leader s

අඩ සියවසක් පුරා ශ්‍රී ලාංකේය සිනමාවට මහඟු මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ රංගධර, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය ගේ ඇගැයුම් උළෙල
‘රවී - සිනමා අඩ සියවසක ආත්ම භාෂණය’ නමින් අද (5) කොළඹ BMICH හිදී පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

අශෝක පොන්නම්පෙරුම“පාසල් යන්නට පෙර සිටම, කිසිදු සිනමාවක් ගැන නොදන්නා කාලයේ සිටම මට චිත්‍රපට යනු ආගන්තුක වචනයක් නොවීය. මන්ද අද මෙන් නොව 60 දශකයේ මැද භාගයේ පෝය දාට චිත්‍රපට පෙන්වීමේ තහංචියක් නොතිබිණි. තාත්තා සෑම වෙසක් සහ පොසොන් පොහොය දිනකම අප ගාල්ලේ චමත්කාරජනක රාත්‍රී සංචාරයකට රැගෙන ගියේය. ඒ සංචාරයේ අවසාන ප්‍රණීතාංගය වූයේ ක්වීන්ස් හෝ ප්‍රින්ස් සිනමා ශාලාවේ පෙන්වන පින්තූරය බලන්නට අප රැගෙන යාමයි. එලෙස මා පාසල් යන්නට පෙර මුලින්ම බැලූ චිත්‍රපටය වූයේ ‘සුහද සොහොයුරෝ’ය. මා කෙතරම් කුඩා ද යත් මට මතක තිබුණේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා අම්බලමක වැනි තැනක හඬමින් ගීයක් ගයන දර්ශනය පමණි. එම නළුවා අශෝක පොන්නම්පෙරුම බවත්, සුහද සොහොයුරෝ යනු ‘පාසිමලර්’ නම් දමිළ චිත්‍රපටයේ කාබන් කොපියක් බවත් පසුව දැනගතිමි. මෙලෙස ඇරැඹුණු පික්චර් බැලීමේ පුරුද්ද ගාල්ලේ ක්‍රිකට් මැච් තිබෙන දවස්වලදී ඒ ව්‍යාජයෙන් මිතුරන් සමග මැටිනි දර්ශන බැලීම දක්වා දිග් ගැහිණි.
rhtrh
 
මම සාමාන්‍ය පෙළ පන්තියේ උගනිමින් සිටියෙමි. මිතුරන් සමග අලු‍ත්ම චිත්‍රපටය වන ‘කල්‍යාණි ගංගා’ බලන්නට ක්වීන්ස් සිනමා ශාලාවට ගොඩ වීමි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ඔස්වල්ඩ් ජයසිංහය. ඔහු (නාමල්), ගංගා (ශ්‍රියානි අමරසේන) සමග සම්බන්ධයක් ඇති කරගත්ත ද ඉතා පොහොසතකු වූ ඔහුගේ පියාගේ නියෝගය මත ඇය ආවාහ කරගන්නට බැරි විය. කතාව දික්වී අවසානයේ නාමල් මුහුදේදී අතුරුදන් වූවා යැයි ආරංචිය පැමිණේ. මෙන්න මේ ආරංචිය පිලිවිසින්නට හෝ ඒ ගැන දන්වන්නට ගංගාගේ නිවෙසට එන නාමල්ගේ මිතුරන් කිහිප දෙනකු අපට තිරයේ දිස්වේ. ඉතා තියුණු, රූප ශෝබා ඇති නාමල්ගේ ප්‍රධාන මිතුරා ලෙස රාමු කිහිපයක පමණක් අප දුටු රංගන ශිල්පියා කවරෙකු දැයි දැනගැනීමට මට පුදුමාකාර කුකුසක් ඇති වූයේ තත්පර ගණනක හෝ විනාඩියක හෝ ඔහුගේ රිදී තිර පෙනී සිටීම මට බලවත් ලෙස කා වැදුණු නිසාය.
 
