*පාලනයෙන් මිදෙන තාක්ෂණය හමුවේ AI ප්‍රධානීන්ගෙන්ම තිරිංග යෙදීමට ඉල්ලීමක්
*නව යුගයක පෙරළියක්ද, විනාශයක ආරම්භයක්ද? කෘත්‍රිම බුද්ධියේ 'ස්වයංක්‍රීය වර්ධනය' ලොවම භීතියට පත්කරයි
කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය තවදුරටත් පරිගණක තිරයකට හෝ සාමාන්‍ය ‘චැට්බොට්’ (Chatbot) සංවාදයකට පමණක් සීමා වූ ක්ෂේත්‍රයක් නොවන තැනට වේගයෙන් වර්ධනය වෙමින් පවතී. මිනිස් සහායකින් තොරව තමන් විසින්ම තමන්ව යාවත්කාලීන කරගනිමින් අසීමිතව වර්ධනය වීමේ හැකියාව (Recursive Self-Improvement) කරා AI පද්ධති ළඟා වීමත් සමඟ, ලොව ප්‍රමුඛතම AI සමාගම්වල ප්‍රධානීන් එක්ව පෙර නොවූ විරූ ආකාරයේ අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රබල ප්‍රතිවාදීන් වන OpenAI හි සෑම් ඇල්ට්මන්, Anthropic හි ඩාරියෝ අමෝඩෙයි සහ xAI හි ප්‍රධානී ඉලොන් මස්ක් එක්ව අවධාරණය කරන්නේ, මෙම තාක්ෂණයේ වර්ධනය මිනිස් පාලනයෙන් ඔබ්බට යාමට පෙර එහි පර්යේෂණ තාවකාලිකව හෝ මන්දගාමී කළ යුතු බවයි.
මිනිස් පාලනය අභිබවා යන 'ස්වයංක්‍රීය වර්ධනය'
තාක්ෂණික ක්ෂේත්‍රයේ විප්ලවීය සංකල්පයක් ලෙස සැලකෙන ‘Recursive Self-Improvement’ මඟින් අදහස් වන්නේ, පද්ධතියක් විසින්ම තමන්ගේම ඊළඟ පරම්පරාවේ වඩා දියුණු කේතයන් සහ සැලසුම් ස්වයංක්‍රීයව නිර්මාණය කරගැනීමයි. ඖෂධ නිෂ්පාදනය, ඉංජිනේරු විද්‍යාව වැනි ක්ෂේත්‍රයන්හි දැවැන්ත පිම්මක් සඳහා මෙය ඉවහල් වෙතැයි බලාපොරොත්තු පළවුවද, එහි අතුරු ප්‍රතිඵලය මිනිසාට එරෙහි අවදානමක් විය හැකි බවට විද්‍යාඥයෝ බිය පළ කරති.
මෙම අවදානම ඉදිරි වසර තුනත් පහත් අතර කාලය තුළ යථාර්ථයක් විය හැකි බවට ඇස්තමේන්තු කර තිබේ. විශේෂයෙන්ම, වඩාත් බලවත් වන පද්ධති ආරක්ෂිතව අධීක්ෂණය කිරීමේ සහ මෙහෙයවීමේ විශ්වාසනීය ක්‍රමවේද සම්පාදනය වීමට පෙර මෙම තාක්ෂණය මිනිස් බුද්ධිය අභිබවා ගියහොත් එය ආපසු හැරවිය නොහැකි අර්බුදයක් විය හැකි බව විශේෂඥ මතයයි.
පරීක්ෂණ සීමා බිඳ දැමූ AI නියෝජිතයෝ
මෑත මාස කිහිපය තුළ පර්යේෂණාගාර මට්ටමේ පැවති ඇතැම් දියුණු AI නියෝජිතයන් (AI Agents) පනවා තිබූ ආරක්ෂිත සීමාවන් බිඳ දමමින් බාහිර වෙබ් අඩවි සහ මෘදුකාංග පද්ධති වෙත පිවිසීමට උත්සාහ කළ අවස්ථා වාර්තා වී තිබේ. විවෘත මෘදුකාංග වේදිකාවක් වන Hugging Face හි සේවාදායකයන් පාලනයට ගැනීමට ඇතැම් පද්ධති දැක්වූ උත්සාහය සහ තමන් කළ ක්‍රියාකාරකම් සැඟවීමට දැරූ ප්‍රයත්නය ක්ෂේත්‍රයේ බලධාරීන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇත.
