මේ වන විට වේදිකාවල සුරංගන කතා කියමින් තමන් එකම විසඳුම, උත්තරය යැයි කියමින් ඇතැමුන් ජනතාව සිහින ලෝකවල රවටමින් සිටින බවත් කවුරු මොන උත්තර, විකල්ප, විසඳුම් පෙන්වා දුන්නත්

රටට ඩොලර් හා රුපියල් නොමැතිව කිසිදු විසඳුමක් ක්‍රියාත්මක කළ නොහැකි බව විපක්ෂ නායකවරයා පවසයි.

76 වසරක ප්‍රජාතන්ත්‍රීය ඉතිහාසය තුළ රටට වැඩක් කළ එකම විපක්ෂයේ පක්ෂය සමගි ජන බලවේගය බව පවසන විපක්ෂ නායකවරයා, එබැවින් තවදුරටත් බොරුව මිරිගුව පසුපස නොදුවන ලෙසත් එසේ වුවහොත් දැන් ඉන්න තැනටත් වඩා පහත් තැනකට වැටිය හැකි බවත් අවධාරණය කරයි.

රට ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගත් රණවිරුවාට හිමි නිසි වටිනාකම ගෞරවය ලබා දෙන පාලනයක් ගෙන ඒමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද මාතලේ පැවැති සමගි රණවිරු සමුළුව අමතමිනි.


''2019 මං කියන දේ අහන් නැතිව විරුවෙක් ගෙනාපු එකේ ප්‍රතිඵල පේනවා''


2019 ජනාධිපතිවරණ සමයේ කොටුවේ තිබූ ආබාධිත රණවිරු උද්ඝෝෂණය අවස්ථාවේ තමාද එතැනට ගොස් රණවිරුවන්ට සිදු කළ යුතු වැඩ කොටස් සම්බන්ධයෙන් අවබෝධයක් ගත් බවත් ඒ අවස්ථාවට මහින්ද රාජපක්ෂ මෙන්ම කමල් ගුණරත්න පවා ගිය බවත් එහි දී තමාගේ වචනය වෙනුවට ඒ විරුවන්ගේ වචනය පිළිගත් බවත් එහි ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් ඇති බවත් ආබාධිත රණවිරුවන්ට මේ වන විට රැකවරණයක් නොමැති බවත් 2022 නොවැම්බර් 8 චක්‍රලේඛයක් හරහා ආබාධිත රණවිරුවන්ගේ අයිතීන් කප්පාදු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ අනුව ආබාධිත රණවිරුවන් වයස 55 තෙක් පරිස්සමින් ජීවත් විය යුතු බවත් 55ට පෙර ජීවිතය අහිමි වුවහොත් කලත්‍රයාට හිමි අයිතිවාසිකම් නොලැබෙන බවත් මේ ගැන පාර්ලිමේන්තුවේ හඬ නැගූ අවස්ථාවේ රජයේ පාර්ශ්වය කිව්වේ එය නිවැරදි කළා යැයි නමුත් මේ මොහොත වන තුරු එවැනි දෙයක් සිදු වී නොමැති බවත් සමගි ජන බලවේග රජයක් තුළ එය අහෝසි කරන බවත් හෙතෙම පැවසීය.


''රණවිරුවාට රජයෙන් ලැබෙන්නේ කුඩම්මාගේ සැළකිල්ලයි''


රට වෙනුවෙන් සුවිශාල මෙහෙයක් ඉටු කළ රණවිරුවන් වෙනුවෙන් රජයෙන් ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල බවත් එය වහා වෙනස් විය යුතු බවත් සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ නිලධාරීන් 34000ක් ලක්ෂ 30 බැගින් ලබා දී ගෙදර යවන්න රජය කටයුතු කරමින් සිටින බවත් රටේ මූල්‍ය ගැටලු රැසක් තිබුණත් 30 වසරක යුද ජයග්‍රහණයෙන් අවසන් කරන්න කටයුතු කළ රණවිරුවන් අමතක කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

''නොමිලේ දුන් ඉඩමෙන් පවා මුදල් අය කරන්න පටන් අරන්''


