"ස්වාමීනි, රැස්වීම් තියලා, සටහන් කරලා, පටිගත කරලා, කවුද හොරකම් කරන්නේ? අපරාධයක් කරනවා නම් කවුද සටහන් තියන්නේ? "යනුවෙන් නීතිඥ නයන්ත විජයසුන්දර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රශ්න කර සිටියේය.
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකු ට එරෙහි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අටවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා මේ බව කියා සිටියේය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
එහිදී පෙර දින සාක්ෂි ලබාදෙන ලද සැපයුම් ඒකකයේ ඖෂධවේදි බුද්ධික නිශාන් මහතාගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා විසින් සිදු කරන ලදී.
ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය අත්හිටවූ බවට NMRA ආයතනයෙන් තමන් එය ස්වස්ථා පද්ධතියට යොමු කිරීම සඳහා අවශ්‍ය කටයුතු කළ බවද ඊට අදාළ මිනිට් සටහන් තබාගත් බවද සාක්ෂිකරු එහිදී හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

එහිදී NMRA ආයතනයෙන් එවන ලද ඊමේල් පතේ එම සමාගමේ නම live ealth bio pharmaceutical private limited ලෙස සඳහන් වුවද පද්ධතිය පරීක්ෂ කර බලා අදාළ නම නිවැරදි කිරීමට තමන් කටයුතු කළ බව සාක්ෂිකරු කියා සිටියේය. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය live ealth සමාගම සහ Reliance සමාගම විසින් සපයා තිබූ අතර ඖෂධය සහ SR අංකය අනුව කරුණු විමසා අදාළ තහවුරු කිරීම තමන් කරගත් බව සාක්ෂිකරු සඳහන් කළේය.
ස්වස්ථා පද්ධතියේ එම ඇති තොරතුරු ඕනෑම අයෙකුට බලාගත හැකිද යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේය ඕනෑම අයෙකුට බාගත හැකිවන පරිදි එම දැන්වීම් පළ කරන බවය.
අනතුරුව මෙම ඖෂධය withdraw චක්‍රලේඛයද සකස් කොට තම ඉහළ නිලධාරීන් දෙදෙනකු මගින් අධ්‍යක්ෂවරයා වෙත යොමු කළ බව සාක්ෂිකරු සඳහන් කළේය.
With hold කළ ඖෂධ නැවත භාවිතා කිරීමේ අවස්ථාවක් ඇති අතර withdraw කළ ඖෂධ නැවත භාවිතා කිරීමක් කළ නොහැකි බව සාක්ෂිකරු කියා සිටියේය.
"අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමේදී ව අධ්‍යක්ෂ වෛද්‍ය කපිල ක්‍රමනායක මහතා ඔබට කුමන හෝ බාධාවක් හෝ බලපෑමක් කලාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එවැන්නක් සිදු නොවූ බව සාක්ෂිකරු සඳහන් කළේය
එම ප්‍රශ්න විමසීම අනතුරුව සෙසු විත්තිකරුවන් වෙනුවෙන් මෙම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු නොකරන බව අධිකරණයට දැනුම් දෙන ලදී.
අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කිහිපයක් විමසා සිටියාය.
එහිදී අදාල චක්‍රලේඛවල සඳහන් දිනයන් සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ තමන්ට ලැබුණු වාචික උපදෙස් මත අදාල ඖෂධයන් වික්ටෝල් කිරීමට අවශ්‍ය ඊමේල් පණිවිඩය ලබාදුන් බවය. අනතුරුව ඒ සඳහා අනුමැතිය තමන් ලබා ගත් බව ඇය සඳහන් කළාය
අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේ රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණියක වන මින්දූලී ජයමාන්න සාක්ෂි ලබාදීම සිදු කළාය.
තමන් 2011 වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කළ අතර 2023 වසර වන විට සෞඛ්‍ය අමාත්‍ය කාර්ය මණ්ඩලයට කාර්යාලයේ සේවය කළ බව සඳහන් කළාය. ඒ වන විට සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා කටයුතු කළ අතර ඔහු මෙම අධිකරණයේ විත්තිකරුවකු සිටින බවට සාක්ෂිකාරිය හඳුනා ගැනීමක් කළාය.
