අතර විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වැළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඉකුත් දා ( අප්‍රේල් මස 02 වනදා) තීන්දු කළේය.


දමිතා අබේරත්න සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

දමිතා අබේරත්න වෙනුවෙන් නීතිඥ අස්තික දේවේන්ද්‍ර අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කර තිබුණේ තම සේවාදායිකාවට එරෙහිව පොලීසිය විසින් මුලින්ම දණ්ඩ නිති සංග්‍රහය යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර විමර්ශන සිදු කළ බවයි.

ඉන් අනතුරුව ඇයට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරන බව පෙන්වා දුන් නීතිඥවරයා ඒ තුළින් තම සේවාදායිකාවට දැඩි අගතියක් සිදුවන බව ද පෙන්වා දුනි.

එබැවින් ඇය ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට තීරණය කරමින් පෙත්සම විභාගයට ගැනීම සඳහා වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

ඉන් අනතුරුව පෙත්සම යළි මැයි මස 16 වනදා කැඳවීමට ද නියම කෙරිණි.

(BBC සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්