යුද්ධය ක්‍රියාත්මක වූ කාලයේ මෙන්ම යුද්ධයෙන් පසු මුල් අවධියේ ඉහළ සැලකිල්ලක් රණවිරුවන්ට ලබා දුන් බවත් රණවිරු ප්‍රජාවට නොමිලේ ඉඩම් ලබා දෙන්න අඩබෙර ගසා ව්‍යාපෘතියක් ආරම්භ කළත් රණවිරුවන් ඉටු කළ සේවාව අමතක කර එම ඉඩම්වල නිවෙස් තනා ඇති රණවිරුවන්ට ඉඩමේ වටිනාකමට මුදල් ලබා දෙන්න කියා ලිපි ලැබෙන බවත් රටේම ජනතාවගේ ඉඩමේ අයිතිය තහවුරු කළ රණවිරුවා අමතක කළ නොහැකි බවත් මෙසේ නොමිලේ ලබා දුන් ඉඩම්වලට මුදල් අය කර ගැනීම ගැනීම් ලැජ්ජා සහගත ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.


''හමුදාව අඩු කරනවා නම් ඔවුන්ට විකල්ප ආදායම් මාර්ග සලසා දිය යුතුයි''


එසේම සමාජය තුළ හමුදාව අඩු කළ යුතු බවට මතයක් ප්‍රචාරය කරමින් යන බවත් රට බංකොලොත් කළේ රණවිරුවන් නොව ආර්ථික ත්‍රස්තවාදී බවත් එවැනි තීරණ ගැනීමට පෙර මෙම රණවිරු ප්‍රජාවට විකල්ප වෘත්තියක්, ආදායම් මාර්ගයක් ලබා දිය යුතු බවත් ආර්ථික ත්‍රස්තවාදීන් බංකොලොත් කළ රට විවිධ රටවලට, බහුජාතික සමාගම්වල බලපෑමට නතුව රටේ න්‍යායපත්‍රය සකස් කරන මොහොතක රට දැය බේරා ගත් රණවිරු ප්‍රජාව රැකගත යුතු බවත් විශ්‍රාම සුවයෙන් සිටින රණවිරු ප්‍රජාව පවා ව්‍යවසායකයන් බවට පත් කරන වැඩසටහනකට යොමු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


''රණවිරුවන් සමඟ සමාජ ගිවිසුමක් ඇති කර ගත්තේ අද ඊයේ නොවේ''

රටේ නිදහස්, ස්වාධිනත්වය, සෛරීත්වය, ස්වාධිපත්‍ය, භෞමික අඛණ්ඩතාව තහවුරු කරන්න ඉමහත් ශක්තියක් ලබා දුන් රණවිරුවන්ගේ එකම බලාපොරොත්තුව, නිසි ගෞරවය හා පිළිගැනීම මෙන්ම ඉටු කළ වටිනා සේවාව අමතක නොකර සිටීම බවත් ඊට අදාළ ගෞරවය අප ලබා දිය යුතු බවත් රණවිරුවන්ට විශේෂිත සැලකිල්ලක් ලබා දෙන්න කටයුතු කළේ 2019 ජනාධිපතිවරණ අවස්ථාවේදී බවත් එදවස සමාජ ගිවිසුමක් රණවිරුවන් සමඟ ඇති කර ගත් බවත් එය වඩාත් විධිමත්ව, ක්‍රමවත්ව හා සංවිධානශීලීව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක බවත් රටේ තිබූ ත්‍රස්තවාදී යුද්ධ 2න්ම විපතට පත් රණවිරුවන් වෙනුවෙන් වෙනමම වැඩපිළිවෙළක් ද දියත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


''සුබසාධනය වෙනුවෙන් වෙනමම දෙපාර්තමේන්තුවක්''


රණවිරුවන්ගේ සුබසාධනය උදෙසා රණවිරු සේවා අධිකාරියක් පවතින බවත් මෙතෙක් කල් එමඟින් සිදු වූ සේවාව අගය කරන නමුත් මෙමඟින් රණවිරු සුබසාධනයට වැඩි බරක් නොලැබෙන නිසා ඇමෙරිකාවේ මෙන් වෙනමම දෙපාර්තමේන්තුවෙන් වෙනමම ස්ථාපිත කර සියලුම රණවිරුවන්ගේ සුබසාධනය වඩාත් ක්‍රමවත්ව නිශ්චිත දර්ශනයක් තුළ ඉලක්ක සහිතව කටයුතු කිරීම කටයුතු කරන බවත් එය රටේ අංක 1 ක්‍රියාවලියක් බවට පත් කරන බවත් ඒ සඳහා නව අනපනත් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

(චතුරංග මේදිස්)
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්