leader s

ඖෂධයක් withdraw කරන විට එය ඩෑෂ්බෝඩ් එක හරහා පද්ධතියේ දැක ගත හැකි අතර පද්ධතිය මගින්ම ඖෂධය නිකුත් කිරීම අවහිර කිරීමක් සිදුවන බව වෛද්‍ය සැපයුම් ඒකකයේ ඖෂධවේදි බුද්ධික නිශාන් මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
 
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකු ට එරෙහි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
 

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.

 
එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් නිලධාරී උදේශිකා විජේරත්න මහත්මිය විසින් පෙර දින ලබාදුන් සාක්ෂියට අදාළව විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය මහතා සාක්ෂිකාරියට ප්‍රශ්න කිහිපයක් යොමු කළේය.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: අධිකරණයට ඉදිරිපත් කර ඇති පැ 407 ලේඛනය අනුව වෛද්‍ය රජිව මහතා මොන ලේඛනය පාදක කරගෙනද මෙම ඖෂධය with hold කරලා තියෙන්නේ?
 
සාක්ෂිකාරිය; ස්වාමීනි රජීව සර් කියලා තියෙන්නේ ඔහුගේ රෝගීන්ටත් ADR ආවා. වෙනත් brand එකක් ලබා දුන් අවස්ථාවේදී එවැනි තත්ත්වයක් වුණේ නෑ කියලා. 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා :වෛද්‍ය රජීව Anaphylaxis තත්ත්වයක් ගැන සඳහන් කර තියෙනවාද?
 
සාක්ෂිකාරිය :මට ඒ ගැන දැනුමක් නෑ.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: මේ ඖෂධය නතර කරාම Anaphylaxis ඇති වීම අඩු කරගන්න පුළුවන් කියල නේද කියන්නේ? 
 
සාක්ෂිකාරිය: එහෙම නෙමෙයි ස්වාමීනී, Anaphylaxis විවිධ වර්ග තිබෙනවා. 
 
විනිසුරු විරාජ් වීර සූරිය මහතා: මාතලේ රෝහලේ ඇතිවූ බව කියන Anaphylaxis තත්ත්වය ගැන වාර්තාවක් නෑ. රෝහල් අධිකාරිය විසින් ඒ ගැන පැමිණිලි කරල නෑ. එය පුද්ගලිකව වෛද්‍යවරයෙකු කළ දැනුම් දීමක් නේද? ඒ වන විට ජාතික රෝහලේ සති ගානකට කලින් Anaphylaxis තත්ත්වයන් පිළිබඳව  වාර්තා වෙලා, ADR ෆෝම් ලැබිලා, රෝහල් අධ්‍යක්ෂ විසින් පැමිණිල්ලකුත් කරලා තිබුණා නේද?
 
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනි 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: මාතලේ රෝහලයි ජාතික රෝහලයි ගත්තම ජාතික රෝහල ඊට සති- කිහිපයකට කලින් මේ තත්ත්වය පිළිබඳව පියවර තිබුණා කියලා පේන්නේ නැද්ද? 
 
සාක්ෂිකාරිය :ස්වාමීනි ,මට පිළිගන්න අමාරුයි. Anaphylaxis complain note එකක් පිරෙව්වාට තිව්‍රතාවය වැඩිවෙන බව.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: විසි වෙනිදා වන විට ජාතික රෝහලේ තිබුණු ලේඛන ගොන්න ඔබට ලැබී තිබුණනේ. මේ ගැන ඇයි sms එකකින්වත් දැනුම් දුන්නේ නැත්තේ? එසේ කළා නම් ඒ ගැන පියවර ගැනීම ඉක්මන් වෙනවා නේද?
 
සාක්ෂිකාරිය: ස්වාමීනි මට ලබා දුන් උපදෙස් අනුව මා කටයුතු කළා. මා ළඟ තියෙන ලේඛන සම්බන්ධයෙන් මා සිතුවේ නෑ. 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: ඔබ ළඟ ජාතික රෝහලේ ඇති වාර්තා වූ ගැන අවධානය යොමු කළේ නැද්ද?
 
සාක්ෂිකාරිය :මට ඊට උපදෙසක් ලැබුණේ නෑ.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා :මේක ඖෂධයක්ද?
 
