leader s

*එල් නිනෝ සක්‍රිය වීමත් සමඟ ශ්‍රී ලංකාව වසර ගණනාවකට පසු දරුණුතම වියළි කාලගුණයට මුහුණ දෙයි; වනජීවී උද්‍යාන වැසී යද්දී මිනිස් නොසැලකිල්ල නිසා රට පුරා ලැව්ගිනි සහ ගොඩනැගිලි ආශ්‍රිත ගිනි අවදානම ඉහළ යාමේ භයානක පෙරනිමිති.


*ගෝලීය දේශගුණ විපර්යාස හමුවේ වියළී යන වනාන්තර ගිනි උගුල් බවට පත්වන හැටි සහ ව්‍යසනයක් වීමට පෙර ජාතික ගිනි කළමනාකරණ සැලැස්මක ඇති හදිසි අවශ්‍යතාව පිළිබඳ විමසුමක්.


2026 සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින දැඩි වියළි කාලගුණය තවත් එක් ස්වභාවික කාලගුණික සිදුවීමක් ලෙස පමණක් සැලකිය හැකි තත්ත්වයක් නොවේ. එය ජල හිඟය, කෘෂිකර්මාන්තය, වනජීවී ජීවිතය, වනාන්තර, මිනිස් සෞඛ්‍යය සහ අවසානයේ ගිනි අවදානම ද එකිනෙකට බද්ධ කරන විශාල පාරිසරික හා ආපදා කළමනාකරණ අභියෝගයකි.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) සැප්තැම්බර් 3 වැනිදා නිකුත් කළ නවතම සෘතුමය දේශගුණ යාවත්කාලීනය අනුව එල් නිනෝ තත්ත්වය මේ වන විට ස්ථාපිත වී ඇති අතර ඉදිරි මාසවලදී එය තවදුරටත් ශක්තිමත් වීම අපේක්ෂා කෙරේ. 2026 සැප්තැම්බර්–නොවැම්බර් කාලය සඳහා නිනෝ 3.4 කලාපයේ සාගර මතුපිට උෂ්ණත්ව විෂමතාව ආසන්න වශයෙන් 3.6°C දක්වා ළඟා විය හැකි අතර, එහි තීව්‍රතාව නොවැම්බර්–දෙසැම්බර් කාලයේදී උච්චතම අවස්ථාවට ළඟා විය හැකි බව WMO පවසයි. එමෙන්ම 2026 සැප්තැම්බර්–නොවැම්බර් මෙන්ම 2026 දෙසැම්බර්–2027 පෙබරවාරි කාලය දක්වා එල් නිනෝ පවතිනු ඇති සම්භාවිතාව ආසන්න වශයෙන් සියයට 100ක් බව එම සංවිධානය පෙන්වා දෙයි.

එල් නිනෝ සහ ඉන්දියානු සාගර ද්විධ්‍රැවයේ ද්විත්ව බලපෑම


මෙය ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේදැයි අවබෝධ කර ගැනීමේදී එක් වැදගත් කරුණක් මතක තබාගත යුතු ය. එනම්, එල් නිනෝ ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම අනිවාර්යයෙන්ම වියළි කාලගුණයක් ඇති කරන සරල යාන්ත්‍රණයක් නොවන බව ය. ඉන්දියානු සාගර ද්විධ්‍රැවය (IOD) ඇතුළු අනෙකුත් සාගර හා වායුගෝලීය සාධක සමඟ එහි බලපෑම වෙනස් වේ. එහෙත් එල් නිනෝ, ධනාත්මක IOD තත්ත්ව සහ දේශගුණික උණුසුම එකට ක්‍රියා කරන විට උෂ්ණත්වය, වර්ෂාපතන රටාව සහ නියං තත්ත්වයන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇතිවිය හැකිය. WMO ද 2026 සැප්තැම්බර් යාවත්කාලීනයේදී ධනාත්මක IOD තත්ත්වයක් වර්ධනය වනු ඇතැයි පෙන්වා දී තිබේ. එහි ප්‍රතිඵල අපට මේ වන විටත් දැකගත හැකිය.

නියඟයෙන් වැසී යන වනජීවී පාරාදීස

දැඩි නියඟය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ 1 සහ 2 කොටස් සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 15 දක්වා තාවකාලිකව වසා දැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අනෙකුත් කොටස් විවෘතව තබා තිබුණ ද, මෙම තීරණය ගනු ලැබ ඇත්තේ පවතින වියළි කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

el4

කුමන සහ ගල්ඔය ජාතික උද්‍යානවල කඳවුරු බිම් ද නියඟය හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇත. රොයිටර් වාර්තා කරන්නේ යාල ප්‍රදේශයේ ජල හිඟය කොතරම් උග්‍ර වී ඇත්ද යත්, වනජීවීන්ට ජලය සැපයීම සඳහා හදිසි ජල සැපයුම් පවා අවශ්‍ය වී ඇති බව ය. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව දශකයකට ආසන්න කාලයකින් මුහුණ දුන් දරුණුතම වියළි කාලගුණ තත්ත්වයක් සමඟ මේ වන විට සටන් කරමින් සිටී.


