ආණ්ඩුව මෙම වසරේ (2024) අයවැයෙන් අපේක්‍ෂිත ආදායම සියයට 14 කින් අඩු වන බවත් ඒ අනුව අයවැයෙන් ඉලක්ක ආදායම අඛණ්ඩව

අහිමිවන 33 වැනි වසර මෙය බවත් ‘The State of the Budget Report 2024’ වාර්තාවෙන් හෙළි වූ බව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසයි.

‘වෙරිටේ රිසර්ච්’ ආයතනය විසින් නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.

පසුගියදා නිකුත් කරන ලද ‘The State of the Budget Report 2024’ වාර්තාවෙන් 2024 වසරේ දී, අඛණ්ඩව 33 වෙනි වතාවටත් රටේ සත්‍ය ආදායම, අයවැයෙන් අපේක්ෂිත ආදායමට වඩා වඩා අඩු වනු ඇතැයි අනාවැකි පළකර තිබේ.

The State of the Budget යනු වාර්ෂිකව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සම්පාදනය කරනු ලබන වාර්තාවකි. එම වාර්තාව ආර්ථිකය සම්බන්ධ විශ්ලේෂණාත්මක කරුණු ප්‍රකාශයට පත්කිරීමහි ලා දිවයිනේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk වෙබ් අඩවියෙ හි, මහජනතාවගේ පරිශීලනය පිණිස පළ කෙරේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂික අයවැයෙහි රාජ්‍ය මූල්‍ය, මූදල් සහ ආර්ථික ඇස්තමේන්තු පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් සහ තක්සේරුවක් මෙම වාර්තාවෙන් සපයයි.

රජයේ මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (COPF) එහි කාර්යභාරයට අදාළව ප්‍රකාශයට පත්කරනු ඇතැයි අපේක්ෂිත අයවැය වාර්තාවක අන්තර්ගතය මෙම වාර්තාවෙන් පිළිබිඹු කෙරේ. වාර්තාවේ අරමුණ වන්නේ ද, කාරකසභාව ප්‍රකාශයට පත්කරන වාර්තාව හා සමව, අයවැයට අදාළව සමාජය සහ පාර්ලිමේන්තුව සිදුකරන මැදිහත්වීම් - කරුණු නිසි පරිදි දැන, දැනුවත්ව සිදුකරන මැදිහත්වීම් බවට පත්කිරීම සඳහා උපකාර කිරීම වේ.

 

ආණ්ඩුව සිදුකරන සහ අනෙක් පසට පාර්ලිමේන්තුව අනුමත කරන අයවැය පුරෝකථනවලට වඩා නිරවද්‍ය අයවැය ඉලක්කයන් The State of the Budget වාර්තාවෙන් නැවත නැවතත් ඉදිරිපත් කර ඇත. එනිසාම එය, වෘත්තිමය මට්ටමින් සිදුකෙරෙන ආර්ථික විශ්ලේෂණයන්ට මෙන්ම රට වෙනුවෙන් ගන්නා තීරණවලටත් අමතරව අදාළ කරගත හැකි වැදගත් අධ්‍යන වාර්තාවකි.

 

අධි තක්සේරු කරන ලද බදු ආදායම

ශ්‍රී ලංකාව 1991 වසරේ සිට අයවැයක් මගින් නියම කර ඇති ආදායම් ඉලක්කයක් සපුරා නැත. 2023 අයවැයෙන් අපේක්ෂා කළ ඉලක්කයට වඩා 13%කින් එම වසරේ බදු ආදායම පහත වැටී ඇති බව ක්‍රම සහ විධි පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව මැතක දී, වාර්තා කළේ ය.

2024 වසර සදහා ආණ්ඩුව රුපියල් බිලියන 4,164ක ආදායමක් අපේක්ෂා කරයි. එය, 2023 වසරේ ආණ්ඩුවම සිදුකළ පුරෝකථනයට වඩා 42%ක වැඩිවීමකි. එසේවුවත්, The State of the Budget වාර්තාව පෙන්වා දෙන්නේ 2024 වසර සඳහා ආදායම ලෙස උපයාගත හැක්කේ රුපියල් බිලියන 3,570ක් බවයි. එය ආණ්ඩුවේ පුරෝකථනයට වඩා 14%කින් අඩුය.

මෙම ඇස්තමේන්තුගත හිඟයෙන් 61% ක් එකතු කළ අගය මත බදු (VAT) ආදායම අධිතක්සේරු කිරීම නිසා බවත් ඉතිරි 39% සමාගම් ආදායම් බදු, පුද්ගලික ආදායම් බදු, සමාජ ආරක්ෂණ දායක බද්ද (SSCL) සහ රේගු ආනයන බද්දෙන් ලැබෙන ආදායම අධිතක්සේරු කිරීම නිසා බවත් වාර්තාව හඳුනාගෙන ඇත.

පොලිය සහ ආදායම අතර අනුපාතය

ලෝකයේ වැඩිම පොලී පිරිවැය-ආදායම් අනුපාතය, ශ්‍රී ලංකාව සතු වන අතර සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ තිරසාරභාවය සඳහා මෙම අනුපාතය අඩු කිරීම ඉතා වැදගත් වේ. 2024 අයවැයෙන් මෙම අනුපාතය 64%ක් දක්වා පහත දමා ගැනීමට අපේක්ෂා කරයි.

නමුත්, වාර්තාවෙන් සිදුකර තිබෙණ අයවැය ආදායම් පුරෝකථනයන් හා පොලී ගෙවීම් සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ ගණනය කිරීම එක්ව ගත්විට මෙම අනුපාතය 70% ඉක්මවා යනු ඇති බව පෙනේ. ගෙවුණු වසර කිහිපයේ ද, තත්ත්වය එවැනි විය. කරුණු එසේ නම්, ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ද, අනුමැතිය ලබාගෙන ඇති සැළසුම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇත. එම සැළසුම නිසි පරිදි ක්‍රියාත්මක කිරීම, ණය තිරසරභාවය සැළකීමේ දී, තීරණාත්මක බව ආර්ථික විශේෂඥයින්ගේ මතය යි.

The State of the Budget 2024 වාර්තාව මෙම සබැඳියෙන් ලබාගත හැකිය



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්