leader s

පාර්ලිමේන්තුවේ 159ක බහුතරයක් සහ ජනාධිපති ධුරය අතැතිව අයවැය බිලියන ගණන් වියදම් කරමින් ‘රාජ්‍ය බලය නැතැයි’ කීම පිටුපස ඇත්තේ රාජ්‍ය යාන්ත්‍රණය පක්ෂයට නතු කරගැනීමේ ස්ටැලින්වාදී උවමනාවක්ද?


ලෝකයේ ඡන්දයෙන් පත් වූ වාම ආණ්ඩු ඉතිහාසය නොදැනීම සහ සන්නද්ධ බලයෙන් තොරව ‘රාජ්‍ය බලය’ අත්පත් කරගත නොහැකි බවට නියෝජ්‍ය ඇමති ප්‍රසන්න මතුකරන භයානක දේශපාලන ප්‍රවාදයේ ඇතුළාන්තය.



“ලෝක දේශපාලන ඉතිහාසය තුළ වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය ලබාගෙන රටක් සංවර්ධනය කරා මෙහෙයවන ප්‍රථම අවස්ථාව මෙය බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා (දන්ත වෛද්‍ය ප්‍රසන්න ගුණසේන), ඒ සඳහා අතීතයෙන් උගත හැකි වෙනත් ආදර්ශ නොමැති බවද අවධාරණය කළේය”. (2026 සැප්තැම්බර 14 වන දින “ලංකාසීනිවුස්” වෙබ් පුවතින් - )

නියෝජ්‍ය ඇමතිවරයාගේ මේ ප්‍රකාශය කෙතරම් නිවැරදිද යන්න බරපතල සැකයෙකි. එනිසා එය තීන්දු කිරීමට වඩාත් හොඳ ක්‍රමය වන්නේ, ඔහු සහ ජ.වි.පෙ “වාමාංශික දේශපාලනය” අර්ථ දක්වන්නේ කෙසේදැයි නියෝජ්‍ය ඇමතිවරයාගෙන්ම අසා දැන ගැනීමය. “1971 හෝ 1988/89 වකවානුවල මෙන් සන්නද්ධ අරගලයක් ඔස්සේ බලය ලබා ගත්තේ නම්.....” යැයි ඔහු කියන කතාවේ ඇත්තේ ද්විත්ව අදහසකි. එක් අදහසක් වන්නේ ඔවුන් මුදා හැරි ම්ලේච්ඡ ත්‍රස්තවාදය “වාමාංශික” දේශපාලන භාවිතයක් යැයි කීම ය. ඉන්දියානු විරෝධය (කොත්තමල්ලිත් තහනම් කළ), ‘88 අප්‍රේල් සහ ජුනි මාසවල පැවති පළාත් සභා මැතිවරණ වලදී සහ ‘88 දෙසැම්බර ජනාධිපතිවරණයේදී ඡන්ද භාවිතය තහනම් කළ ඔවුන්ගේ දේශපාලනයට එකඟ නොවූ සාමාන්‍ය ග්‍රාමීය ජනයා තුච්ඡ ලෙස ඝාතනය කිරීම “වාමාංශික” භාවිතයක් යැයි දේශපාලන උන්මත්තකයෙකුට හෝ සිතන්නට නොහැකි මෘග භාවිතයක් විය.

 



ඔවුන් කියන්නාවූ වාමාංශික දේශපාලනය කවරක් වූවත් ලෝක දේශපාලන ඉතිහාසය තුල “වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය ලබාගෙන” රටක් සංවර්ධනය කරා මෙහෙයවන ප්‍රථම අවස්ථාව ඔවුන් ආණ්ඩු බලයට පත්වීම යැයි කියන විට, ඉන් ඇඟවෙන්නේ වාමාංශික දේශපාලනයට බලය ගත හැක්කේ අවි ආයුධ බලයෙන් මිස ජනතාවගේ ඡන්දයෙන් නොවේ යැයි කියාය. එනිසා ඔවුන් ජනතා ඡන්දයෙන් ආණ්ඩුවට පත්වීම ආශ්චර්යක් යැයි ඔහුගේ ප්‍රකාශයෙන් දෝංකාර වන්නකි.