වියළි වනය ගිනි උගුලක් වන්නේ කෙසේද?

 

wildfire 007

මේ අතර, වියළි වනය ගිනි සඳහා සූදානම් වන්නේ කෙසේද යන්න ද අප දත යුතුය.

ගින්නක් ඇතිවීමට ගිනි දැල්වීමක් අවශ්‍ය ය. එහෙත් එය ව්‍යසනයක් බවට පත්වීමට තවත් සාධක කිහිපයක් එකට එකතු විය යුතු වේ. ඒ අතර ප්‍රධාන වන්නේ දැවෙන ද්‍රව්‍ය හෙවත් ඉන්ධන, ඒවායේ තෙතමනය, උෂ්ණත්වය, සාපේක්ෂ ආර්ද්‍රතාව, සුළඟ, නියං තත්ත්වය සහ භූ විෂමතාවයි.

ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය පැහැදිලි කරන පරිදි වියළි තණකොළ, වියළී ගිය පඳුරු, මියගිය කොළ සහ අතු ගිනි සඳහා මූලික ඉන්ධන වේ. දිගු වියළි කාලයකදී ඒවා තවදුරටත් වියළී යන අතර, අධික උෂ්ණත්වය සහ සුළඟ සමඟ ගිනි අවදානම ඉහළ යයි.


ඒ අනුව සරලව පැහැදිලි කළහොත් සිදුවන්නේ මෙවැනි දාමයකි.

එල් නිනෝ සහ අනෙකුත් දේශගුණික බලපෑම් → වියළි හා උණුසුම් තත්ත්ව → වෘක්ෂලතා තෙතමනය අඩුවීම → දැවෙන ඉන්ධන වියළීම → කුඩා ගිනි දැල්ලක් වේගයෙන් පැතිරීම → විශාල ලැව්ගින්නක්. 

wildfire 002
ඕස්ට්‍රේලියාවේ භාවිත වන වනාන්තර ගිනි අනතුරු දර්ශකය (Forest Fire Danger Index) හෙවත් FFDI ද මේ මූලධර්මය මත ගොඩනැඟී ඇත. එහිදී උෂ්ණත්වය, සාපේක්ෂ ආර්ද්‍රතාව සහ සුළං වේගය සමඟ ඉන්ධන ලබාගත හැකි තත්ත්වය නියෝජනය කරන Drought Factor ද සැලකිල්ලට ගනී. එබැවින් "උෂ්ණත්වය වැඩි වූ නිසා ගිනි අවදානම වැඩි වේ" යන සරල අදහසට වඩා තත්ත්වය සංකීර්ණ ය. උෂ්ණත්වය, ආර්ද්‍රතාව, සුළඟ, නියඟය සහ වනයේ ඇති ඉන්ධන ප්‍රමාණය එකට සලකා බැලිය යුතුය.

මෙහිදී ශ්‍රී ලංකාවට අදාළ ඉතා වැදගත් කරුණක් තිබේ. එල් නිනෝව ගින්න දැල්වීමට ගිනිකූරක් නොවේ. එහෙත් එය ගින්නක් ඉක්මනින් පැතිර යා හැකි පරිසරයක් නිර්මාණය කරන පසුබිම් සාධකයකි.

ගිනිකූර මිනිසාගේ; පසුබිම එල් නිනෝවෙන්

ශ්‍රී ලංකා රජයේ වාර්තා අනුව මෙරට වනාන්තර ගිනිවල ප්‍රධාන හේතුව මිනිස් ක්‍රියාකාරකම් හා නොසැලකිල්ලයි. ගවයන් සඳහා අලුත් තණකොළ ලබා ගැනීමට තණබිම් ගිනි තැබීම, දඩයම් කිරීම, හේන් වගාව සඳහා වනාන්තර එළිපෙහෙළි කිරීම, දුම්රිය මාර්ග හා මාර්ග ආශ්‍රිතව දැවෙන ද්‍රව්‍ය පිළිස්සීම, වනාන්තර මායිම්වල ගිනි තැබීම සහ මාර්ගයේ ගමන් කරන්නන් විසින් සිගරට් කොට හා ගිනිකූරු ඉවත දැමීම ඒ අතර සඳහන් වේ.

wildfire 001

එම රජයේ වාර්තාවට අනුව 2016 වසරේදී පමණක් වනාන්තර හෙක්ටයාර් 2,945ක් ගින්නෙන් විනාශ වී තිබිණි. වනාන්තර ගිනි නිසා ජෛව විවිධත්වයට හා වාසස්ථානවලට හානි වනවා පමණක් නොව, පස නිරාවරණය වීම, පස ඛාදනය, ජල මාර්ග අවහිර වීම, ජලාශවල රොන්මඩ තැන්පත් වීම සහ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වැනි අතුරු ප්‍රතිඵල ද ඇති වේ.