Ravindra11

අපේ පවුලේ සංයුතිය පරාස සහිතව වෙනස්. අයියා මට වඩා වසර 15ක් ද, නංගීට වඩා වසර 18ක් ද වැඩිමල්ය. ලොකු අක්කා මට වඩා වසර 13ක් ද, නංගීට වඩා වසර 16ක් ද වැඩිමල්ය. ඊළඟ අක්කා වන සුදු අක්කාත් මාත් අතර වයස පරතරය අවුරුදු 8කි. නංගීට යන විට එය 11කි. ඉදින් මට ප්‍රශ්නයක් ආ විට ඉස්සර වෙලාම අහන්නේ සුදු අක්කාගෙනි. ඈ මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ, විශේෂවේදී නිසා සිවු වැනි වසරේ සිටියාය. ඒ වසර 4 තුළ ඈ නාරන්මිණිය පාර, වේවැල්දුව පාර සහ කොහොල්විල පාරට යාව පිහිටි බෝඩිම් 3ක ලැගුම් පැතුවාය.

‘සුදු අක්කෙ අර යාළුවගේ පණිවිඩේ කියන්න එන කට්ටියගෙ ලස්සන එක්කෙනා කවුද?’

කල්‍යාණි ගංගා බලා මා ඇසුවේ ඒ තරමටම ඒ සුළු මොහොතේ ඒ රූපකාය මට වෙනස්ව පෙනුණු නිසාය.

‘එයාව ෆිල්ම්වල එහෙමකට දැකලා නෑ. හැබැයි අපේ බෝඩිමට යන පාරෙ ඔය බෝයි එයාලගෙ ෂොප් එකේ ඉන්නවා මං දැකලා තියෙනවා.’

මගේ දෑස් දැල්විණි. උපහාස රසය පිරි චරිතයක් වූ ඈ මගේ ප්‍රමුදිත මුහුණ දෙස බලා ‘මේ, එයාව බලන්න එක්කරගෙන යන්න කියන්න නම් එපා! අනික ඔස්වල්ඩ් ජයසිංහ ඉන්නෙ කොහෙද කියලත් අහන්න එපා’ යැයි කීවාය.
 
Ravindra12
අප 5 පන්තියේ සිටිද්දී සමස්ත ලංකා කනිෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගයට කොළඹ ආ වෙලාවේ අපේ පණ්ඩිත සහ එල්.ආර්.එස්. ගුණරත්න මහතා අප ජනප්‍රිය බොන්ඩ් චිත්‍රපටයක් වූ ‘thunderball’ නැරැඹීමට රැගෙන ගියේය.

එම චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ රූපකාය, රඟපෑම මේ වන විට මසිත තදින් කා වැදී තිබුණ අතර, සිනමා ලිපිවල ඔහු ගැන කියවා අසා තිබුණි. ඒ, සීන් කොනරි ය.
 


පුදුමය, මට, කල්‍යාණි ගංගා හි තත්පර ගණනක් දුටු මේ කඩවසම් නළුවා ජේම්ස් බොන්ඩ් ලෙස පෙනුණේ ඇයි?

වෙනත් දීර්ඝව රඟපාන නළුවන් ගැන එසේ නොසිතුණේ ඇයි?

එය මොකක්දෝ අරුම සිතුවිල්ලෙකැයි දැන් සිතේ.

මම දිගටම සුදු අක්කාට කරදර කරන්නට වීමි.

‘ඒගොල්ල ලොකු බිස්නස් එකක් තියෙන කට්ටියක්. ඔය ෆිල්ම් එක කරන අයට සම්බන්ධ ඇති. ඒ නිසා ඉන්න ඇති.’

‘මෙච්චර ෆිල්ම්ස් එනවා, නළුවො එනවා. මොකක් ද මේ සෙවිල්ල ආ?’
 


ඈට මා කියන දේ තේරෙන්නේ නැත. නැතහොත් මේ නළුවාගේ අගයක් නොතේරේ. ඔහු දුටු නිමේෂයේ පාසල් සිසු මා හට සිතුණේ ඔහු අපේ රටේ නළුවෙක් නොවේ කියාය. දුටුවේ රාමු කිහිපයක එක මොහොතක පමණි. අක්කාට ඇති ප්‍රශ්නය මෙතරම් කුඩා කොටසකින් නළුවකු ගැන සොයන්නට පෙළැඹෙන්නේ මන්ද යන්නයි.

මගේ සියලු‍ කුකුස් සැක, සංකා සංසිඳිණි.

 
කල්‍යාණි ගංගා ආවේ 1974 දීය.

1975 අවුරුදු සමය උදා විය. සිනමා ප්‍රවෘත්ති, වෙළෙඳ දැන්වීම් නිබඳ අසන මට ඒ සුබ ආරංචිය සවන් වැකිණි.

අප්‍රේල් අවුරුද්දට එකතු කරගත් මුදල් ද යහමින් ඇත.

