මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට සිදුවී තිබෙන්නේ පරිසර ප්‍රශ්නයක් පිළිබඳවය. නිකම්ම නිකං පරිසර ප්‍රශ්නයක් ගැන නොව මෙරට මුහුදු තීරණයට බරපතළ හානියක් සිදුවිය හැකි පරිසර ප්‍රශ්නයක් පිළිබඳවය.

මේ පරිසර ගැටලුව සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකාවට අයිති සාගර කලාපයටය. මීට පෙර කාලවලද සාගරයේ ජලය දූෂණය වීම කෙරෙහි බලපාන ලද නැව් අනතුරු කීපයක්ම සිදුවූ බව සමහරුන්ට මතක ඇත. එයින් එකක් වන්නේ xpress perl නෞකාවේ අනතුරය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට සිදුවූ පාරිසරික හානිය ගණනය කළ නොහැකි තරම් බරපතළ එකක්ය.

X Press Pearl fire May 26

 එම හානිය අදාළ නෞකාවේ රක්ෂණ සමාගමෙන් අයකර ගැනීමට මේ දක්වාම හැකියාවක් ලැබී නැත. තක්සේරු කළ මුදල ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ එම නෞකාව රක්ෂණය කර ඇති සමාගම සමග තක්සේරු මුදල අයකර ගැනීමට සාගර පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් යොදවා ඇත්තේ අදාළ රක්ෂණ සමාගම වෙනුවෙන් හෙට්ටු කිරීමට පැමිණි නීතිඥයන්ය. අපේ රට වෙනුවෙන් තක්සේරු කර ඇති මුදල වෙනුවෙන් අපේ පැත්තේ නීතිඥයන්  වී ඇත්තේ නෞකාව පැත්තට කතා කිරීමට මෙරටට ගෙන්වනු ලැබ සිටි නීතිඥයෝය. ඒ අය තමන්ගේ මුල් කොම්පැණියට විරුද්ධව තීරණයක් ලබා ගැනීමට උත්සාහ ගන්නේ යැයි මා සිතන්නේ නැත. සිදුවුණෙත් ඒකමය. සිංගප්පූරු නැවෙන් ලබාගත යුතු යැයි තක්සේරු කළ මුදල ලබාගැනීමට නොහැකි වූ අතර ඒ කාරණය තවමත් තිබෙන්නේ අධිකරණයේය.

 

ඩාලි නෞකාවේ ප්‍රශ්නය


33V79AX highres
මෙවර සිදු වෙන්නට යන්නේත් ඒ වගේම සිද්ධියක් යැයි සිතීමේ වැරැද්දක් නැත. ගිනි පෙළෙල්ලෙන් බැට කෑ පුද්ගලයා කණාමැදිරියාටත් බිය වන්නේ යැයි කියමනක් තිබේ. මේ සිදුවන්නේත් ඒ වගේ කාරණයකි. පසුගිය අතීතයේ තත්වය සිහියට පැමිණීම මේ වැනි තත්වයකදී අනිවාර්යය.

 ඩාලි යනු සිංගප්පූරු නෞකාවක් වන අතර එය මෙවර කුලියට ලබාගෙන ඇත්තේ ප්‍රසිද්ධ ප්‍රවාහන සමාගමක් වන ‘‘මර්ස්ක්’’ (Maersk) යන සමාගමයි. මෙම නැව ඇමරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බෝල්ටිමෝ වරායේ තිබෙන පාලමක් කඩා බිඳ දමමින් ඉදිරියට පැමිණි එකක්ය. පසුගිය දිනක මේ පාලම කැඩීම සම්බන්ධ වාර්තාවල මාධ්‍යවල පළවිය. එය එතැන් සිට දකුණු අප්‍රිකාවේ Cape of Good Hope වරායට පැමිණීමට නියමිත අතර එතැනින් පසුව කොළඹ වරායට පැමිණෙන බව දැනුම් දී ඇත. මෙම නෞකාව තුළ තිබෙන බහලුම් අතර බරපතළ ආකාරයේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය හෙවත් ‘‘හැසඩස් වේස්ට්’’ (Hazardous waste) අඩංගු කන්ටේනර් ඇති බවට කරුණු ඉදිරිපත් වී ඇත.

