*දිට්වා විපතට පත්වූවන් තවමත් කූඩාරම්වල: රජයේ මන්දගාමී පිළිවෙත බිඳ දමා නිවාස අර්බුදය විසඳීමට නිර්දේශ 03ක්
*වාර්තා යටපත් කර අවතැන්වූවන් අමතක කළ හැකිද? TAFREN වැනි ආයතනික යාන්ත්‍රණයක සහ ඉදිකිරීම් බදු කප්පාදුවක හදිසි අවශ්‍යතාව
මම ද අමතක වීමේ රෝගයට ගොදුරු වීමට ආසන්නව සිටියෙමි. වාසනාවකට මෙන්, දිට්වා අවතැන් වූවන් සම්බන්ධයෙන් රජය දැක්වූ මන්දගාමී ප්‍රතිචාරය විවේචනය කරමින් Facebookහි නැවත පළ කරන ලද සටහනක අඩංගු ප්‍රකාශයකට යමෙකු විසින් අභියෝග කර තිබිණි. එබැවින් දිට්වා අවතැන් වූවන්ගේ නිවාස පිළිබඳව මා 2026 මාර්තු 3 වැනිදා ලිපියක් ලියූ අවස්ථාවේ සිට තත්ත්වය වෙනස් වී ඇත්දැයි දැනගැනීම සඳහා මම නිල දත්ත සොයා බැලුවෙමි.
මාගේ අවධානයට ලක්වූ පළමු කරුණ වූයේ, රජය විසින් දිට්වා සම්බන්ධ තත්ත්ව වාර්තා නිකුත් කිරීම අප්‍රේල් 17 වැනිදායින් පසු නවතා දමා තිබීම යි. අප්‍රේල් මාසයෙන් පසුව ජාත්‍යන්තර රාජ්‍ය ආයතන පවා සිය වැඩ කටයුතු නවතා තිබිණි. එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) වෙතින් නිකුත් කරන ලද වඩාත් මෑත කාලීන තත්ත්ව වාර්තාව 2026 මැයි 1 දාතම දරයි.
පුද්ගලයන් 'අමතක වීමේ රෝගයට' ගොදුරු විය හැකිය. ශ්‍රී ලංකාවේ ජනතාවට සති දෙකකින් අමතක වන බව කියති. නමුත් රජයකට එසේ කළ හැකිද? විපත්වලින් පසු යථා තත්ත්වයට පත්වීම සහතික කිරීම තම මූලික අරමුණ කරගත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට එසේ අමතක කළ හැකිද? එසේත් නැතිනම් එය අමතක වීමක් නොව, රජය වගවීමකට ලක් කිරීමට භාවිත කළ හැකි දත්ත සක්‍රීයව යටපත් කිරීමක්ද?
නිවාස සම්බන්ධයෙන් ප්‍රගතියක් නොමැති වීම
මාර්තු මස මුල දී මා මේ පිළිබඳව අවසන් වරට ලියූ අවස්ථාවේ දී, නිල වාර්තා සඳහන් කළේ පවුල් 1,151ක් කඳවුරුවල සිටි බව යි. අවසාන 'දිට්වා' තත්ත්ව වාර්තාවට අනුව, පවුල් 494ක් තවදුරටත් කඳවුරුවල රැඳී සිටියහ. මට ලැබුණු විශ්වසනීය තොරතුරු අනුව, රම්බොඩ සහ වැලිමඩ ප්‍රදේශවල මෙන් ම වාවෙන්ඩන් වත්තේ (Wavendon Estate) තවදුරටත් කූඩාරම්වල ජීවත් වන පිරිස් ද මීට ඇතුළත් විය හැකිය.