ඒ වෙළෙඳ දැන්වීම් වාගේම රසවත්ව ඉදිරිපත් කළ සිනමා ප්‍රවෘත්ති වැඩසටහන්වල ප්‍රතිඵලය වූයේ මිතුරන් රොත්තක් සමග මම ගාල්ල ක්වීන්ස් සිනමාහි තරංගා පික්චර් පෝලිමේ මුලින්ම සිටීමයි. මම තරංගා නැරැඹීමි. සාමාන්‍ය පෙළ සිටියාට චිත්‍රපටයක සියලු‍ අංග සහ විශේෂතා පිළිබඳ හොඳ අවබෝධයක් මට තිබිණි.”
 
 
තරංගා චිත්‍රපටය සර්ව සම්පූර්ණ, භාව පූර්ණ එකක් නොවූව ද එය නැරැඹූ පසු කුමක්දෝ සලකුණක් හිතේ තැබුවා සේ විය. මුලදී ඊට හේතුව එහි රසාලිප්ත ගී එකතුව යැයි කෙනකුට සිතුණ ද, රවීන්ද්‍ර ලෙසම රඟපාන මේ අපූර්ව (සැබැවින්ම පූර්වයෙහි අත් නොදුටු) නළුවාගේ පෞරුෂයත්, රෝමාන්තික රංග වින්‍යාසය (Posture) සහ ආදරණීය විලාසය අප කාගේත් සිත් ගත්තේ එවක ගාමිණි, විජය සහ ටෝනි ත්‍රිත්වය අප තුළ සනිටුහන් කළ ලකුණට අබැටක හෝ කැළලක්, අඩුවක් නොකරමින්ය. මට හිතෙන ආකාරයට එය තව දුරටත් විස්තර කළ යුතුය. සාමාන්‍යයෙන් ගායකයකු අප ලෝකයේ මුදුනත සිටින මොහොතක තවත් ගායකයකු විත් අපේ ලොවේ එතැන ගෙන, මුදුනතේ සිටියහු, පහළට ගෙන එන්නට පිළිවන. නළුවකු වුව ද එසේමැයි. එහෙත්, පෙරත් කීවා සේ රවීන්ද්‍ර රන්දෙණිය නම් රංගධරයා අප වෙත ආවේ වෙනමය. ගාමිණී, විජය සහ ටෝනි අපේ ලොවේ එතැනම සිටියහ. එහෙත්, රවීන්ද්‍ර වෙනම පෙනෙන්නට විය. වෙනම කියවීමක් ද විය.

Ravindra1රවීන්ද්‍ර රන්දෙණිය
රවීන්ද්‍ර රන්දෙණිය නම් ‘හුදු නළුවකු’ යැයි අමතන්නට කිසිදා කවරකුට හෝ ඉඩ නොදුන් මේ රූපණවේදියා මෙතරම් ආස්ථානයක් ශ්‍රී ලාංකේය සිනමාව තුළත්, සාධනීයව ජාත්‍යන්තරය තුළත් පවත්වාගෙන යාමට හේතු වූ කාරණා රාශියක් ඇතැයි මට සිතේ.

“Acting is happy agony” යන කියමන ශාන් පෝල් සාත්‍ර කීවේ අපේ රවීන්ද්‍රයාට ද? විමසුම වටී.

 
ඔහු සිනමාවට පිළිපන්නේ කිසිදු නවකයකුට ඒ සඳහා ඉඩක් නැති අතිශය තදබදකාරී යුගයකය. ඒ නිසාම ඔහු ඒ ‘කර්කශ මිහිර’ නිහඬව දරාගත යුතු විය. ඒ සඳහා ඔහුට පන්නරය ලැබුණේ ඔහු රිදී තිරයට ප්‍රවිෂ්ට වන්නට පෙරාතුව අප්‍රමාණ වූ අභ්‍යාසයක්, පරිචයක් ලයනල් වෙන්ඩ්ට් රංග ශාලිකාවෙන් ලැබූ නිසාය. දෙවැන්න ශාන්ත බෙනඩික්ට් ඇතුළු අධ්‍යයන නිවස්නයන්ගෙන් ලද ශාස්ත්‍රාලයීය දැනුම කරණ කොට ගෙනය. තෙවැන්න සතත අභ්‍යාසය මෙන්ම සාහිත්‍ය සංගීත කලාවන් පිළිබඳ ඔහු තුළ වූ ප්‍රාගුණ්‍යයයි.