 
hazardous waste removal

 නෞකාවේ කන්ටේනර් 4644ක් ප්‍රවාහනය වන අතර ඒ අතරින් 764ක් තුළ ඉතාමත් බරපතළ ආකාරයේ ප්‍රතිඵල ලබාදිය හැකි අපද්‍රව්‍ය අඩංගු බව ඇමරිකාවේ අභ්‍යන්තරික ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් Homeland Security Department එක ප්‍රකාශ කර ඇත.එපමණක් නොවේ. මෙම බහලුම් අතරින් කන්ටේනර් 13ක්ම දැනටමත් අනතුරුදායක ලෙස හානියට පත්වී තිබෙන බවද ඇමරිකාවේ ජාතික ප්‍රවාහන සුරක්ෂිත මණ්ඩලය මගින් හඳුනාගෙන ඇත. නෞකාව අනතුරකට භාජන වුවහොත් මුහුදු ජලය අපවිත්‍ර විය හැකි බවට අනතුරු අඟවා ඇති අතර ඒ තුළ තිබෙන ඉන්ධන ගැලුම් ලක්ෂ 18ක් පමණ ප්‍රමාණය හරහා බරපතළ සාගර පරිසර ගැටලුවක් ඇතිවීමේ ඉඩක් පවතින බවද පෙන්වා දී ඇත.

මෙම කාරණා සියල්ල අවධාරණයට ගත්විට තේරුම් යන ප්‍රධාන කාරණය වන්නේ මෙම නෞකාවේ ගමන් මාර්ගය ශ්‍රී ලංකාව හරහා වැටී තිබීම හේතුවෙන් අප ඉතාමත් විමසිලිකාරී ලෙසින් මෙය නිරීක්ෂණය කළ යුතු බවයි. මීට පෙර අවස්ථා කීපයකම පෙන්වා දී ඇති ආකාරයෙන් සමහර විටක මෙරටේ බලධාරීන් එවැනි විමසිලිකාරීත්වයකින් වැඩ නොකිරීම හේතුවෙන් මීට පෙර ඇති වූ  භයානක තත්වයම ඇතිවීමේ ඉඩක් ඇත.


බාසල් සම්මුතිය

IISD ENB BRSCOPs2023 10May23 KiaraWorth 52

 පාරිසරික වශයෙන් මෙවැනි  අවස්ථාවක  ප්‍රයෝජනයට ගත හැකි ජාත්‍යන්තර එකඟතාවක් වන්නේ 1992 වසරේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන බාසල් සම්මුතියයි. මෙම සම්මුතියට රටවල් 53ක් අත්සන් තබා ඇති අතර එයට අමතරව සංවිධාන 191 ක් ලෝකය පුරා මෙම සම්මුති ආරක්ෂා කිරීමට එකඟවී ඇත. ශ්‍රී ලංකාවද බාසල් සම්මුතියට අත්සන් තබා ඇති රටකි. උපද්‍රව්‍යකාරී අපද්‍රව්‍ය හෙවත් පිළිබඳ පුළුල් නිර්වචනයක් ලෝකයට ලබාදීමට බාසල් සම්මුතිය සමත්වී ඇත. විශේෂයෙන්ම නවීන ලෝකයේ භාවිත වන රසායනික ද්‍රව්‍ය ඒ ඒ කාර්යය ඉටුකිරීමෙන් පසුව අපද්‍රව්‍ය බවට පත්වන තත්වය තුළ ඒවා ආරක්ෂිත ආකාරයෙන් කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්වී ඇත.

 

විශේෂයෙන්ම බාසල් සම්මුතියෙන් එකඟවී ඇත්තේ පුපුරණ සුළු දහනය වන සුළු සහ අතිශයෙන් විනාශකාරී (toxic) යන කණ්ඩවලට අයත් අපද්‍රව්‍ය සහිත භාණ්ඩ හෝ බහලුම්  ජාත්‍යන්තර වෙළෙඳ හා ප්‍රවාහන ක්ෂේත්‍රයේදී නිසි පරිදි  කළමනාකරණය කරන්නේ  කෙසේද යන කාරණයයි.

මෙහිදී මෙම සම්මුතියෙන් පිළිගෙන ඇති එක් නෛතික තත්වයක් වන්නේ එවැනි උපද්‍රවකාරී අපද්‍රව්‍ය ජාත්‍යන්තර මුහුදේ ප්‍රවාහනය වන්නේ නම් එම නෞකාවල ගමන් මාර්ගයට අයිති රටවල එසේ ප්‍රවාහනය වන උපද්‍රව්‍යකාරී අපද්‍රව්‍ය සම්බන්ධ පෙර දැනුම්දීමක් සිදු කරන බවයි. මෙය හැඳින්වෙන්නේ ‘‘Prior Imformed Consent’’(PlC) ලෙසින්ය. මෙම පූර්ව එකඟතාව නොමැතිව මෙවැනි නෞකා  රටින් රට ගමන් කිරීම ඒ අනුව සීමා කර ඇත.

container g4e68ab2c1 1920
මෙවැනි අවස්ථාවලට මීට පෙර මෙරට මුහුණ දී ඇති අතර පූර්ව එකඟතා ලියවිල්ලක් නෛතිකව  ලබා ගැනීම  හරහා ලංකාවේ වරාය හරහා මෙවැනි නෞකා ගමන් කිරීම සිදුවී ඇත. එහෙත් මෙවර ඉහත සඳහන් කළ නෞකාව එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය දැනුම් දී ඇත.