විස්ථාපිත පවුල්වලින් වැඩි ම පිරිසක් පවුලේ අය සහ මිතුරන් සමඟ නවාතැන් ගෙන සිටිති. පෙබරවාරි මාසයේ දී පවුලේ සාමාජිකයන්ගේ සහ මිතුරන්ගේ කාරුණිකත්වය මත යැපුණු පවුල් සංඛ්‍යාව 45,034ක් විය. අප්‍රේල් වන විට එය 44,179 දක්වා නොසැලකිය යුතු මට්ටමේ අඩුවීමක් පෙන්නුම් කළේය.
නිවාස ඉදිකිරීම දුෂ්කර ය. නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් සොයා ගැනීම ඊටත් වඩා දුෂ්කර ය. ත්‍රිවිධ හමුදාව මගින් ඉදිකිරීමට නියමිතව තිබූ අන්තර් කාලීන නිවාස 1,000ක් පිළිබඳ නිවේදන හැරුණු විට, කඳවුරු සහ කූඩාරම්වල සිටින ජනතාව ඉන් ඉවතට ගෙන ඒම සඳහා අවශ්‍ය තාවකාලික නිවාස සැකසීමේ කටයුතු සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවක් පෙනෙන්නට නැත. 2004 ඉන්දීය සාගර සුනාමියෙන් පසු වූ කාලපරිච්ඡේදය හා සසඳන විට මෙය කෙසේද?
2005 දෙසැම්බර් 14 වන දින ප්‍රකාශයට පත් කරන ලද ඔක්ස්ෆෑම් ඉන්ටර්නැෂනල් (Oxfam International) වාර්තාවක් වන "A Place to Stay, A Place to Live" (නවාතැන් ගැනීමට ස්ථානයක්, ජීවත් වීමට ස්ථානයක්) හි සඳහන් වූයේ, විස්ථාපිත ජනතාවගෙන් සියයට 95ක් පමණ අන්තර් කාලීන නවාතැන් වෙත මාරු කර තිබූ බව යි. පවුල් 44,000 කින් 95%ක් (සහ කුලී නිවාසවල පදිංචිව සිටින පවුල්වල අය) 2026 දෙසැම්බර් වන විට නැවත පදිංචි කිරීමට හැකි වීමේ සම්භාවිතාව කොපමණද?
කළ යුතු දේවල් තුනක්
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද, පුද්ගලයින් 25 දෙනෙකුගෙන් සමන්විත දැවැන්ත කාර්ය සාධක බලකාය එම කාර්යය ඉටු කිරීමට අසමත් බව ඔප්පු කොට ඇත. සෑම සාමාජිකයෙකුට ම වෙනත් හදිසි රාජකාරි පවතින කාර්ය සාධක බලකායකට වේගයෙන් ඉදිරියට යා නොහැකිය. නිවාස පිළිබඳ අනුකමිටුව ඵලදායී නොවන තත්ත්වයට පත් ව ඇත. සිර වී ඇති කටයුතු යළි ක්‍රියාත්මක කිරීම තුලින් ප්‍රයෝජනවත් කාර්යභාරයක් ඉටු කිරීමට කාර්ය සාධක බලකායකට හැකියාව ඇත. නමුත්, ස්ථිර හෝ අන්තර් කාලීන නිවාසවල නැවත පදිංචි වී ඇති පවුල් සංඛ්‍යාව පමණක් තම එක ම කාර්යසාධන දර්ශකය (performance indicator) ලෙස සලකන, කැපවීමෙන් ක්‍රියා කරන තනි පුද්ගලයෙකු හෝ ආයතනයක් හෝ අනිවාර්යයෙන් ම සිටිය යුතුය.
