theleaderlk 01

රජයේ ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක්වු තම සමීපතමයන් සිහි කරමින් නැගෙනහිර පළාතේ දෙමළ ජනයා ලබා දුන් කැඳ දන්සලක්

සනීපාරක්ෂක හේතු හුවා දක්වමින් නවතාලීමට පොලීසිය දැරු උත්සාහයක් අසාර්ථක වී තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ මඩකලපුව ගුවන් තොටුපල පාරේ පිහිටි ශ්‍රී පරිපුර්ණ විනායගර් (පිල්ලයාර්) කෝවිල ඉදිරිපිට ට මැයි 14 වැනි අඟහරුවාදා පෙරවරුවේ පොලිස් නිලධාරීන් සමග පැමිණි මඩකලපුව කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයා කැඳ දන්සල නවත්වා එම ස්ථානයෙන් පිටව යන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ දන්සල නැවැත්වීම සදහා අධිකරණය ලබා දුන් නියෝගයක් ඇත්දැයි දන්සලේ සංවිධායකයන් විසින් පෙරලා ප්‍රශ්න කළ බවයි.

කැඳ දන්සල නැවැත්වීමට හේතුව කුමක්දැයි ඔවුන් විමසු අවස්ථාවේ පොලීසිය දැනුම් දී ඇත්තේ සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරමින් ආහාර පාන බෙදා දීමට අවස්ථාව ලබා දිය නොහැකි බවයි.

 

උතුරු සහ නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් නායිකා අමලනායගී අමලිරාජා මාතාවගේ ප්‍රධානත්වයෙන් මුල්ලිවයික්කාල් කැඳ දන්සල එම ස්ථානයේදී පවත්වා ඇත්තේ ප්‍රදේශයේ සිවිල් සංවිධාන හා ජනතා නියෝජිතයන්ගේ සහයෝගයෙනි.

 

අධිකරණ නියෝගයක් ඉදිරිපත් කිරීමට අසමත් වු සහකාර පොලිස් අධිකාරිවරයා එම අවස්ථාවේ දුරකථනයෙන් කතා කොට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම ස්ථානයට කැදවීමට ක්‍රියා කළ බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.

එහිදී පොලීසිය තමන්ට සිදු කළ බාධා කිරීම් සම්බන්ධයෙන් උතුරු සහ නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන්ගේ ඥාතීන්ගේ  සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් නායිකා අමලනායගී අමලිරාජා මාතාව ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට පැහැදිලි කර තිබුනේ පහත අයුරිනි.

“මඩකලපුව දිස්ත්‍රික්කයේ සියලුම රථවාහන පොලිසියෙන් ඇවිල්ලා අපි කැඳ උයන්න උත්සාහ කරනකොට ඒකට ඉඩ දෙන් නැතුව පී.එච්.අයි ලා එක්කන් ඇවිල්ලා අපිට බැනලා මේ කැඳ බෙදන්න ඉඩ දෙන්නේ නැතුව අපිට විශාල කරදරයක් කළා. කැද බොන්න අපු අය ඔක්කෝම එළවලා මෙහේ ඉන්න ඉඩ දෙන්නේ නැතුව යැව්වා. සනීපාරක්ෂාව පිළිබද නීතිරීතිවලට අනුව මෙම කැඳ ලබා දිය යුතු බවත් අත්වැසුම්, මුහුණු ආවරණ සහ හිස් ආවරණ පැළඳ ගෙන කැඳ දෙන්න කිව්වා.”

 

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. ශ්‍රී නේෂන් එහිදී සදහන් කළේ යුද්ධයෙන් මරාදමා පහලොස් අවුරුද්දක් ගතවීත් යුක්තිය නොලද ස්වකීය ආදරණීයයන් සිහිපත් කිරීමේ කැඳ දන්සලක් තහනම් කරමින් දුන් උසාවි නියෝගයක් අනුව යමින් සම්පුර් පොලිස් නිලධාරීන් ද  දෙමළ කාන්තාවන් තිදෙනකු ඇතුළු සිව් දෙනකු මැයි 12 වැනිදා ඉරිදා රාත්‍රියේ දී අත් අඩංගුවට ගත් ආකාරය සිහිපත් කරමින් පොලීසිය තර්ජනය කළ බවයි.