වාම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ලෝකයට අලුත් දෙයක්ද?

ඔවුන්ගේ ලෝකාවබෝධය කෙතරම් ප්‍රාථමික දැයි, සීමා සහිත දැයි ප්‍රදර්ශනය වන්නේ “වාම ප්‍රජාතන්ත්‍රවාදී” ආණ්ඩු ලෙස ජාත්‍යන්තරව පිළිගනු ලබන රටවල් ලතින් ඇමෙරිකාවේ සහ යුරෝපයේ මීට දසක ගණනාවකට පෙර සිට ඡන්දයෙන් පත්ව ඇති බැව් නොදැන සිටීමෙහිය. “මාක්ස්වාදය” හඳුන්වන පහසුව “වාමාංශික දේශපාලනය” හැඳින්වීමේදී නැත. “වාමාංශිකය” සතු සීමා මායිම් බොඳ වූ සීමා මායිම් ය. යුරෝපයේ “වාමාංශය” යනු කම්කරු මූලයන් සහිත නැතිනම් ධනේශ්වරයට එරෙහි දේශපාලන වර්ණයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන භාවිතයකි. එවගේම “සමාජවාදය” වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවක් වාමාංශයට නැත. එසේ වූවත් “සමාජවාදය” වෙනුවෙන් පෙනී සිටින දේශපාලනය, වමේ දේශපාලනයකි.

එළෙසින් වර්ණ ගැන්වෙන “වාම” ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ගණනාවක් යුරෝපයේත් ලතින් ඇමෙරිකාවේත් ඇත. ඒ සියලු ආණ්ඩු පවතින්නේ සර්වජන ඡන්දය අයිතියක් ලෙස භාවිත වන බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් සමග වීම වැදගත්ය.

ලතින් ඇමෙරිකාවේ ඡන්දයෙන් තේරී පත් කෙරුණු පළමු “වාමවාදී” ජනාධිපතිවරයා ලෙස පිළිගනු ලබන්නේ චිලියේ “ජනප්‍රිය එකමුතුවේ” අපේක්ෂකයා ලෙස 1971 ජනාධිපතිවරණයට තරග කළ චිලියානු සමාජවාදී පක්ෂයේ නායක සල්වදෝර් අයන්දේ ය. චිලියේ “ජනප්‍රිය එකමුතුව” විස්තර කෙරෙන්නේ අයන්දේගේ සමාජවාදී පක්ෂය සමග කොමියුනිස්ට් පක්ෂය, රැඩිකල් පක්ෂය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, වාම ක්‍රිස්තියානි පක්ෂය, ස්වාධීන ජනතා ක්‍රියාකාරීන් සහ නව ලිබරල්වාදීන් එකතුව පිහිටුවා ගත් දේශපාලන සන්ධානය ලෙසින් ය. ප්‍රධාන කර්මාන්ත ජනසතු කිරීමත් ආණ්ඩුවේ වගකීමක් ලෙස අධ්‍යාපනය පුළුල් කිරීමත් කම්කරු පංති ජීවන තත්ත්වය දියුණු කිරීමත් පොරොන්දු වූ අයන්දේ බලයට පත්වීමට පෙරාතුවම ඔහු බලයට පැමිණියහොත් ඉවත් කරන්නේ කෙසේදැයි වොෂිංටනය සැළසුම් කෙරුවකි. චිලියානු හමුදා බල ඇණි කිහිපයක සහායද ඇතිව 1973 දී ක්‍රියාත්මක කළ ජනරාල් ඔගොස්තො පිනොචෙ බලයට ගෙනා දක්ෂිණාංශික කුමන්ත්‍රණයකින් සන්තියාගෝ නුවරට ගොනු කෙරුණු ජනතා අරගලය මධ්‍යයයේ අයන්දේ ඝාතනය විය. ඔහු සිය දිවි නසා ගත්තේ යැයිද කියනු ලැබේ.