2004 සුනාමි ව්‍යසනයෙන් සති කිහිපයක් ඇතුළත, ජනාධිපති සමඟ සෘජු සම්බන්ධතා පැවැත් වූ සහ කාර්යයන් සාර්ථකව ඉටු කරන්නෙකු වූ දිවංගත මනෝ තිත්තවැල්ලගේ ප්‍රධානත්වයෙන්, රජය විසින් TAFREN [ජාතිය ගොඩනැගීමේ කාර්ය සාධක බලකාය] පිහිටුවන ලදී. එහි ප්‍රධාන විධායක නිලධාරිනිය වූයේ, ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරිනිය ලෙස කටයුතු කර ඇති සහ සෙලාන් බැංකුව පිහිටුවීමට දායක වූ රෝහිණී නානායක්කාර මහත්මිය යි. ඔවුහු නිවැරදි ආකල්ප සහ කුසලතා සහිත පුද්ගලයින් පෞද්ගලික අංශයෙන් බඳවා ගත්හ. ඔවුහු නිවාස ඉදිකළේ නැති නමුත් ඒවා ඉදිකෙරෙන බව සහතික කළහ. මෙය 'කාර්ය සාධක බලකායක්' ලෙස හඳුන්වනු ලැබුව ද, ඇත්ත වශයෙන් ම එය පූර්ණකාලීන සේවකයින්ගෙන් සමන්විත ආයතනයක් විය.
දිට්වා සිදුවීමෙන් පසු 10 වන මාසයට පිවිසෙද්දී කෙරෙන පළමු නිර්දේශය වන්නේ, පැහැදිලිව නිර්වචනය කරන ලද කාර්යසාධන දර්ශක සහිතව TAFREN වැනි ආයතනයක් ස්ථාපිත කිරීම යි. කාර්ය සාධක බලකාය හෝ කමිටුව ආයතනයේ කටයුතු සඳහා පහසුකම් සැලසීමට එය යොදාගන්න.

රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් සම්පුර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට යි. 2025 දෙසැම්බර් මාසයේ දී දිට්වා ප්‍රතිසාධන කටයුතු සඳහා වෙන් කළ රුපියල් බිලියන 500ක අතිරේක ප්‍රතිපාදනවලින් කොටසක් වැය නොකිරීම සහ භාණ්ඩාගාරය වෙත බැර කරන ලද දිට්වා ප්‍රතිසාධන අරමුදල් කිසිසේත් වැය නොකිරීම පිළිබඳ වාර්තා සැලකිල්ලට ගනිමින්, පාර්ලිමේන්තුව මෙම කරුණු දෙක කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කළ යුතුය. පෞද්ගලික අංශයේ දායකත්වයන් ලැබීමට නියමිතව තිබූ අරමුදල සම්බන්ධයෙන් රාජ්‍ය මූල්‍ය කාරක සභාව ප්‍රශංසනීය ලෙස නොපසුබට උත්සාහයක නිරත වී ඇත. මෙහි දී රාජ්‍ය මූල්‍ය කාරක සභාව (COPF) ඊට වඩාත් සුදුසු පාර්ශ්වය වුව ද, විශේෂ කාරක සභාවක් මගින් යම් නිශ්චිත කරුණක් කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමට ඉඩ සැලසිය හැකිය.
දෙවන නිර්දේශය වන්නේ දිට්වා වියදම් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුට පමණක් භාර නොදී පාර්ලිමේන්තුව විසින් ම එම කාර්යය සිදු කළ යුතු බව යි.
දෙසැම්බර් මාසයේ දී අනුමත කරන ලද අතිරේක ඇස්තමේන්තුව මගින් නිවාස ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 100ක් වෙන් කරනු ලැබීය. තවත් මුදල් අවශ්‍ය වනු ඇත. එම නිවාසවලින් සමහරක් වෙත පිවිසුම් මාර්ග අවශ්‍ය වනු ඇත. සියලු ම නිවාස සඳහා ජලය, මලාපවහන සහ විදුලි පහසුකම් අවශ්‍ය වනු ඇත.