සාක්ෂිකාරිය: ස්වාමීනි, එය ව්‍යාජ ඖෂධයක් ලෙස එන්නේ .NMRA එකේ ලියාපදිංචි නැති ව්‍යාජ ඖෂධයක් ලෙස තමයි සඳහන් වුණේ 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: ව්‍යාජ බව තහවුරු වුණාද?
 
සාක්ෂිකාරිය: මාධ්‍ය සාකච්ඡාව අනුව තහවුරු වුණා.
 
විනිසුරු විරාජ වීරසූරිය මහතා. මේ නිෂ්පාදකයාගේ ඖෂධ කොපමණ ලංකාවට ගෙනැවිත් තිබුණාද කියලා දැනීමක් තිබුණා ද?
 
සාක්ෂිකාරිය :නෑ ස්වාමීනි 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: දැන් ඒ පිළිබඳව දන්නවද?
 
සාක්ෂිකාරිය: මට මතක නෑ ස්වාමීනී 
 
විනිසුරු විරාජ් වීරසුරිය මහතා :මතක් කරගන්න තරම් වැදගත් කියලා හිතුවේ නැද්ද?
 
සාක්ෂිකාරිය: මේ අවස්ථාවේදී මට මතක නෑ ස්වාමීනි 
 
විනිසුරු විරාජ්වීරසූරිය: මහතා මේ ගැන සෆ්රැක් කමිටුව මොනවද කළේ? 
 
සාක්ෂිකාරිය: ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න මම සූදානම් නෑ ස්වාමීනි.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා : මේ සෆ්රැක් කමිටුවේ සාමාජිකයන් ඉන්නවා. දෙන්නෙක් පමණක් කතා කරලා තීරණ ගන්නවා. එහෙමද ඒ දවස්වල සිද්ධ වුණේ?
 
සාක්ෂිකාරිය :ඒ ගැන මට උත්තර දෙන්න බෑ ස්වාමීනී 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: සෆ්රැක් කමිටුවේ සාමාජිකයන් කීදෙනෙක් ඉන්නවද? ඔබ ඒ ගැන දන්නවද?
 
සාක්ෂිකාරිය: සාමාජිකයින් පස් දෙනෙකු ඉන්නවා ස්වාමීනි 
 
විනිසුරු විරාජ් වීර සූරිය මහතා :වෛද්‍ය රජීව "Do this today" කියලා කිව්වහම ඔබ එදාම ඒක කරලා නැත්තේ ඇයි?
 
සාක්ෂිකාරිය: ස්වාමීනි, ඒ වෙලාවෙම ඊමේල් එක දැම්මා. Practice එකේ හැටියට CEO ගේ ලිපියක් ඒ සම්බන්ධයෙන් දිය යුතුයි. ඒක ඊළඟ දවසේ දෙන බවත් fronto පද්ධතියට දාන බවත් සඳහන් කළා. 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: Do this today" කිව්වාට එදාම කළාද?
 
සාක්ෂිකාරිය: ස්වාමීනි මා එදාම MSD එකට දැම්මා. MSD එකෙන් උත්තර ලැබිය යුතු තිබුණා ස්වස්ථා සිස්ටම් එකට එය දාන්න කියලා.
 
විනිසුරු විරාජ් විරසූරිය මහතා. ADR ගැන ඔබ ඉන් පසුව හොයලා බැලුවද?
 
සාක්ෂිකාරිය: විසි එක්වෙනිදා ගෲප් එකට දැම්මා. වෙන හොස්පිටල් වලින් මේ ගැන හොයන්න කියලා උපදෙසක් ලැබුණේ නැහැ. 
 
ඉන් අනතුරුව සාක්ෂිකාරියගේ අවධානය අධිකරණයට ඉදිරිපත් කර ඇති 99 ගොනුවේ ඇති ලේඛනයකට යොමු කළ විනිසුරුවරයා "එහි ඇති ඊමේල් එක කුමක්ද?"යි විමසීමක් කළේය.
 
එය තමන් විසින් live ealth bio pharma (pvt) limited ආයතනයට යවන ලද ඊ මේල් පතක් බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව Manufacturerගෙන් කරුණ තහවුරු කර ගැනීමක් එහිදී සිදු කළ බවත් සාක්ෂිකාරිය කියා සිටියාය.
 
"ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තියෙන්නේ Manufacturer ගෙන් පැමිණිලි සහ විස්තර ලබා ගන්නද ?"යනුවෙන් විනිසුරු වරයා විමසා සිටි අවස්ථාවේදී "ඔව් ස්වාමීනි, Manufacturer ගෙන් අහල බලන්න කියලා තමයි තියෙන්නේ" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
විනිසුරු විරාජ් විරසූරිය මහතා: "ඖෂධයක් ගැන ලැබිලා තියෙන පැමිණිලි ගැන කවුද දන්නේ? නිෂ්පාදකයාද? NMRA එකද?"
 
සාක්ෂිකාරිය:  Manufacturer දැන ගත යුතුයි. මෙහිදී ඊමේල් එක තියෙන්නේ Manufacturer ගෙන් ඒ පිළිබඳ තොරතුරු අහලා.
 
එම ප්‍රශ්න විමසිමෙන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්න විමසීම සිදු කළාය. 
 
 
"අධිකරණය හමුවට ඔබ විසින් ලබා සාක්ෂි ලබාදුන්නා 405 i-v පහ දක්වා ලිපි 2022 අගෝස්තු 31 වැනිදා සිට ඖෂධ නියාමන අධිකාරිය ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් අත්සන් කල  බව. ප්‍රධාන විධායක නිලධාරීවරයා ඖෂධ සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෙක්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අවස්ථාවේදී දොළොස් වන විත්තිකරු වන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා ඊට විරෝධය පළ කළේය. 
 
"ස්වාමීනි, මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය කරන්නේ අලුත් කරුණු පිළිබඳව ප්‍රශ්න කිරීම. නැවත ප්‍රශ්න කිරීම් වලදී එසේ කරන්න බෑ." යනුවෙන් ඔහු සඳහන් කළේය. 
 
අදාළ ප්‍රශ්නය ඉවත් කර නැවත ප්‍රශ්න විමසන ලෙස එහිදී විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.  
 
"සෆ්රැක් කමිටුවේ රැස්වීමක් කැඳවීමට ඔබට CEO ගේ අනුමැතිය අවශ්‍යයි. නැත්නම් සෑම මාසෙක ම තුන්වන සතියේ එය කැඳවන බවට නේද ඔබ සාක්ෂියක් ලබා දුන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ සාමාන්‍යයෙන් මසකට වරක් තුන්වෙනි සතියේ අදාළ කමිටුව රැස්වෙන බවය.
  
2023/08/28 වැනිදා කමිටුව රැස්වූ බවත්, සැප්තැම්බර් පළමු වැනිදා එම කමිටු තීරණය සම්බන්ධයෙන් දීර්ඝව කටයුතු කරන බවත් සඳහන් කළ අවස්ථාවේදී "2023 අගෝස්තු 31 වැනිදා මේ ලේඛනය එවන විට පළවෙනිදා මීටිමට ඉදිරිපත් කිරීමට උපදෙසක් ලැබුණද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළාය.
 
එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ "නෑ ස්වාමීනි, මට එවැනි උපදෙසක් ලැබුණේ නෑ. මට ලැබෙන ADR ඊළඟ කමිටු රැස්වීමට ඉදිරිපත් කරනවා " යනුවෙනි.
 
ඊළඟ කමිටු රැස්වීම එම මස තුන්වන සතියේ පැවතීමට නියමිතව තිබූ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
"ඊට පෙරද සැප්තැම්බර් 20 වැනිදා WhatsApp හරහා මෙම කාරණය මතු වුණේ? යනුවෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය "ඔව් ස්වාමීනි," යනුවෙන් පිළිතුරක් ලබා දුන්නාය. 
 
"ඖෂධ සම්බන්ධයෙන් අහිතකර ප්‍රතික්‍රියා පිළිබඳ පෝරම දොළහයි හතළිස් පහ වන විට කමිටුවට කවුද කැඳවා ගත්තේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී මාතලේ රෝහලේ ඖෂධවේදියාට කතා කරලා මම ඒවා ගෙන්වා ගත්තා. එසේ කටයුතු කළේ විශේෂඥ වෛද්‍ය රජීව සිල්වා මහතා ලබාදුන් උපදේශයක් එසේ කළා "යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
විශේෂඥ වෛද්‍ය රජීව මහතාගේ දැනුම් දීම අනුව පස්වරු හතරයි විසිපහට සෆ්රැක් කමිටුව රැස් කරන්න NMRA එකට පුළුවන් ද CEO ගේ අවසරය නැතිව" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ සඳහා ඔහුගේ අවසරය අවශ්‍ය බවය.
 