 

chavez
වෙනිසියුලාවේ පස්වන ජනරජ ව්‍යාපාරයේ පුරෝගාමී සහ පසුව තවත් පක්ෂ කිහිපයක් සමග හවුල්වී එක්සත් සමාජවාදී පක්ෂය පිහිටුවා ගත් හියුගො චවේස් 1999 දී වෙනිසියුලාවේ ජනාධිපති ලෙස තේරී පත් වූයේ සියයට 56.2 ක් ඡන්ද ලබා ගෙනය. පළමු වරට 1999 පෙබරවාරියේ ජනාධිපති ලෙස ජනතාව ඇමතූ ඔහු සිය දේශපාලනය හඳුන්වා දුන්නේ, “අපගේ ව්‍යාපෘතිය, රාජ්‍යවාදී නොවනවා වගේම නව ලිබරල්වාදීද නෙවෙයි. අපි අතරමැද අවකාශයක් නිර්මාණය කර ගන්නවා. නොපෙනෙන වෙළඳපල හස්තය, විවෘතව දැකිය හැකි රාජ්‍ය හස්තය සමග එක්ව එහි කටයුතු කරනවා” යනුවෙනි. වෙනිසියුලාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වනු ලැබුවේ “චවිස්මො” ලෙසින්ය. ප්‍රාදේශීය පාලනය ප්‍රජාතන්ත්‍රීය කිරීමේ “සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය” ව්‍යවස්ථාගත කරමින් ඔහු 2006 දී ඡන්දයෙන් පත් කෙරෙන “ප්‍රජා මණ්ඩල” පිහිටුවීමේ පනත සම්මත කළේය. 1999 සිට නොකඩවා වසර 14 ක් ජනාධිපති ලෙස තේරී පත් වූ චවේස් 2013 දී පිලිකාවකින් මිය ගියේය.

අයන්දෙලා, චවේස්ලා වගේම ලුලාලා, හොසෙ මුසිකලා, පෙඩ්‍රො කස්ටියොලලා ලතින් ඇමෙරිකාවේ අඩුවක් නොවුනි.  

යුරෝපා සංගමයේ පූර්ණ සාමාජිකයෙකු වන ස්පාඤ්ඤය 2018 ජුනියේදී ඔවුන්ගේ නියෝජිත මණ්ඩලයේ සම්මත කළ විශ්වාස භංග යෝජනාවකින් අගමැති මරීයානො රහොයි පරාජය කර, ස්පාඤ්ඤ කම්කරු සමාජවාදී පක්ෂයේ පෙඩ්රො සන්චෙස් අගමැති වශයෙන් පත් කර ගනු ලැබීය. අනතුරුව 2019 නොවැම්බරයේ සහ 2023 නොවැම්බරයේ පාර්ලිමේන්තු මැතිවරණ වලින් ඔහු සහ ඔහුගේ ආණ්ඩුව දෙවරක්ම තේරී පත් විය. යුරෝපය සහ ස්පාඤ්ඤය ඉකුත් වසර 06 ක කාලයේ මුහුණ දුන් අසීරුකම් සන්චෙස්ගේ කම්කරු සමාජවාදී පක්ෂ ආණ්ඩුවට ඔරොත්තු දිය නොහැකිවේ යැයි සැක කෙරුණු නමුත් වඩාත් සාර්ථකව ඊට මුහුණ දුන් යුරෝපීය ආණ්ඩුව වූයේ සන්චෙස්ගේ “වාම” ආණ්ඩුවය.