මේ සියල්ල සඳහා ආනයනික ද්‍රව්‍ය අවශ්‍ය වේ. ක්ලින්කර් (clinker) සහ සිමෙන්ති සිට වහල සෙවිලි තහඩු දක්වා බොහෝ ඉදිකිරීම් ද්‍රව්‍ය ආනයනය කිරීමට සිදුවෙයි. ටයිල් සඳහා වන සැබෑ තීරුබදු අනුපාතය සියයට 100.63ක් සහ SSCL (සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද) වශයෙනි. ඇලුමිනියම් සම්බන්ධයෙන් ගත් කල, එම අගය සියයට 81කට වඩා වැඩිය. ඉදිකිරීම් ද්‍රව්‍ය වරායෙන් නිදහස් කර ගැනීමේ දී ඒවායේ පිරිවැය දෙගුණ වෙයි.
මෙම අතිවිශාල මිල ගණන් හමුවේ තමන්ගේ ම නිවසක් හිමිකර ගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට අපේ තරුණ පරපුරට නොහැකි වී ඇති අතර, අසල්වැසි රටවල් සමඟ තරග කිරීමේ දී සංචාරක හෝටල් ද දැඩි අසීරුතාවකට මුහුණ දී සිටී. දැන්, දිට්වා අවතැන් වූ වැසියන්ට එම මුදලට ලැබෙන්නේ වඩා කුඩා නිවසකි.

වරාය සහ ගුවන් තොටුපළ බද්ද (PAL) සහ සෙස් (CESS) වැනි අතිරේක තීරුබදු (para tariffs) අදියර වශයෙන් ඉවත් කිරීම සඳහා වන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත. මෙම ක්‍රමික ඉවත් කිරීමේ ක්‍රියාවලිය බියගුලු ක්‍රියාවක් වන අතර, කප්පාදුවලින් වැඩි කොටසක් ජනාධිපතිවරණයෙන් පසුව සිදු කිරීමට කල් දමා තිබේ. හදිසි අවශ්‍යතාව වන්නේ ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා පනවා ඇති දණ්ඩනීය අතිරේක තීරුබදු (para tariffs) සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම යි. අවශ්‍ය වන්නේ ක්‍රමයෙන් ඉවත් කිරීමක් නොවේ. සම්පූර්ණයෙන් (ශුන්‍ය මට්ටමට) කපා හැරීම යි.
අතිරේක තීරුබදු (para-tariff) මගින් ලැබෙන වාසිවලින් ප්‍රයෝජන ගත් අය ඊට එරෙහිව විරෝධය පළ කරනු ඇත. ආදායම් ඉලක්ක කෙරෙහි ඇති විය හැකි අහිතකර බලපෑම පිළිබඳව භාණ්ඩාගාර නිලධාරීන් සිය කනස්සල්ල පළ කරනු ඇත. නමුත් සංඛ්‍යා පැහැදිලි ය. එනම්, රජයේ අනෙකුත් ආදායම් මූලාශ්‍ර අපේක්ෂාවටත් වඩා ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කරයි. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ( SSCL), වරාය සහ ගුවන් තොටුපළ බද්ද (PAL) සහ සෙස් (CESS) බදු මගින් ලැබෙන ආදායම නොමැතිව වුව ද රජයට කටයුතු කිරීමේ හැකියාව ඇත.
තුන්වන නිර්දේශය වන්නේ, අවම වශයෙන් ඉදිකිරීම් ද්‍රව්‍ය ආවරණය වන එස් එච් කේත (HS codes) සඳහා හෝ, ඵලදායකතත්වයට හානිකර අතිරේක තීරුබදු (para tariffs) ශුන්‍ය මට්ටමට ගෙන ඒම යි.
(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
Chair, LIRNEasia (www.lirneasia.net)
Twitter: @samarajiva
https://www.linkedin.com/in/rohan-samarajiva-39199918/
Most recent publication: https://journals.sagepub.com/doi/full/10.1177/14614448221143428
Most recent book: https://www.idrc.ca/en/book/infocus-information-lives-poor-fighting-poverty-technology







