මානව හිමිකම් එකඟතා කඩවීමෙන් රටට එල්ල වන ජාත්‍යන්තර පීඩනය ගැන අනතුරු ඇඟවීමක්
අධිකරණයේ ස්වාධීනත්වය හා ආයෝජන අවස්ථා රැකගැනීමේ වැදගත්කම ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙයි
ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින රාජ්‍ය තාන්ත්‍රික අභියෝග, විදේශ ප්‍රතිපත්තියේ අනුකූලතාව සහ යෝජිත ව්‍යවස්ථා සංශෝධනවල බලපෑම සම්බන්ධයෙන් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කොළඹ මල්පාර කාර්යාලයේදී අද (16) විශේෂ කරුණු දැක්වීමක් සිදු කළේය.
මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, මහාචාර්ය ජී.එල්. පීරිස් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ලබා දුන් ප්‍රතිඥා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රට බරපතළ ප්‍රතිවිපාක රැසකට මුහුණ දීමේ අවදානමක් මතුව ඇති බවයි.
ජිනීවා වාර්තාව සහ පොරොන්දු ඉටු නොවීම
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් 63 වැනි සැසිවාරයට ඉදිරිපත් කරන ලද සවිස්තර වාර්තාව උපුටා දක්වමින් මහාචාර්යවරයා සඳහන් කළේ, 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන නව නීති සම්පාදනය කිරීමේ පොරොන්දුව තවමත් නිසි පරිදි ඉටු වී නොමැති බවයි. පසුගිය කාලසීමාවේදී ඉදිරිපත් වූ කෙටුම්පත් ඉවත් කරගැනීමෙන් අනතුරුව අලුතින් අනුමත වූ බව කියන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීතිඥ සංගමය හෝ සිවිල් සමාජය සමඟ විනිවිදභාවයකින් යුත් සංවාදයක් පවත්වා නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (OSA) සංශෝධනය කිරීම, ස්වාධීන මහජන අධිචෝදනා අධ්‍යක්ෂ ධුරයක් ස්ථාපිත කිරීම සහ සත්‍යය හා සංහිඳියා යාන්ත්‍රණයක් සකස් කිරීම සම්බන්ධයෙන් ලබාදුන් ප්‍රතිඥා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම ජාත්‍යන්තර විවේචන තීව්‍ර වීමට හේතු වී ඇති බව ඔහු අවධාරණය කළේය.
රාජ්‍ය තාන්ත්‍රික තීන්දු සහ විදේශ ප්‍රතිපත්තිය
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ගේ නිල කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට රටවල් 144ක පක්ෂපාතීත්වය පළ වෙද්දී, ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිටීමට ගත් තීරණය මහාචාර්ය ජී.එල්. පීරිස් ගේ දැඩි ප්‍රශ්න කිරීමට ලක් විය. මහ කොමසාරිස්වරයා මෙරට සංචාරයකට ආරාධනා කර උතුරු ප්‍රදේශයේ පරීක්ෂණ නිරීක්ෂණයට ඉඩ සලසා දීමෙන් අනතුරුව, මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරයක් ගැනීම තුළ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්ථාවරභාවය සහ අනුකූලතාව පිළිබඳ බරපතළ ගැටලු මතු වන බව හෙතෙම පෙන්වා දුන්නේය.
මීට අමතරව, නවදිල්ලියේ පැවති BRICS සංසදයේ නියෝජනයක් නොමැති වීම හරහා 'නව සංවර්ධන බැංකුව' (NDB) වැනි විකල්ප මූල්‍ය ප්‍රභවයන්ගෙන් ශ්‍රී ලංකාවට ලබාගත හැකිව තිබූ ආර්ථික සහයෝගීතාව අහිමි කරගෙන ඇති බවට ද ඔහු චෝදනා කළේය.
22 වැනි සංශෝධනය සහ ආයෝජන අවකාශය
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සුරක්ෂිත වීම රටක ආර්ථිකයට සහ විදේශ ආයෝජන ගලා ඒමට සෘජුව බලපාන ප්‍රධාන සාධකයක් බව මහාචාර්යවරයා වැඩිදුරටත් සිහිපත් කළේය. යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහනායක ස්වාමීන් වහන්සේලා, අන්‍ය ආගමික නායකයන්, නීතිඥ සංගම් මෙන්ම LAW ASIA වැනි ජාත්‍යන්තර නීති සංවිධාන පවා දැඩි විරෝධය පළ කර ඇති බවත්, මෙවැනි වාතාවරණයක් හමුවේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ආයෝජකයන් තුළ පවතින විශ්වාසය බිඳවැටීමෙන් ආර්ථික වර්ධනයට අහිතකර බලපෑම් එල්ල විය හැකි බවත් ඔහු අවධාරණය කළේය.
දේශීය ආර්ථික අර්බුද හා ජාතික ආරක්ෂාව
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර වශයෙන් හුදකලා නොවී ලෝකය සමඟ ඉදිරියට යාම තුළින් පමණක් රටේ පොදු ජනතාවගේ ආර්ථික සහ ජීවන ගැටලුවලට විසඳුම් සෙවිය හැකි බවයි. විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලු සහ ගොවි ජනතාවගේ ගැටලු කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානය යොමු විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් සෞඛ්‍ය අංශයේ පවතින ඖෂධ හිඟය, බලශක්ති අර්බුදය හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බිඳවැටීම් පිළිබඳ කරුණු ගෙනහැර දැක්වූ අතර, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනුක් කොළඹගේ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරය අතරතුර අත්සන් තැබූ ද්විපාර්ශ්වික ගිවිසුම් පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කර විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.