ස්වීඩන, නෝර්වේ ආණ්ඩු පාලනද සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ලෙස සැළකේ. එහෙත් බටහිර යුරෝපයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය “වාමාංශික” යැයි පිළිගැනීමේ මැලිකමක් ඇත. ඒවා ශක්තිමත් ධනේශ්වර ආර්ථික විසින් පුළුල් සුභසාධනයක් නඩත්තු කෙරෙන “ලිබරල්” සමාජ යැයි කෙටි හැදින්වීමකට සීමා කෙරේ.

ආණ්ඩු බලය සහ රාජ්‍ය යාන්ත්‍රණය අතර සැබෑ වෙනස

 

d7d3c2 unnamed 3
නියෝජ්‍ය ඇමති ගුණසේනගේ “පළමු වාම ආණ්ඩුව” ගැන කතාව සම්බන්ධව එපමණක් කීමෙන් නතරවී ඔහුගේ කතාවේ ඉතිරිය වෙත යොමු වුවහොත් ඔහු කියන “......ජනාධිපති ධුරය, ආසන 159 ක පාර්ලිමේන්තු බහුතරය සහ අමාත්‍ය මණ්ඩලය හිමිවීම හරහා ජනතාව තනි දිනකින් ආණ්ඩු බලය ලබා දුන්නද, රාජ්‍ය බලය එක රැයකින් ලබාගත නොහැකි” යැයි වන කතාව කුමක්දැයි තේරුම් ගත හැක්කේ ස්ටාලින්ගේ සෝවියට් රුසියාව හෝ ඩෙං සියාපිංගේ චීනය ගැන විමසීමෙනි.

ලොව පිළිගත් පැහැදිලි කිරීමට අනුව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන්හි ඇතැම් විට විධායක බලය ව්‍යවස්ථාමය බලයෙන් වෙන්කර තිබෙන නමුත් විධායක හා ව්‍යවස්ථා බලය හැසිරවීමේ නෛතික අධිකාරය “ආණ්ඩුව” වන්නේය. ආණ්ඩුව යැයි කියනු ලබන්නේ ඇමති මණ්ඩලයට ය. ආණ්ඩුව දිවුරුම් දුන් මොහොතේ සිට ව්‍යවස්ථාමය ප්‍රතිපාදන මත ආණ්ඩුවේ වගකීම් ඇමතිවරුන් වෙත පැවරෙන්නේය. ආණ්ඩුවේ වගකීම් ඉටු කිරීමේ සැළසුම්, ඒවාට අවශ්‍ය නීති  සම්පාදනය, අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සඳහා අවසර ලබා දීම ව්‍යවස්ථාදායකය නොහොත් පාර්ලිමේන්තුව සතු වගකීමය. එතැනින් පසු පාර්ලිමේන්තුව සම්මත කළ සැළසුම්, නීති අණ පනත් ඒ වෙනුවෙන් වෙන් කළ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය කටයුතු සඳහා මුදා හරිනු ලබන්නේ අමාත්‍යාංශය වෙත ය.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලනයක “රාජ්‍ය” වගකීම් ගැන කතාව ආරම්භ වන්නේ එතැන් සිටය. රාජ්‍ය යැයි පොදු නාමය යෙදෙන්නේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රාජ්‍ය පරිපාලන ආයතන, බන්ධනාගාර සහ අධිකරණයට ය. මේ ආයතන සියල්ල එකට ගත් විට අප “රාජ්‍ය යාන්ත්‍රණය” යැයි කියන නමුත්, ඒවා සතු වගකීම් වෙන් වෙන්ව නිශ්චයකර ක්‍රියාත්මක කෙරෙන්නේ ය. මේවායේ කටයුතු කිරීමට “රාජ්‍ය බලය” අවශ්‍යය යැයි නියෝජ්‍ය ඇමති කියන්නේ ඒ සඳහා ආණ්ඩු බලයට පිටතින් වෙනත් බලයක් ඇති නිසාම නොවේ.