"ඒ අවසරය මේ කමිටුවේදී මැසේජ් එකක් ලෙස ලැබුණද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළ එවැනි අවසරයක් නොලැබූ බවය. 
 
"අහිතකර ප්‍රතික්‍රියා දක්වන ඖෂධ භාවිතයෙන් ඉවත් කිරීමේ හැකියාව ඔබට තිබුණාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකාරිය "ස්වාමීනි, මට හැකියාව තිබුණේ ඒ පිළිබඳව වෛද්‍ය සැපයුම් ඒකකය දැනුවත් කිරීමට පමණයි. වෛද්‍ය සැපයුම් ඒකකය තමයි ඖෂධ නැවැත්විය යුත්තේ "යනුවෙන් සඳහන් කළාය.
 
"2023 සැප්තැම්බර් 20 සවස පහයි හතළිස්පහට quality circular අංශයෙන් ඔබට එවූ පණිවිඩය සඳහන් වූයේ කුමක් සම්බන්ධයෙන්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "තාවකාලිකව අසමත් වූ ඖෂධ භාවිතයෙන් ඉවත් කළ බවට එම චක්‍රලේඛයේ සඳහන් වූ බව"ය .
 
එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කරමින් "ඖෂධ සුරක්‍ෂිතතා කමිටුව ගන්නා තීරණ ගැන ඔබට ගත හැකි නිල රාජකාරිය මෙපමණ ද?" යනුවෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය "ඔව්" යන පිළිතුර ලබා දුන්නාය. 
 
"එම රාජකාරිය ඔබ විසින් කර තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර අදාළ රාජකාරිය තමා කළ බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
NMRA ආයතනයේ ලියාපදිංචි සැපයුම්කරුවන් සහ ලියාපදිංචියක් බැහැර කිරීමේ සහතික ලබාගත් ලැයිස්තුවක් ඇති බව ඔබ සඳහන් කළා නේද? සැප්තැම්බර් 20 අදාළ තීරණය ගත් live ealth bio parma (pvt) limited එම ලැයිස්තු දෙකේ සිටියාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසූ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එම සමාගමේ නම එම ලැයිස්තුවල නොමැති බවය.
 
"එසේ නම් එම සමාගමේ නම නිවැරදිව කොහොමද දැනගන්නේ ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරියගෙන් විමසූ අවස්ථාවේදී ඇය සඳහන් කළේ අදාළ ලේබලය සහ ADR පෝරම වල තිබූ නම ඇසුරෙන් එය හඳුනාගත හැකි බවය.
 
 
2 v 58 දරන ඊමේල් පණිවිඩය වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ලැබුණු අතර එම ඊමේල් පණිවිඩයට අනුව 2022 සැප්තැම්බර් 22 ඖෂධ සුරක්‍ෂිතතා කමිටුවට අදාළ නිෂ්පාදකයා සම්බන්ධයෙන් තොරතුරු වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ලැබී ඇති බව සාක්ෂිකාරිය කියා සිටියාය. මෙම නිෂ්පාදකයා සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු msd ආයතන සතුව තිබූ බව සාක්ෂිකාරිය ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
 
"දොළොස් වැනි චූදිතට 2023 සැප්තැම්බර් 21 ලියූ ලිපිය අත්සන් කර පැමිණියේ 09/28 යනුවෙන් ඔබ සාක්ෂියක් ලබා දුන්නා නේද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "ස්වාමීනි, එම ලිපිය 09/27 දින අත්සන් කර 28 වැනි දින අපට ලැබුණා. එම ලිපිය අත්සන් තෙක් ඊමේල් පණිවිඩයක් යැවීමට නොහැකි අදාළ ලිපිය විසි එක් වැනි දාම අත්සනට යොමු කළ බව සී.ඊ.ඕ කාර්යාලයේ ඇති පොතක සඳහන් කර තිබෙනවා." යනුවෙන් සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
live ealth bio parma නිෂ්පාදන ව්‍යාජ ඒවා බවට press release එක්ක අනුව දැනගත් බවද ඒ අනුව ඊමේල් පතක් CEO වෙත යොමු කළ බවද එහිදී යතුරු ලියනය දෝෂයක් හේතුවෙන්  pharmaceutical ලෙස සඳහන් වී ඇති බවද සාක්ෂිකාරිය කියා සිටි අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ අත්සනට අදාළ ලිපිය යොමු කළ විට එම යතුරු ලියන දෝෂය නිවැරදි කරන ලෙස CEO උපදෙසක් දුන්නා ද?"යනුවෙන් විමසීමක් කළාය.
 