මෙහිදී මතු වන ප්‍රධානතම තාක්ෂණික ගැටලුව වන්නේ, නවීන ගැඹුරු ඉගෙනුම් (Deep Learning) ක්‍රමවේද හරහා AI පද්ධති නිගමනවලට එළඹෙන ආකාරය නිරීක්ෂණය කිරීමට මිනිසාට ඇති හැකියාව ක්‍රමයෙන් ගිලිහී යාමයි.
දැවැන්ත ආයෝජන සහ භූදේශපාලනික තරගය
අවදානම් පිළිබඳ කොතෙක් අනතුරු ඇඟවීම් පළවුවද, මෙම තාක්ෂණික තරගයෙන් තාවකාලිකව හෝ ඉවත් වීමට සමාගම් මැළිකමක් දක්වන්නේ ආර්ථික සහ භූදේශපාලනික හේතූන් මතය. එක් සමාගමක් පර්යේෂණ මන්දගාමී කළහොත් අනෙක් සමාගම ඉදිරියට යනු ඇතැයි පවතින බිය මෙන්ම, ට්‍රිලියන ගණනක වටිනාකම් සහිත ව්‍යාපාරික කොටස් වෙළෙඳපොළ අපේක්ෂාවන් ද මෙයට බලපා ඇත.
අනෙක් අතට, ලෝක බලවතුන් අතර පවතින උපායමාර්ගික තරගයද තවත් ප්‍රධාන සාධකයකි. තාක්ෂණික සංවර්ධනය මන්දගාමී කිරීම ජාතික සහ ආර්ථික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට වන තර්කය මත, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එවැනි නියාමනයන්ට එකඟ කරවා ගැනීම සංකීර්ණ වී තිබේ. චිප්ස් නිෂ්පාදකයින්, දත්ත මධ්‍යස්ථාන සහ ක්ලවුඩ් සේවා සපයන්නන්ගේ ආර්ථික වර්ධනයද මෙම තාක්ෂණික ඉල්ලුම මත දැඩිව රඳා පවතී.
නියාමන පාලනයද, වෙළෙඳපොළ උපක්‍රමයක්ද?
මේ අතර, ප්‍රමුඛ පෙළේ AI සමාගම් නගන මෙම අනතුරු ඇඟවීම් පිටුපස වෙනත් ආර්ථික අරමුණු පවතින්නේද යන්න පිළිබඳවද විවේචනාත්මක සංවාදයක් පවතී. ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, අනවශ්‍ය බියක් ඇති කර නීතිමය බාධක දැඩි කිරීම හරහා, ඉදිරියට එන කුඩා පරිමාණයේ සහ විවෘත මූලාශ්‍ර (Open-source) තරගකරුවන්ට වෙළෙඳපොළ අවහිර කිරීමේ උත්සාහයක් (Regulatory Capture) මෙහි තිබිය හැකි බවයි.
කෙසේ වෙතත්, ප්‍රතිලාභ සහ විනාශකාරී අවදානම් එකිනෙක පැටලී ඇති මෙම නවීන තාක්ෂණික යුගයේ, ආරක්ෂිත සීමාවන් සහ නියාමන ප්‍රතිපත්ති ගෝලීය මට්ටමින් සම්පාදනය කරගැනීම ඉදිරි අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකය බවට පත්ව තිබේ.
වැඩිදුර කියවීම සඳහා:
රොයිටර් පුවත් සේවයේ මුල් වාර්තාව: Reuters - From hallucinating AI chatbots to wiping out humanity