ඒ ආයතන සතු සහ ඒවාට ආවේනික වූ නෛතික බලයක් ඇත. නිදසුනක් ලෙස පුද්ගලයෙකු අත් අඩංගුවට ගත හැක්කේ පොලීසියටය. පොලිස් බල තල වලට අදාල ඉතා සීමිත සරළ බලයක් ග්‍රාමසේවා නිලධාරීන්ට පවරා ඇත. පොලිස් දෙපාර්තමේන්තුව අතීතයේ මෙහෙයවනු ලැබුවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ එම ඇමති විසින් ය. වර්තමානයේ ඒ වගකීම පවරනු ලබන්නේ මහජන ආරක්ෂක නැතිනම් සිවිල් ආරක්ෂක අමාත්‍යාංශයට වන හෙයින් බලය ඇත්තේ එම ඇමතිවරයාට ය. තවත් නිදසුනක් ගන්නේ නම්, ආනයනය කරන්නාවූ භාණ්ඩයක් රට ඇතුළට ගැනීමට අවසර දෙන්නේද නොදෙන්නේද යැයි තීන්දු කරන්නේ රේගු දෙපාර්තමේන්තුවය. අවසර දෙන්නේ නම්, ඒ වෙනුවෙන් අය කළ යුතු බද්ද හෝ බදු තීන්දු කෙරෙන්නේද ඔවුන් විසින්ය. රේගු දෙපාර්තමේන්තුව කටයුතු කළ යුත්තේ ඔවුන් අයත් වන, සම්මතයක් වශයෙන් මුදල් අමාත්‍යාංශය සම්පාදනය කරන්නාවූ නීති රෙගුලාසි වලට අනුවය. මුදල් අමාත්‍යාංශය කටයුතු කරන්නේ මුදල් ඇමති යටතේ ය.

එවැනි කටයුතු සැළකෙන්නේ දෛනික රාජකාරී කටයුතු වශයෙනි. නියෝජ්‍ය ඇමති ගුණසේන නියෝජනය කරන මාලිමා ආණ්ඩුව බලයට පත්වූ දින සිට ලබන මස පෝයෙන් පසු වසර දෙකක් සම්පූර්ණ වන ඔවුන්ගේ ආණ්ඩු කාලයේ ඒ සියල්ල, අඩුපාඩු ඇතිව හෝ නැතිව සුපුරුදු පරිදි කෙරුණු බව මගේ විශ්වාසයයි. නියෝජ්‍ය ඇමතිවරයා කියන්නේ ඔවුන්ගේ ආණ්ඩුවට එවැනි කාර්ය සාධනයක් සඳහා බලයක් නොතිබිණැයි කියා නම්, ඉන්ධන මිල අඩු වැඩි කිරීමේ බලය මේ ආණ්ඩුවට ලැබුණේ කොහෙන්ද? කොළඹ වරායට බාන ලද බහළුම් 323 හිටි අඩියේ නිදහස්කර පිටත් කළ බලය කාට කොහෙන් ලැබුණු බලයක්ද?

රාජ්‍ය බලය නැතිව බිලියන 473ක් වියදම් කළේ කෙසේ ද?

 


ඔහු නොකියන “රාජ්‍ය බලය” ගැන සාමාන්‍ය ජනයාට ද පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන ලෙස මම මෙවැනි පැහැදිලි කිරීමක් සමග ප්‍රශ්නයක් අසමි.