එලෙස උපදේශයක් නොලැබුණ බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
තමන්ට ස්වස්තා පද්ධතිය පිළිබඳව පූර්ණ අවබෝධයක් ලැබුණේ 2025 වසරේදී බව සඳහන් කර සාක්ෂිකාරිය ඊට පෙර පද්ධතිය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් නොවූ බව කියා සිටියාය.
 
"12 v 6 මිනිට් සටහන අනුව live ealth bio pharma (pvt) limited සමාගමේ නිෂ්පාදන ව්‍යාජ ඒවා බවට සඳහන් වන ලිපිය ඉදිරි පියවර ගැනීම සඳහා කවුරුන් වෙතද යොමු කළ යුත්තේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී ඒ පිළිබඳව රෝහල්වලට දැනුම්දීම වෛද්‍ය සැපයුම් ඒකකය විසින් සිදු කළ යුතු බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
සන්නාම නාම ලියාපදිංචි කිරීමක් NMRA ආයතනයේ සිදු නොකරන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
එම සාක්ෂි විමසීමෙන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂිකාරියක වන වෛද්‍ය පර්යේෂණාගාර කාර්මික විද්‍යාඥ නයනී රොමේෂා හර්ෂණී වීරසිංහ සාක්ෂි ලබාදීම සිදුකළාය. 
 
තමන් 2010 වසරේ රාජ්‍ය සේවයට එක්වී වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පර්යේෂණ තාක්ෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කළ අතර වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කටයුතු කරද්දී විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා මහතා යටතේ කටයුතු කළ බව සඳහන් කළාය. 
 
තම රසායනාගාරයට ලැබෙන රුධිර සීරම් සාම්පල, මස්තිෂ්ක තරල සහ urin සාම්පල පරීක්ෂා කිරීම විශේෂ යන්ත්‍රයක් හරහා තම රසායනාගාරය මගින් සිදුකරන බවද 2023 ඔක්තෝම්බර් මාසයේදී  IVIG සාම්පල සම්බන්ධයෙන් ප්‍රෝටීන පරීක්ෂාවක් සිදුකළ බව ඇය සඳහන් කළාය. 
 
විශේෂඥ වෛද්‍ය රජීව සිල්වාගේ උපදෙස් මත එම පරීක්ෂණය තමන් විසින් සිදුකළ බව සඳහන් කළ සාක්ෂිකාරිය අදාළ සාම්පල ශීත දාමය ආරක්ෂාව වන පරිදි cool box වල බහා රැගෙන ආ අතර එදිනම පරීක්ෂාවට ලක් කළ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය 
 
"ඔබේ රසායනාගාරයේ ගබඩා කර තිබූ IVIG වලින් යම් ප්‍රමාණයක් තවත් රසායනාගාරයකට යොමු කළාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් මත ජීව විද්‍යා රසායනාගාරයට එම සාම්පල යොමු කළ බවය. 
 
තමන් පරීක්ෂාවට ලක් කළ සාම්පල හා සමාන සාම්පල අධිකරණය හමුවේ ඇති බව සාක්ෂිකාරිය විසින් හඳුනා ගැනීමක් කළාය. 
 
එම මූලික සාක්ෂි විමසීමෙන් අනතුරුව පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු කළ අතර "මිනිස් පටක පරීක්ෂා කිරීම සඳහා ඇති යන්ත්‍රයේ ප්‍රථම වතාවට ඖෂධ පරික්ෂා කළාද?"යි සාක්ෂිකාරියගෙන් විමසීමක් කළාය.
 
