ප්‍රවීණ රංගනවේදී රවින්ද්‍ර රන්දෙණිය  දශක 5ක් පුරා ශ්‍රී ලාංකේය සිනමාව උදෙසා සිදු කළ විශිෂ්ට සේවාව අගයමින්

“රවී - සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

1974 වසරේදී තිරගත කෙරුණු ‘තරංගා’ සිනමා පටයෙන් සිනමාවට එක්වන රවීන්ද්‍ර රන්දෙණිය නම් වූ රංගන ශිල්පියා විශිෂ්ට රංගන පෞරුෂයකට හිමිකම් කියමින් තමාට රඟපාන්නට ලැබුණු සෑම චරිතයකටම උපරිමයෙන් සාධාරණය ඉටුකළ අතර පසුගිය දශක 5 පුරාවට ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂක හදවත් තුළ සදා නොමැකෙන මතක සටහන් රැසක් තබන්නට සමත් විය.

දුහුලු මලක්, පොඩි මල්ලි, වීරපුරන් අප්පු, ජනේලය, මායා, ආරාධනා, දඩයම, මංගල තෑග්ග, සාගර ජලය, සෛලම, සිරිමැදුර, අනන්ත රාත්‍රිය, කළුදිය දහර ඇතුළු සිනමාපට 100කට අධික ප්‍රමාණයකට තම රංගන ප්‍රතිභාව මුසු කරමින් ප්‍රේක්ෂකයා සිනමාශාලාව තුළට කැඳවා ගනිමින් සිංහල සිනමා කර්මාන්තය ඉහළට ඔසවා තැබීමට විශාල දායකත්වයක් ලබා දුන් ඔහු ශ්‍රී ලංකාව තුළ පැවති සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ ඕ.සී.අයි.සී. සහ විචාරක සම්මාන උළෙල රැසකදී පහළොස්වතාවකට වැඩි අවස්ථා ගණනාවකදී හොඳම නළුවාගේ සම්මානයෙන් පිදුම් ලැබූ අතර ජීවිතයට එක්වතාවක් පමණක් ලැබෙන Life time Achievements Awards සම්මාන 07කින් ද හොඳම සහාය නළුවා හා ඇගැයීම සම්මාන රැසකින් ද පිදුම් ලබා ඇත.

ඔහු සිනමාව උදෙසා කළ සේවාව වෙනුවෙන් සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයෙන් පිරිනැමෙන දර්ශන සූරී සම්මාන උපාධියෙන් ද පිදුම් ලබා ඇත.

මීට අමතරව ජාත්‍යන්තර සිනමාපට රැසකට තම රංගන දායකත්වය ලබාදුන් මේ ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියා Street Child (ප්‍රධාන චරිතය), Mother Thresa, Jungle Heat, Sandokan හා තිරගත වීමට නියමිත Distant Tear Drop සිනමාපටයේ (ප්‍රධාන චරිතය) ඇතුළු සිනමාපට රැසකට රංගන දායකත්ව ලබා දී ඇත.

සිනමා විචාරක ගාමිණී වේරගොඩ සිංහල බසින් හා උදිත දේවප්‍රිය  ඉංග්‍රීසි බසින් රචිත රවින්ද්‍ර රන්දෙණිය චරිතාපදානය ග්‍රන්ථ ද්විත්වය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර රවින්ද්‍ර රන්දෙණිය විසින් එහි පළමු පිටපත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

රවින්ද්‍ර රන්දෙණිය වෙත සිය උණුසුම් සුබපැතුම් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ එතුමා ක්ෂේත්‍ර ගණනාවකට දායකත්වය ලබා දිය හැකි දක්ෂ රංගධරයෙක් බවයි.


දේශපාලන වශයෙන් රවින්ද්‍ර රන්දෙණිය තමා සමඟ සමීපව කටයුතු කළ අන්දමද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා, සිය දේශපාලන කටයුතුවලට ඔහුගෙන් ලැබුණු නොමඳ සහායද කෘතවේදීව සිහිපත් කළේය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය

මම පළමු වරට රවින්ද්‍ර දුටුවේ 1975 කළුදිය දහර චිත්‍රපටය තුළින්. මම එක්සත් ජාතික පක්ෂ සංවිධායකයා ලෙස කැළණියට පැමිණියේද එම වර්ෂයේදීයි. එහිදී මට දළුගම සිටින රවින්ද්‍රගේ පවුලේ අයව හඳුනා ගැනීමට ලැබුණා. ඔවුන් නිරතුරුව අප පක්ෂය වෙනුවෙන් සහයෝගය ලබාදෙමින් කටයුතු කරමින් සිටියා. ඒ අනුව ඔහු සමඟ මා දේශපාලන වැඩ කටයුතු කළා.

ඒ වගේම විවෘත ආර්ථිකය සමඟ මෙරට චිත්‍රපට කලාවේ විශාල දියුණුවක් ඇති වුණා. රවින්ද්‍ර රන්දෙණිය මහතාත් ඒ සමඟ ඉදිරියට පැමිණෙන අයුරු අප දුටුවා. ඔහු එම සමයේ ප්‍රධාන චිත්‍රපට ගණනාවකට රංගන දායකත්වය ලබා දුන්නා. ඒ සමඟම දේශපාලනයට ද එක් වුණා. මගේ දේශපාලන කටයුතුවලට එතුමාගේ නොමද සහායක් හිමි වූ අතර අවසානයේ මාගේ ඉල්ලීම මත එතුමා 2001 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත් වුණා.

නමුත් එතුමාගේ කැමැත්ත තිබුණේ දේශපාලනය සඳහා නොවෙයි, කලා ක්ෂේත්‍රය සඳහායි. එතුමා දක්ෂ රංගධරයෙක්. අපි එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමාට තවත් ක්ෂේත්‍ර ගණනාවකට සිය දායකත්වය ලබාදීමට හැකියාව තිබෙන බව සඳහන් කළයුතුයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, හිටපු කථානායක කරු ජයසුරිය ඇතුළු දේශපාලන නියෝජිතයන් ද, සිනමා කර්මාන්තයට සම්බන්ධ සියලු අංශයන් නියෝජනය කරමින් ඔහුගේ සමකාලීනයන් හා සම්භාවනීය ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 


ravindra randeniya


සබැඳි ලිපි :
සිනමාවේ රවීන්ද්‍රය - අඩ සියවසක ආත්ම භාෂණය’ අද (5)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්