ඒ නිසා වියළි කාලගුණය මිනිස් නොසැලකිල්ල සමඟ එකතු වූ විට අවදානම ගුණාත්මකව ඉහළ යයි. සාමාන්‍ය තෙතමනයක් සහිත වනයක ඉවත දැමූ සිගරට් කොටක් නිසා ඇතිවන සුළු ගින්නක් පාලනය කළ හැකි වුවත්, මාස ගණනක් වියළී ගිය වනයක එම ගිනි දැල්ල තවත් විශාල ප්‍රදේශයකට වේගයෙන් ගමන් කළ හැකිය.

කලාපීය අනතුරු ඇඟවීම් සහ ගෝලීය අර්බුදය

නමුත් මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ අවදානමක් නොවේ. 2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා ලොව පුරා ගිනි හේතුවෙන් හෙක්ටයාර් මිලියන 150කට වැඩි භූමි ප්‍රමාණයක් දැවී ගොස් ඇති බව රොයිටර් වාර්තා කළ අතර, එය පෙර වාර්තා වූ ඉහළම අගයට වඩා සියයට 20ක පමණ වැඩිවීමකි.

අග්නිදිග ආසියාවේ තත්ත්වය ද මේ අනතුර තවත් පැහැදිලි කරයි. 2026 සැප්තැම්බර් වන විට ඉන්දුනීසියාවේ නියඟය සහ අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවූ දැවැන්ත ලැව්ගිනි නිසා වායු දූෂණය සහ ශ්වසන රෝග වේගයෙන් ඉහළ ගොස් ඇති අතර, රොයිටර් වාර්තා අනුව එම ගිනි සමඟ "සුපර් එල් නිනෝ" තත්ත්වය ද සම්බන්ධ වී තිබේ.

මෙවැනි උදාහරණ ශ්‍රී ලංකාවට වැදගත් පාඩමක් දෙයි. ගින්න වනයකින් ආරම්භ වුවද, එහි බලපෑම වනය තුළට කොටු වන්නේ නැත. දුම මිනිස් සෞඛ්‍යයට බලපායි. වනජීවීන්ට හානි වේ. ජල පෝෂක ප්‍රදේශ විනාශ වේ. සංචාරක කර්මාන්තයට බලපෑම් ඇති වේ. අවසානයේ ආර්ථික හා සමාජීය පිරිවැයක් බවට එය පත්වේ.

ගිනි නිවීමට පෙර අවදානම වළකන ජාතික සැලැස්මක්


wildfire 005
ගින්නක් ඇති වූ පසු ගිනි නිවන රථයක් යැවීම යනු ක්ෂණික ප්‍රතිචාරයකි. එහෙත් නූතන ආපදා කළමනාකරණයේ වැදගත්ම අදහස වන්නේ ගින්න ඇතිවීමට පෙර අවදානම අඩු කිරීමය. නමුත් අප රටේ ආපදා කළමනාකරණ විෂය එතරම් දියුණු බවක් නොපෙනේ. ඒ සඳහා ශ්‍රී ලංකාවට වාර්ෂික ජාතික ගිනි කළමනාකරණ සැලැස්මක් අවශ්‍යය. එය වියළි කලාපයට පමණක් සීමා නොවී ජාතික උද්‍යාන, වනාන්තර, තණබිම්, ගොවිබිම්, වනාන්තර මායිම් සහ මිනිස් ජනාවාස ද ආවරණය කළ යුතුය.

පළමු පියවර විය යුත්තේ ගිනි අවදානම් සිතියම්කරණයයි. කුමන ප්‍රදේශයක ඉන්ධන ප්‍රමාණය වැඩිද, කොතැන නියඟය වැඩිද, සුළං රටාව කෙසේද, ජනාවාස හා මාර්ග කොතැනද යන්න චන්ද්‍රිකා දත්ත සහ භූගෝලීය තොරතුරු පද්ධති මඟින් නිරන්තරයෙන් යාවත්කාලීන කළ හැකිය.

දෙවනුව ගිනි ආරම්භය ඉක්මනින් හඳුනාගැනීම අවශ්‍යය. චන්ද්‍රිකා නිරීක්ෂණ, කැමරා පද්ධති, නිරීක්ෂණ කුළුණු සහ ප්‍රජා පාදක අනතුරු ඇඟවීම් ජාලයක් ඒ සඳහා භාවිත කළ හැකිය.


wildfire 004

තුන්වනුව ගිනි තීරු සහ ගිනි පටි නිසි පරිදි නඩත්තු කළ යුතුය. ශ්‍රී ලංකාවේ වනාන්තර ගිනි පාලනය සඳහා ගිනි පැතිරවීම වළකන ගිනි වළලු (Fire Belts) ස්ථාපිත කිරීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව රජය මීට පෙර ද හඳුනාගෙන තිබේ.



Renuka Damayanthi
(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්