"ඔබ සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේ මොන කටයුතුද කළේ" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ මාධ්‍ය නිවේදන සකස් කිරීම, මාධ්‍යවේදීන්ගේ රාජකාරී මුර සකස් කිරීම ආදී කටයුතු තමන් විසින් සිදුකළ බවය.
"ඔබ අමාත්‍යාංශයේ පැවති රැස්වීම්වලට සහභාගී වෙලා තියෙනවද?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි රැස්වීම්වලට සහභාගි වී ඇති බවය.
එම රැස්වීමට පැමිණ සටහන් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය හෝ කාර්ය මණ්ඩල නිලධාරියකු දැනුම් දීමක් කරන අතර ඒ අනුව තමන් එම කටයුතු සිදු කරන බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
"ඒ වන විට කවුද පුද්ගලික ලේකම් ලෙස හිටියේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ අමලි රඹුක්වැල්ල මහත්මිය පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ බවය.
"සටහන් ගැනීම ඔබේ රාජකාරියට අයත් කාර්යයක්ද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර "ස්වාමීනී මට එහෙම රාජකාරිය ලැයිස්තුවක් දීලා තිබුණේ නෑ. සාකච්ඡා සටහන් තබා ගත්තේ. එරංගා නමැති නිලධාරියක් විසින්. ඇය නැති අවස්ථාවලදී තමයි මට එම කැඳවීම කළේ" යන පිළිතුරු සාක්ෂිකාරිය ලබා දුන්නාය.
"එම රැස්වීමේ සටහන් පටිගත කරනවාද?" යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ තමන් විසින් පටිගත කිරීමක් සිදු නොකරන අතර තමන්ට ඇසෙන දේ එලෙස ලියාගෙන පසුව එය යතුරු ලියනය කර ලබාදෙන බව ය.
එම රැස්වීම් සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ, වෛද්‍ය සැපයුම් ඒකකයේ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වන බව සඳහන් කළ සාක්ෂිකාරිය ඊට අමතරව සෞඛ්‍ය ඇමතිවරයාගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථීර මාධ්‍ය නිලධාරීන් සහ ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම්, පුද්ගලික ලේකම් එම ස්ථානයේ සිටින බවය.
එහිදී සටහන් කර ගත යුතු දේ පිළිබඳව පෞද්ගලික ලේකම් හෝ කාර්යමණ්ඩලයේ අයෙකු විසින් උපදෙස් ලබා දුන් අතර තමන්ට අවශ්‍ය පරිදි සටහන් ගැනීම් සිදුකරන බව සාක්ෂිකාරිය සඳහන් කළාය
"අදාළ සාකච්ඡාවට සහභාගි වන්නේ කවුරුන්ද" යන්න දැනගැනීම සිදුවන්නේ එම ස්ථානයට පැමිණි පසුව බව ප්‍රකාශ කළ සාක්ෂිකාරිය එහි ඇති අත්සන් ලේඛනය අනුව අදාළ රැස්වීමට සහභාගි වූවන්ගේ නම් සහ තනතුරු ඇතුළත් කරන බව සඳහන් කළාය.
එහිදී සාකච්ඡාවට ගන්නා කරුණ ,ඒ සම්බන්ධයෙන් ගත් තීරණය සහ ඊට අදාළ වගකීම පැවරෙන්නෙ කාටද යන්න පිළිබඳව අදාළ සටහන් වල තමන් තබා ගත් බව සාක්ෂිකාරිය කියා සිටියාය.
ඇමතිවරයාගේ පරිහරණය සඳහා මෙම සටහන් තබා ගැනීම සිදුකරන බැවින් ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කරන ලෙස උපදෙස් ලැබුණු බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.

මෙම සටහන් යතුරු ලියනය කරන ලද පරිගණකය අමාත්‍ය කාර්යාලයේ තිබෙන බවද, පරිගණකයේ මෘදු පිටපත් සියල්ල ඇමතිවරයා අමාත්‍ය ධුරයෙන් ඉවත්ව යන විට මකා දමන බවද සඳහන් කළ සාක්ෂිකාරිය ඇමතිවරුන් විසින් සාමාන්‍යයෙන් සිදු කරන කටයුත්තක් බව කියා සිටියාය.
