'මැද මාවත' සොයා රනිල්-සජිත් හෙට කොළඹදී මුහුණට මුහුණ හමුවෙති
දේශපාලන කරළිය උණුසුම් කරමින් හිටපු ජනපති සහ විපක්ෂ නායක එකට එක්වෙයි
ප්‍රධාන ආරාධිතයන් දෙපළකගේ විශේෂ හමුවක්
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ගේ පාලන දර්ශනය සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශය කේන්ද්‍ර කරගත් විද්වත් සංවාදයක් හෙට (17) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතය.
මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය (DSSPA Alumni Club) මගින් සංවිධානය කරනු ලබන මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ "ජේ.ආර්., ආණ්ඩුකරණය සහ මැද මාවත" යන තේමාව යටතේය. කොළඹ 07, නිදහස් චතුරස්‍රය අසල පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පස්වරු 2.00ට ආරම්භ වන මෙම අවස්ථාවට අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වීමට නියමිතව තිබේ.
සංවාදයට බඳුන්වන 'ජේ.ආර්. මොඩලය' සහ මැද මාවත
දකුණු ආසියාතික කලාපයේ ප්‍රථම වරට 1977 දී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මෙරටට හඳුන්වා දෙමින් ජේ. ආර්. ජයවර්ධන ගෙන ගිය ආර්ථික හා සමාජීය ප්‍රතිසංස්කරණ පිළිබඳව වර්තමානයේද දෙස් විදෙස් තලයේ විවිධ සංවාද මතුවෙමින් පවතී. විවෘත ආර්ථිකය, මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සහ විධායක ජනාධිපති ධුරය කේන්ද්‍ර කරගත් පාලන ව්‍යුහය හරහා රට ගමන් කළ මාවත පිළිබඳව මෙන්ම, එමගින් සමාජ-ආර්ථික ක්ෂේත්‍රයට එල්ල වූ බලපෑම් පිළිබඳවද මෙම කථිකාවේදී අවධානය යොමු කෙරෙනු ඇත.
විශේෂයෙන්ම ගෝලීය ආර්ථික අර්බුද සහ භූ-දේශපාලනික බලපෑම් හමුවේ රාජ්‍යයක් ස්ථාවර කරගැනීමට 'මැද මාවත' උපයෝගී කරගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී විශේෂඥ අදහස් හුවමාරු කරගැනීමට සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වේ.
සමකාලීන දේශපාලන අවකාශයේ සුවිශේෂී සන්ධිස්ථානයක්
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එකම වේදිකාවකදී මෙලෙස අදහස් දැක්වීමට සූදානම් වීම වත්මන් දේශපාලන කරළියේ විශේෂ අවධානයකට ලක්ව ඇති කරුණකි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහ දෙකක් නියෝජනය කරන නායකයින් දෙපළක් ආණ්ඩුකරණය පිළිබඳ ඓතිහාසික හා දෘෂ්ටිවාදාත්මක කාරණයක් වෙනුවෙන් ශාස්ත්‍රීය මට්ටමින් සංවාදයකට එක්වීම තුළින්, ඉදිරි ප්‍රතිපත්තිමය ක්‍රියාවලිය පිළිබඳ පුළුල් කතිකාවක් ගොඩනැගෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ සභාපති බුද්ධික පතිරණ ගේ මූලිකත්වයෙන් සංවිධානය වන මෙම විද්වත් සභාව සඳහා විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, පර්යේෂකයින් මෙන්ම දේශපාලන ක්‍රියාකාරීන් රැසක් සහභාගී වීමට නියමිතය.