ඇය සඳහන් කළේ ඖෂධ සම්බන්ධයෙන් පරීක්ෂාවක් කළ ප්‍රථම අවස්ථාව මේ බවය. 
 
කෙසේ වුවද ඒ සම්බන්ධයෙන් සටහන් තබා ගැනීමක් සිදු නොකළ බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
අදාළ සාම්පල ය පරීක්ෂාව සඳහා ලබා ගැනීමේදී ඉටි ආවරණයක් නොතිබූ බව මතකයේ ඇති නමුත් එය සෙලෝ ටේප් වලින් ආවරණය කර මුද්‍රා කර තිබුණාද යන්න පිළිබඳව පැහැදිලි මතකයක් නොමැති බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව අනෙකුත් විත්තිකරුවන් වෙනුවෙන් මෙම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු නොකරන බව නීතිඥවරු අධිකරණයට දැනුම් දුන් අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් නැවත ප්‍රශ්න කිරීම සිදු කළාය. 
 
"පරීක්ෂණ සඳහා යොදාගන්නා සෑම සාම්පලයක් සම්බන්ධයෙන්ම සටහන් තබා ගන්නවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය ප්‍රකාශ කළේ විශේෂ යමක් තිබෙනවා නම් සටහන් තබා ගැනීමක් සිදුකරන බව ය.
 
මෙම සාම්පලය සම්බන්ධයෙන් විශේෂ තත්ත්වයක් ඇතිවූ බැවින් විශේෂඥ වෛද්‍ය රජීව සිල්වා මහතාගේ උපදෙස් මත එය cool box වල දමා නියමිත උෂ්ණත්වයේ නැවත තැන්පත් කර තැබූ බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
එම සාක්ෂි විමසීමෙන් අනතුරුව වෛද්‍ය රසායන තාක්ෂණ විද්‍යාඥ උපුලී ගුණවර්ධන විසින් සාක්ෂි ලබාදීම සිදු කළාය.
 
තමන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය තමරා මහත්මිය යටතේ රාජකාරි කරන අතර එම රසායනාගාරයේ ප්‍රෝටීන පරීක්ෂාව විශේෂ යන්ත්‍රයක් මගින් සිදු කරන බව සඳහන් කළාය. 
 
විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා මහතාගේ ඉල්ලීමක් අනුව IVIG පරීක්ෂාවක් තම රසායනාගාරයේ සිදු කළ අතර සාම්පල නයනී මහත්මිය විසින් ලබාදුන් අතර වෙනත් ශීත දාම සාම්පල් ලබා ගන්නා ආකාරයටම එම සාම්පලය ද ලබාගත් බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
අදාළ සාම්පල් පරීක්ෂාව තමන් විසින් සිදු කරන අතර ඒ සම්බන්ධ වාර්තාව කියවීම සඳහා විශේෂඥ වෛද්‍යවරිය වෙත යොමු කරන බව ඇය සඳහන් කළාය. 
 
Close up of african american business woman hands writing on report while working in office. Successful black woman signing documents at home using a pen. Mid adult freelancer signing contract document on table.
 
Solution එකක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂාව සිදු කළ ප්‍රථම අවස්ථාව වන බවද අදාළ පරීක්ෂණය සිදුකිරීමෙන් පසු එම වාර්තාවට අනුව අත්සන් තැබීමක් තමන් විසින් සිදුකළ බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
එම සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න විමසීමක් විත්තිකරුවන් වෙනුවෙන් සිදු නොකළ අතර නැවත ප්‍රශ්න කිරීම් සිදුකරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය " ප්‍රෝටීන වෙන්කර හඳුනා ගැනීම සඳහා අදාළ පර්යේෂණය සිදු කළේ දැයි "සාක්ෂිකාරියගෙන් විමසු අතර සාක්ෂිකාරිය "ඔව් " යන පිළිතුරු ලබා දුන්නාය. 
 
එම සාක්ෂි විමසීමෙන් අනතුරුව වෛද්‍ය සැපයුම් ඒකකයේ ඖෂධවේදි බුද්ධික නිශාන් මහතා විසින් සාක්ෂි ලබාදීම සිදු  කරන ලදි .
 