 

තර්ජනයක්

“සාම්පූර්වල වෙච්ච දේ දන්නවා නේද කියලා අදත් පොලිසියේ එක්කෙනක් කිව්වා. ඉතින් සාම්පූර්වල සිදු වූ නීති විරෝධී ම්ලේච්ඡ ක්‍රියාව ගැන උදාහරණයක් විදිහට කියලා අපිත් ඒක කරනවා කියලා තර්ජනය කරනවා.”

පොලිස් නිල ඇඳුම්න් සිටි පිරිමින් විසින් මැයි 12 වැනිදා ඉරිදා රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් කාන්තාවන් අමානුෂික ලෙස බිම දිගේ ඇදගෙන යන ආකාරය ද  ප්‍රදේශවාසීන් විසින් විඩියෝ ගත කර තිබේ.

එම අත්අඩංගුවට ගැනීමට ප්‍රධානතම හේතු ලෙස පොලීසිය නිවේදනය කර ඇත්තේ අධිකරණ නියෝගයකට අකිකරු වීම සහ  රජයේ සේවකයකු නිසි පරිදි ප්‍රකාශ කරනු ලැබු ආඥාවකට අකීකරු වීමයි.

 

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ පොලිස් තර්ජන හමුවේ ශ්‍රී පරිපුර්ණ විනායගර් (පිල්ලයාර්) කෝවිල ඉදිරිපිට දී කැඳ බෙදා දීම නතර නොකළ දෙමළ ජනයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලබා දුන් උපදෙස් අනුගමනය කරමින් කැද දන්සල ක්‍රියාත්මක කළ බවයි.

 

විමුක්ති කොටි  සංවිධානයේ සාමාජිකයන් මිය යාම සැමරීම සදහා නැගෙනහිර පළාතේ පොලිස් වසම් කීපයක සැමරුම් උත්සව සංවිධානය කිරීමට සුදානම් වන බවට පොලීසියට තොරතුරු වාර්තා වී ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මැයි 14 වැනිදා නිකුත් කළ  මාධ්‍ය නිවේදනයක සදහන්ව තිබේ.

“එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන් මිය යාම සැමරීම සදහා නැගෙනහිර පළාතේ පොලිස් වසම් කීපයක සැමරුම් උත්සව සංවිධානය කිරීමට සුදානම් වන බවට බුද්ධි අංශ මගින් පොලීසිය වෙත දැනුම් දී තිබු අතර විශේෂයෙන්ම 2009 වෙල්ලමුල්ලි වෛක්කාල් ප්‍රදේශයේ මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සැමරීම මෙම පිරිසගේ අරමුණ බවද පොලීසිය වෙත තොරතුරු වාර්තා වී තිබිණි.”

නැගෙනහිර පළාතේ වාර්තා වී  සැමරුම් වැළැක්වීම සදහා පොලිස් ස්ථානාධිපතිවරුන් අධිකරණයෙන් ලබා ගත් නියෝග වලට අවනත වෙමින් අදාල පාර්ශව විසින් මෙම සැමරුම් උත්සව පැවැත්වීම සිදු නොකිරීමට කටයුතු කර ඇති බවත් පොලිස් නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.



සබැඳි පුවත් 

‘ත්‍රස්තවාදය’ට විරුද්ධව වෙසක් මාසයේ කැඳ දන්සලකට උසාවි තහංචි

කැඳ දන්සලක් දුන්නාට උසාවි නියෝගයෙන් දෙමළ හතරක් කූඩු කෙරේ

pe2024 2

worky sin

නවතම පුවත්