මුදල් ඇමති ලෙස ජනාධිපති අනුර කුමාර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කෙරුනු මාලිමා ආණ්ඩුවේ 2025 වසර සඳහා වූ අයවැය මගින් අනෙක් සියලු අමාත්‍යාංශ වලට මෙන්ම දන්ත වෛද්‍ය ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය ඇමතිවරයෙකු වන ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය  වෙනුවෙන් රුපියල් බිලියන 473 ක් වෙන් කරනු ලැබිණ. ඉන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යන් ලෙස තීන්දු කෙරුණු උස නොමැති නවීන බස් 100 ක් මිලට ගැනීමට රුපියල් මිලියන 3,000 ක්ද, පැරණි මගී කෝච්චි පෙට්ටි අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 500 ක් සහ කැළණිවැලි දුම්රිය මාර්ගය දීර්ග කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 250 ක් ඇතුළු දුම්රිය සේවා නවීකරණය වෙනුවෙන් රුපියල් මිලියන 1,100 ක්ද, තඹුත්තේගම දුම්රිය ස්ථානය නවීකරණය කිරීම සම්බන්ධ ශක්‍යතා අධ්‍යයනයක් වෙනුවෙන් රුපියල් මිලියන 100 ක්ද ලබා දෙනු ලැබිණ. මේ සමස්ථ මුදල 2025 දෙසැම්බර 31 වන විට, අදාල කාර්යන් සඳහා වැය කිරීමේ වගකීම තිබුණේ අදාල අමාත්‍යවරයා යටතේ ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් රජයේ දෙපාර්තමේන්තු හා සංස්ථා මණ්ඩල වලටය.

දැන් මගේ ප්‍රශ්නය වන්නේ, නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන කියන අයුරු මාලිමා ආණ්ඩුව තවමත් (2026 සැප්තැම්බර) ගත කරන්නේ රාජ්‍ය බලය සඳහා ඔවුන්ට අවශ්‍ය පරිදි රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රතිසංවිධානය කර ගන්නා “සංක්‍රාන්ති කාලයක” නම්, 2025 වසර සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරනු ලැබූ රුපියල් බිලියන 473 ක මහජන මුදල “රාජ්‍ය බලයක්” නොමැතිව වියදම් කෙරුවේ කෙසේද? යන්න ය.

සංක්‍රාන්ති වියවුල පිටුපස ඇති පක්ෂ රාජ්‍යයේ සිහිනය

මගේ තේරුම් ගැනීමට අනුව, ඔහු “රාජ්‍ය බලය” සම්බන්ධව කියන කතාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ආණ්ඩුව සතු විය යුතු රාජ්‍ය බලයක් ගැන කතාවක් නොවේ. ඔහු “රාජ්‍ය බලය” ගැන කතා කරන්නේ, ඔහුගේ භාෂාවෙන් කියූ “සන්නද්ධ අරගලයක් ඔස්සේ බලය ලබා ගත්ත නම් ආණ්ඩු බලය වගේම රාජ්‍ය බලයද එකවර අත්පත් කර ගැනීමට තිබූ ඉඩ” සම්බන්ධවය. ඔහු ඉන් කියන්නේ සන්නද්ධ අරගලය මෙහෙයෙවන පක්ෂයට නැතිනම් සන්නද්ධ කණඩායමට රාජ්‍ය යාන්ත්‍රණය යටත් කර ගැනීමට ඇති හැකියාව ගැනය. 

ඡන්දයෙන් මෙලෙස ආණ්ඩු බලය ලැබුණාට රාජ්‍ය යාන්ත්‍රණය පක්ෂයට යටත් නොවන බවය. ආණ්ඩු බලය ලැබී අවුරුදු දෙකක් ගත වන විටද, රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ සංක්‍රාන්ති කාලයක ඔවුන් ඉන්නේ යැයි කියන්නේ පැලවත්තෙන් පාලනය කළ හැකි, පාක්ෂිකයින් පැල කෙරුණු රාජ්‍ය යාන්ත්‍රණයක් බවට වත්මන් රාජ්‍ය පරිවර්තනය කර ගැනීමක් ගැනය. එනිසා ඔහුගේ කතාව ප්‍රවේශමෙන් අසා, ප්‍රවේශමෙන් පිළිතුරු දිය යුතු කතාවක් යැයි මම කියමි. “බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය හා ස්ටලින්වාදී රාජ්‍ය පාලන” යන්න සමග සංවාදයකට තැබිය යුතු මාතෘකාවක් යැයි මම කියමි.



Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2026 සැප්තැම්බර 16 වන දින

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්