යුද්ධයෙන් දැඩි ලෙස බැට කෑ ජනතාවක් ජීවත් වන උතුරේ ගම්මානයක ඉඩම් පරිසර හිතකාමී ව්‍යාපාරයක් ලෙස ජනාධිපති රන් පදක්කම් දිනූ

සිමෙන්ති සමාගමකට හුණුගල් කැනීම සඳහා පැවරීමට ගිය ධීවර අමාත්‍යවරයාට පරිසර හිතකාමී ප්‍රදේශවාසීන්ගේ විරෝධතා නිසා ආපසු හැරී යන්නට සිදුව තිබේ.

සිමෙන්ති සමාගමට හුණුගල් කැනීමේ කටයුතු සදහා ඉඩම් පැවරීමෙන් වගාබිම් හා තණබිම් විනාශ වී තම ජීවනෝපාය අහිමි වීමේ අවදානමක් ඇති බව පෙන්වා දෙන කිලිනොච්චිය, පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොන්නාවේලි ගම් වැසියන් අවධාරණය කරන්නේ තමන් මේ වන විටත් දැඩි පානීය ජල ප්‍රශ්නයකට මුහුණ දී සිටින අතර හුණුගල් කැනීමෙන් එම තත්වය තවත් උග්‍ර වන බවයි.  

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට අප්‍රේල් 05 වැනි සිකුරාදා දැක්වු විරෝධතාවට එක්ව සිටි පොන්නාවේලි ගම් වැසියකු මාධ්‍යවේදීන්ට කියා සිටියේ ටෝකියෝ සිමෙන්ති සමාගමට ඉඩම් ලබා දීමට එරෙහිව දින 270 ක් තිස්සේ අඛණ්ඩ විරෝධතා දක්වන ගම්වැසියන්ට හොර රහසේ ඉඩම් පැවරීමට අමාත්‍යවරයා උත්සාහ කළ බවයි.

“අපි දින 270ක් තිස්සේ උද්ඝෝෂණ කරන අතරේ අපේ විරෝධතා කණ්ඩායමට සහ අපේ ගම්වාසීන් දැනුවත් නොකර ධීවර ඇමැති අපේ ප්‍රදේශයේ තියන ඉඩම් මිනින්දෝරු දෙපාර්තමේන්තුව හරහා මැනලා ඒ ඉඩම් ටික ඔවුන්ට පවරා දීලා එයාලට හුණුගල් කැඩීමට අනුමැතිය දෙන්න තමයි ආවේ. සාමකාමී උද්ඝෝෂණය කළ මිනිසුන් මගහැර ගිහිල්ලා හුණුගල් කැනීම් කටයුතු ආරම්භ කරන්න එයා උත්සාහ කළා. නමුත් අපේ ජනතාවගේ දැඩි විරෝධය නිසා ඔහු ආපසු ගියා.”

“ධීවර සම්පත් ඇමැති තුමනි - අපේ ගම් බෙදන්න එපා, ගොඩබිම සහ ජලය විනාශ කරන්න එපා, හුණුගල් කැනීම වහාම නවත්වනු, පිටවනු - පිටවනු ටෝකියෝ පිටවනු,” ආදී සටන් පාඨ කියමින් පරිසරයට හා ජීවිකාවට සිදුවන හානියට එරෙහි ගම් වැසියන් විරෝධතා දියත් කර තිබේ.


‘සුවිශේෂී ලෙස පරිසර සංවේදී ව්‍යාපාරික භාවිතය’ සඳහා 2023 රන් සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් ප්‍රදානය කොට තිබුනේ ද ටෝකියෝ සිමෙන්ති සමාගමටයි.


පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ සිමෙන්ති නිෂ්පාදනයේ ප්‍රධානම අමුද්‍රව්‍යයක් වන හුණුගල් කැනීමේ කටයුතු පෙරවරු 10 ට ආරම්භ කිරීමට සිමෙන්ති සමාගම සැලසුම් කර තිබුනත් ජනතා විරෝධය නිසා ඔවුන් එම කටයුතු සිදු  නොකළ බවයි.

උතුරේ දියත් කළ යුද්ධය නිසා ඇති වු අනේකවිධ පීඩාවන් හේතුවෙන් සිය මුල් ගම් බ්ම් අතහැර වසර ගණනාවක් පිටස්තරව ජීවත් වු කිලිනොච්චිය, පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොන්නාවේලි ගම්මානයේ ජනතාව යුද්ධය නිමා වීමෙන් පසුව යළි සිය මුල් ගම් බිම් වෙත යලි පදිංචියට පැමිණ  ඇත්තේ 2010 වසරෙන් පසුවයි.

පොන්නාවේලි ග්‍රාම සේවා වසමට අයත් පොන්නාවේලි, වලෙප්පාඩු, කිරාංචි, පලාවි සහ වේරාවිල් යන ගම්මාන පහ  තුළ පවුල් 1600 කට වැඩි සංඛ්‍යාවක් ජීවත්වන අතර, ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ  ධීවර කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ වී වගාවයි. විසිදහසකට අධික දෙනුන් සහ දහසකට වැඩි එළුවන් කවන තණබිම් ප්‍රදේශයේ තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන පරිදි  එම ගම් වැසියන්ද පොන්නාවේලි ගම්වාසීන්ගේ විරෝධයට සහාය පළ කරයි.

සිය ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් වගාබිම්, තණබිම් සහ ගෙවතු ඇතුළු ඉඩම් සහිත හෙක්ටයාර් 1000 කට ආසන්න ප්‍රදේශයක් සිමෙන්ති කර්මාන්තශාලාවට හුණුගල් කැනීම සදහා අවශ්‍ය මුලික අනුමැතිය ලබා දී ඇති බවට ඔවුන් පසුගිය වසරේ චෝදනා කර තිබුනි.





 
cement1
 
cement2
 
cement3 5
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්