වසර 10ක ප්‍රමාදය අවසන් කර ජනතා පරමාධිපත්‍ය තහවුරු කිරීමට සිවිල් සංවිධාන ඒකාබද්ධ ඉල්ලීමක් ඉදිරිපත් කරයි
විශේෂ කාරක සභාවේ නිර්දේශ හෝ පැරණි ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීමේ හැකියාව පෙන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය ශක්තිමත් කරමින් මහජන පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීම සඳහා කඩිනමින් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස දිවයිනේ ප්‍රමුඛ පෙළේ මැතිවරණ නිරීක්ෂණ හා සිවිල් සංවිධාන එකමුතුවක් විෂයභාර අමාත්‍යවරයාගෙන් ඒකාබද්ධ ඉල්ලීමක් සිදුකර තිබේ.
නාස්තිය හා දූෂණය අවම කරමින් යහපාලනයක් ස්ථාපිත කිරීමට රජය ගන්නා පරිශ්‍රමය අගය කරන අතරම, ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට ඇති මූලික අවස්ථාවක් වන නිසි කලට මැතිවරණ පැවැත්වීමේ වගකීම අත්නොහල යුතු බව එම සංවිධාන, අගමාත්‍ය හරිනි අමරසූරිය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න වෙත යොමුකළ ලිපියක් මගින් අවධාරණය කරයි.
දශකයක ප්‍රමාදය සහ ප්‍රජාතන්ත්‍රවාදී අභියෝගය
පළාත් සභා ඡන්ද විමසීම නොපවත්වා දැනටමත් වසර දහයකට ආසන්න කාලයක් ගතව ඇති අතර, එය පළාත් සභාවක සාමාන්‍ය ධුර කාලයන් දෙකකට සමාන බව නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි. මෙම ප්‍රමාදය සම්බන්ධයෙන් වත්මන් රජය පමණක් නොව, 2015 වසරේ සිට මෙරට පාලනය කළ සියලු රජයන් අඩු වැඩි වශයෙන් වගකිව යුතු බව එම පාර්ශ්වයන් සඳහන් කරයි.
ජනතා ඡන්දයෙන් පත්වූ මහජන නියෝජිතයන් වෙනුවට වසර ගණනාවක් පුරා පළාත් සභා පරිපාලනය නිලධාරීවාදී පාලනයක් යටතේ ක්‍රියාත්මක වීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට හා බලය විමධ්‍යගත කිරීමේ අභිලාෂයන්ට බරපතළ බාධාවක් බව නිරීක්ෂකයින්ගේ තර්කයයි.
නීතිමය ගැටලුව සහ විශේෂ කාරක සභාව
2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත මගින් හඳුන්වා දුන් මිශ්‍ර සමානුපාතික ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කොට්ඨාස සීමානීර්ණ වාර්තාව එකල පාර්ලිමේන්තුවේදී සම්මත නොවූ බැවින් සමස්ත ඡන්ද ක්‍රමය නීතිමය අවහිරතාවකට ලක්විය.
මෙම අර්බුදයට විසඳුම් සෙවීම සඳහා වත්මන් රජය යටතේ අමාත්‍ය විජිත හේරත් ගේ සභාපතිත්වයෙන් යුතුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීම යහපත් ප්‍රවේශයක් වුවද, නියමිත මාස තුනක කාලසීමාව නිමාවන විටත් එහි ඉදිරි පියවර සම්බන්ධයෙන් පැහැදිලි තත්ත්වයක් ප්‍රකාශයට පත්ව නොතිබීම ජනතා අපේක්ෂා අඩාල වීමට හේතු වී ඇති බව එම සංවිධාන පෙන්වා දී තිබේ.
රජය ඉදිරියේ ඇති ප්‍රායෝගික විකල්ප දෙක
'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් රජය ලබාදුන් පොරොන්දුවක් වන පළාත් සභා මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් රජයට ක්‍රියාත්මක විය හැකි ප්‍රධාන විකල්ප දෙකක් මැතිවරණ නිරීක්ෂකයින් යෝජනා කරයි.
පළමු විකල්පය:
පාර්ලිමේන්තු කාරක සභාව මගින් හඳුනාගෙන ඇති නීතිමය ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදී, නිශ්චිත කාලරාමුවක් ප්‍රකාශයට පත්කරමින් නව ක්‍රමය යටතේම ඡන්දය පැවැත්වීමට කටයුතු කිරීම.
දෙවන විකල්පය:
නව ක්‍රමයට අදාළ නීති සම්පාදනය සඳහා දීර්ඝ කාලයක් ගතවන්නේ නම්, පාර්ලිමේන්තුවේ බහුතර බලය උපයෝගී කරගනිමින් යෝජනාවක් මගින් පැරණි සමානුපාතික ක්‍රමය යටතේ හෝ කඩිනමින් ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගැනීම.
පළාත් සභා මැතිවරණය යනු කිසිදු දේශපාලන පක්ෂයක බලය උරගා බලන තරගයක් ලෙස නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ජනතා පරමාධිපත්‍යය සහ බලය බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත්ව පවත්වාගෙන යාමේ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සලකා කටයුතු කරන ලෙස එම ලිපියෙන් අවධාරණය කර ඇත.
මෙම ඉල්ලීම සඳහා පැෆ්රල් (PAFFREL), මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV), කැෆේ (CaFFE), ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ඇතුළු ප්‍රමුඛ මැතිවරණ නිරීක්ෂණ ආයතන සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ ඒකාබද්ධව අත්සන් තබා ඇති අතර, මේ පිළිබඳ සාකච්ඡා කිරීමට අමාත්‍යවරයාගෙන් නිල හමුවක් ද ඉල්ලා තිබේ.







