හිටපු රාජ්‍ය නායකයන් ජනතා බදු මුදලින් ජිවත් වෙමින් පක්ෂ හා මැතිවරණ දේශපාලනයේ නිරත වීම යුක්ති සහගත දැයි

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

“රටේ දේශපාලන සංස්කෘතිය නිරවුල් කර ගැනීම සඳහා හිටපු රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලීමක් කරන්න ඕන. දශක තුනක් රට පාලනය කල හිටපු ජනාධිපතිවරියක් සහ ජනාධිපතිවරුන් තිදෙනෙක් අප රටේ ඉන්නවා. මේ සිව් දෙනාම නඩත්තු වෙන්නේ බිලියන ගණනාවක මහජනතාවගේ බදු මුදල් වලින්. එවැනි පසුබිමක මේ අය පක්ෂ දේශපාලනය කරන එක, මැතිවරණ දේශපාලනය කරන එක යුක්ති සහගතද?”

ඔවුන්ට පක්ෂ සහ මැතිවරණ දේශපාලනයෙන් ඉවත් වෙන ලෙස ඉල්ලා සිටින මන්ත්‍රීවරයා, මහජනතාව බිලියන ගණනක් බදු වියදම් කරන්නේ කිසියම් පක්ෂයක ප්‍රවර්ධනය වෙනුවෙන් නොවන බව අවධාරණය කරයි.

“අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කළේ ඇමෙරිකන් ජනාධිපති ක්‍රමය සහ ප්‍රංශයේ ක්‍රමය යන ක්‍රමයන් උදාහරණයට අරගෙන. නමුත් ඇමරිකාවේ  ජනාධිපතිවරු 46 ක් අතරින් එකම එක ජනාධිපතිවරයෙක් පමණයි ජනාධිපති පදවියේ සිට කොංග්‍රස් මණ්ඩලයට නැවත තරග කළේ. එය සිදුවෙලා තිබෙන්නේද 1830 තරම් වූ ඈත යුගයකදී 6 වැනි ජනාධිපති ජෝන් කුවන්සි ඇඩම් පමණමයි.  ප්‍රංශෙත් ඒක කවදාවත් වෙලා නෑ.”


“පළවෙනි පුරවැසියෙක් එහෙම හෑල්ලු වෙන එක රටට හොඳ නෑ. අපේ රටේ විධායක ජනාධිපතිවරුන් ගේ මේ හැසිරීම එක පැත්තකින්, අප්‍රසන්නයි. පිළිකුල් සහගතයි. අනෙක් පැත්තෙන්, මහජනතාවගේ බදු මුදල්වලට සිදු කරන නිග්‍රහයක්. අසාධාරණයක්. අවමානයක්.”


ඇමරිකාවේ ප්‍රංශයේ නොව මේ රටේ ඉතිහාසය ගෙන බැලුවත් දේශපාලනය සම්බන්ධයෙන් කුමන මතවාද ප්‍රතිවිරුද්ධ අදහස් තිබුණද ජේ.ආර්. ජයවර්ධන පළමු විධායක ජනාධිපතිවරයා ක්‍රියාවෙන්ම එම ආදර්ශය ලබා දී ඇතැයි ඩලස් මන්ත්‍රීවරයා පැවසීය.

තරුණ පරම්පරාව ඉල්ලා සිටින නව දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් මහජනතාව ගේ බදු මුදල් වලට ගරු කරමින් පළමු පුරවැසියාගේ පරමාදර්ශී භූමිකාවකට ඇතුල් වන්නැයි ගෞරව පෙරදැරිව හිටපු රාජ්‍ය නායකයන්ගෙන් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

(චතුරංග මේදිස්)

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්