Lionel Wendt Art Centreලයනල් වෙන්ඩ්ට් රංග ශාලිකාව
ඇලිෂියා වෙට් ගෙ නිර්වචනය ඊට වෙනස්ය.

එය ද ඔහුටම කියූවක් වේ.

Acting is magical.

Change your look and your attitude,

and you can be anyone.

Ravindra9
 
රවී වෙනස එයම නොවේ ද?

‘රවීට ඕනෑ කෙනෙක් වෙන්න පුළුවන්’

‘You can be anyone’

ඔහු එය කර පෙන්වූයේය.
 
film 2

සිරිමැදුරේ සම්පත් සෙයිලමේ සුදු මහත්තයා නොවීය.

සුරබිදෙන කීර්ති හා මල්දෙනියේ සිමියොන් හි දයාරත්න අහස හා පොළොව තරම් වෙනසක් දැනවීය.

භව දුක හා භව කර්ම මුහන්දිරම්, සිරිපාල නොහොත් මරු සිරාගේ අහලකටවත් නොආවේය.
 
film

එනම්, ඇලිෂියා වෙට් (Alicia Witt) ලංකාවට ගෙන ආ විට ‘Ravi can be anyone’ වීය.

ඔහුගේ රංගනය සහ වෘත්තීයමය හසළතාව පිළිබඳ හරහට දිගට කතා වූ නිසා ඒ ගැන තවදුරටත් කියන්නට නොයමි. මගේ ජීවිතයේ රවී අයියා හා සම්බන්ධ අනන්ත සිදුවීම් අතර කිහිපයක් මතක් වේ. ඔහු වැනි කාර්ය බහුල චරිතයක් මෙතරම් සහනානුභූති පරවශ දැයි සිතෙන ඔහු චර්යා විස්මයජනකය.
 
 


“මගේ දෙවැනි කවිපොත ‘දුමාරය’ පළ කර ටික කලකින් රෝහණ, ලක්ෂ්මන් සහ ආනන්දගේ කලාභූමි ශිල්ප ශාලිකාවේ ප්‍රසංගාවසාන විනෝද චාරිකාවට බණ්ඩාරවෙල සංචාරක මණ්ඩල නිවාඩු නිකේතනයේ ලැගුම් ගෙන උදේ අපි ක්‍රිකට් ගසමින් සිටියෙමු. එහි කොටේජයක ලැගුම් ගෙන සිටි රවී අයියා මේක් අප් දමා කුමාර ලීලාවෙන් එළියට එද්දී කුලේ, රෝහණ, ලක්ෂ්මන් පිරිස දැක එතැනට ආවේය. කුලේ අයියා සහ ලකී අයියා වහාම පිරිසේ සිටි මා සහ කොබවක ඔහුට හඳුන්වා දෙනු ලැබිණි. අප දෙන්නාටම අත පා ආචාර කළ ඔහු කී දෙය මට තාම මතකය.

“වසන්තගෙ නම් ගොඩක් සින්දු අහල තියෙනවා, ඒත් බන්ධුගෙ නමින් මම දන්නෙ ‘හඬන්න ළංව’ එකයි ‘රෑ වැඩ මුරයයි’ විතරයි.”
 


“වෙන මොනවා ද ඔයා ලීවේ?”

එය මට හිතාගන්නට බැරි ප්‍රකාශනයක් වීය.

මම වහාම ‘දුමාරය’ පොතක් ඔහුට තෑගි කළෙමි.

සතියක් ගත වූයේ නැත. මට දුරකතන ඇමතුමක් යැයි කළමනාකරු කීය.

මා කෙසේ කන් අදහාගන්න ද?

“බන්ධු, මම පොත එක හුස්මට කියවගෙන ගියා. 28 වැනි පිටුවේ මම ඉන්නෙ. අර ඔයා බැංකු ජීවිතේ ගැන කියා තියෙන්නෙ”‍

“අතෘප්තිමත් ජීවිතයක තතු නේද රවී අයියෙ”‍ නිහඬව සිටීම හොඳම නැති නිසා එසේ කීවෙමි.

“හරියට හරි. මම 2nd schedule එකට දැන් යනවා. සති 2ක් විතර යාවි ආයෙ රෙස්ට් එකක් එනකොට. එතකල් මම මේක රස වින්දා කියන්නයි කතා කළේ.”‍
randeniya
ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ සිටින්නකු මා වැනි දුහුනකුට කතා කර එසේ අගයාවි යැයි ඔබට සිතාගන්නටවත් පුළුවන් ද?