2014 වසරේදී ඖෂධවේදයකු ලෙස සුදුසුකම් ලැබූ තමන් 2022 වසරේ මැද භාගයේදී වෛද්‍ය සැපයුම් ඒකකයේ සේවයට පැමිණි බවද සාක්ෂිකරු සඳහන් කළේය.
 
"2023 වසරේදී ඔබ විසින් කළ සාම්පල රාජකාරි මොනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ "සාම්පල් ලබා ගැනීම නිකුත් කිරීම හා එය සම්බන්ධ ලිපි ලේඛන කාරණා තමන් විසින් සකස් කළ බව"ය. 
 
අදාළ සාම්පල ලබා ගැනීමේදී සහ නිකුත් කිරීමේදී ඊට අදාළ ලියකියවිලි සකස්කර අධ්‍යක්ෂකවරයාගේ අත්සනට යොමු කරන බවද සාක්ෂිකරු සඳහන් කළේය.
 
වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා කටයුතු කළ බවද ඔහු මෙම අධිකරණය විත්තිකරුවකු සිටින බවද සාක්ෂිකරු හඳුනාගත්තේය. 
 
"චක්‍රලේඛ නිකුත් කිරීමක් සිදුකරන බවට ඔබ සඳහන් කළා" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ "එම චක්‍රලේඛ සකස් කිරීමට NMRA එකේ ලිඛිත සටහනක් ලැබිය යුතුයි. එම සටහන අනුව සකස් කළ චක්‍රලේඛය අත්සන් කලාට පස්සෙ වෛද්‍ය සැපයුම් ඒකකයේ වෙබ් අඩවියට යොමු කරනවා, ස්වස්තා පද්ධතියේ dashboard එකට පණිවිඩයක් ලෙස upload කරනවා. වෛද්‍ය සැපයුම් ඒකකයේ තාක්ෂණික අංශය තමයි සිදුකරන්නේ"යැයි සාක්ෂිකරු සඳහන් කළේය. 
 
"අත්සන් කළ චක්‍රලේඛකය කාටද යොමු කරන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී "එම චක්‍රලේඛ ඊ මේල් මගින් අදාළ අංශ වලට යොමු කිරීමක් සිදුකරන බවද රෝහල්වලට ඊමේල් මගින් එම දැනුම්දීම සිදු නොකරන නමුත් වෛද්‍ය සැපයුම් ඒකකයේ වෙබ් පිටුවේ බාගත හැකි පරිදි එය ඇතුලත් කරන බව" සාක්ෂිකරු සඳහන් කළේය. 
 
අදාළ චක්‍රලේඛය සකස් කළ පසු තමන්ගේ ඉහළ නිලධාරියා විසින් පරීක්ෂාවට ලක් කරන අතර ඇය සහ ADQ ගේ අත්සන ඇතිව අධ්‍යක්ෂවරයාගේ අත්සනට යොමු කරන බවද සාක්ෂිකරු සඳහන් කළේය.
 
සෆ්රැක් කමිටු රැස්වීම පැවැත්වෙද්දී වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත නිරීක්ෂණ නිලධාරියකු ලෙස ඒ සඳහා සහභාගි වන බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
වෛද්‍ය සැපයුම් ඒකකයේ ශීත ගබඩාවෙන් ලබාගත් සාම්පල හතළිහක් සහ රිටොප්සිමැබ් සාම්පල දෙකක් NMQAL ආයතනයට යැවීම තමන් සිදුකළ බව සාක්ෂිකරු සඳහන් කළේය. 
 
දෙක අට උෂ්ණත්වය ආරක්ෂා වන පරිදි cool box එකක දමා සාම්පලය ලබාදීමක් සිදුකළ බව සඳහන් කළ සාක්ෂිකරු ඊට අදාළ Advice notice එක අධිකරණය හමුවේ හඳුනාගත්තේය. 
 
අදාළ සාම්පල NMQL ආයතනයේ ශානි මහත්මියට ලබා දිමක් 2024 /02/14 දින සිදුකළ බව ඔහු කියා සිටියේය.
 
එම මූලික සාක්ෂි විමසීමෙන් අනතුරුව පළමුවන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න යොමු කරමින් නීතිඥ හරෙන්ද්‍ර බානගල මහතා " අදාළ ආයතනයට ලබා දුන් සාම්පල වෙනම වෙනම පරීක්ෂාවට ලක් කලාද ?"යනුවෙන් ප්‍රශ්නයක් යොමු කළේය. 
 