 බාසල් සම්මුතියේ ශ්‍රී ලාංකික  ක්‍රියාත්මක වගකීම් සහිත ආයතන වන්නේ මධ්‍යම පරිසර අධිකාරියයි. එම ආයතනය තුළ පිහිටුවා ඇති උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ අංශය මගින් රසායනික අපද්‍රව්‍ය, සායනික අපද්‍රව්‍ය සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවද මෙහිදී සටහන් කළ යුතුව ඇත. එහෙත් මෙවර ඉහතින්  සඳහන් කළ නෞකාව සම්බන්ධව ජත්‍යන්තර මාධ්‍ය වාර්තා  කරන තුරුම ඒ පිළිබඳ කිසිදු තොරතුරක් එම ආයතනයට දන්වා නොමැතිවීම මෙහිදී අපගේ අවධානයට යොමුවිය යුතු කාරණයක්ය.

 
 පාරිසරික ආරක්ෂණයේ වැදගත්කම


පරිසර ආරක්ෂණය යනු තවදුරටත් රටක ‘‘අමතර’’  කාරණයක් නොව කේන්ද්‍රීයම කාරණයක් බව විශේෂයෙන් පැවසිය යුතු නැත. දකුණු ආසියාව තුළ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ඉතාමත් ඉදිරියෙන් සිටින රටක් බවට ශ්‍රී ලංකාව පත් වී තිබූ බවද මෙහිදී සටහන් කළ යුතුය. ජාතික පරිසර පනත  මෙරට තුළ නීතියක් බවට පත්වූයේ 1981 වර්ෂයේ සිටය. ඉන්දියාවේ පවා පරිසරය ආරක්ෂා කිරීමට නීති නිසි පරිදි නොතිබූ කාලයක ලංකාව  තුළ පරිසර නීති ස්ථාපිත කරන්නට හැකියාව ලැබී තිබුණි.

පරිසර සංරක්ෂණය සම්බන්ධව ගත් විට ක්ෂේත්‍ර ගණනාවකට අධානය යොමුවන බව සැබෑවක්ය. එක් පැත්තකින් සංවර්ධනය හා පරිසර ආරක්ෂාව තුලනය කළ යුතුය. ඒ සඳහා ජාතික පරිසර පනතට යටත්ව රෙගුලාසි පනවා ඇත. ‘පරිසර බලපෑම් ඇගැයීම’ හෙවත් (EIA)  යන වාර්තාවක අවශ්‍යතාව ඒ මගින් රෙගුලාසි ගත කර ඇත. දෙවනුව දැනට ක්‍රියාත්මක වන කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ‘පරිසර ආරක්ෂණ බලපත්‍රයක් (EPL) නීතිගත කර ඇත.
fotor 2023 3 17 13 34 52 scaled
උපද්‍රව්‍යකාරි අපද්‍රව්‍ය ඇතුළත් අපද්‍රව්‍ය කළමනාකරණය මිළගට ඇති වැදගත්ම පරිසර සංරක්ෂණ,ක්ෂේත්‍රයයි. රටේ ඝණ, අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධීකරණයත්, ප්ලාසිටික්,පොලිතින් වැනි ද්‍රව්‍ය භාවිතයෙන් පසු නිසි පරිදි කළමනාකරණය කිරීමත් විෂ සහිත උපද්‍රවකාරී අපද්‍රව්‍ය විද්‍යාත්මකව බැහැර කිරීමත්  ඒ මගින් කළ යුතුව ඇත.

ඉහත සඳහන් කළ නෞකාව සම්බන්ධ ගැටලුවට අවධානය යොමු කිරීම වැදගත් වන්නේ එවැනි විෂ රසායනික ද්‍රව්‍ය මෙරට තුළට පැමිණීම හෝ මෙරට සාගර කලාපයට එක්වීම බරපතළ අනතුරු ගෙනදිය හැකි තත්වයක් මතුකළ හැකි නිසාය.

මේ පිළිබඳව නිසි අවධානය යොමු වේවායි යන්න මගේ මෙවර කිවිදා දැක්මය.


1200px Dr. Charitha Herath
(මහාචාර්ය චරිත හේරත්) -පා.ම.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 (ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)

(කිවිදා දැක්ම : ලංකාදීප-අප්‍රේල් මස 05)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image