මේවා තිර රචනා හෝ ප්‍රබන්ධ නොවේ. මා ලද සජීවී අත්දැකීම්ය.

නළු නිළි ප්‍රතිභා එළිදැක්මක් ප්‍රසංගාත්මකව කළ යුතු යැයි තීරණයක් ආ දා රවී අයියා මට මාතර වැඩ කරන තැනට කතා කළේය.

“බන්ධු එන්න ඕනෑ සාකච්ඡාවට, අපි ටීවීටී එකේ දාගමු.”‍

නාවල පාරේ ටීවීටී හි අප හමු වීම ‘රිදී රැයක් 1 සහ 2’ නිමහම් කිරීමේ කණ්ඩායමට මා එක්වීමේ රවී අයියා ඇරැයුමින් ඇරැඹිණි.

Ravindra4
 
හුට, අනෙකා නවක, ආධුනික, දුහුනකු වීම කිසි ප්‍රශ්නයක් නොවීය. ඒ ඔහුගේ ප්‍රථම නිර්මාණයේ රාමු කිහිපයේ හෝ ඔහු ආධුනික ලක්ෂණ නොපෙන්වූ නිසාය. ඒ පරිණත බවම ඔහුගේ විලක්ෂණය (Contrast) වීය.

එය හිංගලෙන් කීවොත් මෙබඳුය.

Ravindra8
 
“රංගනවේදියකුගේ හෝ කවර ක්ෂේත්‍රයක නියැළුණු නිර්මාණකරුවකුගේ හෝ වටිනාකම මැනෙන්නේ ජ්‍යෙෂ්ඨත්වය හෝ ශ්‍රේෂ්ඨත්වය මත නෙමෙයි. තමා අනුදත් මාධ්‍යයේ ඔහු හෝ ඇය පෙන්වන ප්‍රතිභාවත්, හෘදය සංවේදී බවත් මත.”‍ මේ රවී අයියාට මා හැදූ එක පාඨයක් පමණි.
 

ඉන්දියාව වගේ මහාද්වීපයක වගේම අපේ ලංකාව වගේ මුතු ඇටයක් බඳු පුංචි රටකත් සිනමාව යනු ‘තරු කේන්ද්‍රීය’ කලාවක් යයි පිළිගන්නට සිදු වෙයි.
 
 
 
තව ද, ‘Cinema is a great escape from real life’ යන සුපතල කියමන අප හට ‘නිහඬව’ කියා දුන් ‘මහා සද්දෙට ඇහුණු’ හඬ, රවී අයියාගේ උත්තුංග රංගනය නොවේ ද?

ඇත්තටම ඔහු සිනමාව වෙනුවෙන් ජීවිතයෙන් පලා නොගියේ ද?

ඒ කියමන ඔහුට හරියටම ගැළපේ.යහපතට ළදරුවකු බඳුව කටයුතු කරන ඔහු වරද දුටු තැන අදීනව නැගී සිටිනයුරු පුදුමාකාරය.
 
Ravindra3
ආදරණීය රවී අයියේ, ඔබ, මිනිසුන්ට සිහින දකින්න සැලැස්සුවේ නෑ. මිනිසුන්ට හිතන්න සැලැස්සුව ඔබ, මම රඟහලක වාඩි වෙලා ඉන්න බව අමතක කෙරෙව්වා.

ඒ සේරමත් හරි, අපේ ජීවිතේ හිස් අවකාශ, තනිකම ඔබ සම්පූර්ණ කළා. ඒ නිසයි ඔබ නමින් විතරක් නෙමෙයි ඇත්තටම ‘සූර්යයා, රවී’ වෙන්නෙ, අපේ සිනමාවෙ ‘රවීන්ද්‍රය’ වෙන්නෙ.
 
hqdefaultඅපේ ජීවිතේ හිස් අවකාශ, තනිකම ඔබ සම්පූර්ණ කළා. ඒ නිසයි ඔබ නමින් විතරක් නෙමෙයි ඇත්තටම ‘සූර්යයා, රවී’ වෙන්නෙ, අපේ සිනමාවෙ ‘රවීන්ද්‍රය’ වෙන්නෙ.
 

සටහන :
බන්ධුල නානායක්කාරවසම්

(lankadeepa.lk)
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්