බාහිර වශයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් තිබේද යන්න විමසා බැලූ අතර randomly සාම්පල කිහිපයක් check කළ නමුත් ඒවා ඉටිකොළ වලින් හෝ සෙලෝ ටේප් වලින් ආවරණය කර තිබුණාද යන්න පිළිබඳව තමන්ට පැහැදිලි මතකයක් නොමැති බව" සාක්ෂිකරු කියා සිටියේය. 
 
"අනෙක් සාම්පල දෙකත් ලබා දෙන විට පරික්ෂා කළා. එහි කිසිවක් damage වෙලා තිබුණේ නෑ." යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළේය. 
 
දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමක් කළ අතර " 2023 සැප්තැම්බර් මාසය වන විට ඔබ කළ රාජකාරිය කුමක්ද?" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසිමක් කළ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ තමන් තත්ත්ව පාලන අංශයේ කටයුතු කළ බවය.
 
එහි ප්‍රධානියා ලෙස සේනානි කරවිට මහත්මිය කටයුතු කළ අතර එම අංශයේ නිලධාරීන් පහක් සිටි බවද ප්‍රධාන අංශ දෙකක් තිබූ බවද සාක්ෂිකරු සඳහන් කර සිටියේය.
 
"වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක මහතා 2022 වසරේ ජනවාරි මස සිට දෙසැම්බර් මස දක්වා විදේශ ගතවී සිටි බව දන්නවද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ තමන් ඒ පිළිබඳව දන්නා බවය 
 
"2022 සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාස වන විට ඖෂධ වල තත්ත්වය පිළිබඳ පැමිණිලි NMRA ආයතනයට සහ සෆ්රැක් කමිටුවට යොමු වෙනවා. එහි පිටපත් වෛද්‍ය සැපයුම් ඒකකයටත් යොමු වෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු "ඔව්" යන පිළිතුරු ලබා දුන්නේය. 
 
"ස්වස්තා පද්ධතියට තොරතුරු එකතු කරන්නේ එම පද්ධතියට පිවිසෙන විටම දැකිය හැකි ලෙස නේද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකර සඳහන් කළේ එය  පද්ධතියේ ඩෑෂ් බෝඩ් එකේ නිරූපණය වන අතර එහි ඇති කතිර සලකුණ ඉවත් කර වෙනත් කටයුතු කළ යුතු බවය. 
 
"එහෙම හදලා තියෙන්නේ මේ වැදගත් තොරතුරු අවධානයට ලක් කරන්න නේද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ " මෙය තමයි අපට කළ හැකි ඉහළම කාර්යය" යනුවෙනි 
 
ඖෂධයක් withdraw කරන විට එය ඩෑෂ්බෝඩ් එක හරහා පද්ධතියේ දැක ගත හැකි අතර පද්ධතිය මගින්ම ඖෂධය නිකුත් කිරීම අවහිර කිරීමක් සිදුවන බව සාක්‍ෂිකරු සඳහන් කළේය. 
 
"සවස පහයි පනස් හතරට ඔබට වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂක යොමු කළ පණිවිඩය තාක්ෂණ අංශයේ නිලධාරීන් විසින් ඉටු කළාද කියා ඔබ බැලුවද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටිය අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "ස්වාමීනි ඒ අවස්ථාවේදී මම duty off වෙලා හිටියේ ඒ නිසා ඒ අවස්ථාවේ බැලුවෙ නෑ. පසු දින රිපෝර්ට් එකක් ලෙස රන් කරලා බැලුවා. 21 වනදා වන විට එය ස්වස්තා පද්ධතියේ upload කර තිබුණා." යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළේය.
 
එසේම තමන්ගේ ජංගම දුරකථනයට එස්එම්එස් පණිවිඩයක් ඒ සම්බන්ධයෙන් ලැබී තිබූ බව සාක්ෂිකරු කියා සිටියේය.
 
ඒ සමගම එදිනට නියමිත සාක්ෂි ලබා ගැනීම අවසන් කරන ලදී.
 
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
medicine 20260131
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ. 
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරු වෝ වෙති.
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
 
නෙල්කා මැදගෙදර

(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න 

 

නවතම පුවත්