"ඔබ එලෙස තබාගත් සටහන් නැවත දැකපු අවස්ථාවක් මතකද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී එවැනි සටහනක් දුටු අතර එම සටහන හඳුනාගත හැකි බවය.
10v63 ලෙස ලකුණු කර ඇති එම සටහන සාක්ෂිකාරිය හඳුනා ගත් අතර "එහි මාතෘකාවක් සඳහන් කර ඇත්තේ කුමන හේතුවක් මත ද?"යි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළාය.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ අදාළ රැස්වීම හඳුන්වන සහ අත්සන් ලේඛනයේ භාවිතා කළ මාතෘකාව අනුව මෙම සටහනට ද මාතෘකාවක් තමන් විසින් යෙදූ බවය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ සාක්ෂි මූලික සාක්ෂි විමසීමෙන් අනතුරුව හය වෙන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිඥ නුවන් ජයවර්ධන මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු කළේය.
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව අටවෙනි විත්තිකාර හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජේසුන්දර මහතා සාක්ෂිකාරියට හරස් ප්‍රශ්න යොමු කළේය.
මූලික සාක්ෂිවලදී සහ හයවෙනි චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා හරස් ප්‍රශ්න යොමු කළ අවස්ථාවේදී අදාළ රැස්වීමට සහභාගි වී එහි මිනිට්ස් සටහන් ලබා ගත් බවට සාක්ෂිකාරිය කළ සඳහන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කළ නීතිඥවරයා "2022 සැප්තැම්බර් 05 සහ 2022 ඔක්තෝබර් 10 එම රැස්වීමට සහභාගී වූ බව කිව්වා නේද ? එය අමාත්‍යවරයාගේ කාර්යාලයට යාබද ශ්‍රවණාගාරයේ ද තිබුණේ" යනුවෙන් විමසීමක් කළ අතර සාක්ෂිකාරිය රැස්වීම එම ස්ථානයේ පැවැති බව සඳහන් කළාය.
"සැප්තැම්බර් පස් වෙනිදා වෙනකොට අටවෙන චූදිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවකට සහභාගි වීම සඳහා භූතානයට ගිහින් තිබුණ බව ඔබ දන්නවාද" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී ඇය ඊට පිළිතුරක් ලබාදීමට පෙර පැමිණිල්ලේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එම ප්‍රශ්නයට විරෝධය පළ කරන බව සඳහන් කළාය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විරෝධය දක්වන්නේ නම් තමන්ට ද ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාව අවශ්‍ය බව නීතිඥවරයා සඳහන් කළේය. ඒ අනුව සාක්ෂිකාරිය අධිකරණයෙන් පිටතට යැවූ අතර දෙපාර්ශවයට ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාව දෙන ලදී.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය "ස්වාමීනි ප්‍රශ්නයෙන් ඇසුවේ 2023/ 09/05 වැනිදා අටවන චූදිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසිවාරයකට සහභාගී වීමට භූතානයට ගොස් සිටි බව. එම කාරණය සම්බන්ධයෙන් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ සංශෝධිත පනත ප්‍රකාරව විත්තිකරුට පොලිසිය ප්‍රකාශ සටහන් කරන අවස්ථාවේදී සඳහන් කිරීමට තිබුණා. 2024 /02/02 දින එම චූදිත ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. එහිදී තමන් භූතානයේ සිටි බවක් ඔහු සඳහන් කර නෑ .ඒ අනුව 126 (අ) උපවගන්තියේ තියෙනවා විත්තිවාචකයක් ලෙස අන්‍යස්ථානික භාවය ලබා ගන්නේ නම් මුල් ප්‍රකාශයේ සටහන් කර නොමැති නම් ඒ පිළිබඳව අධිචෝදනාවට දින ඇතුළත දැනුම් දිය යුතු බව" යනුවෙන් සඳහන් කළාය.
ඊට පිළිතුරු දෙමින් නීතිඥ නයන්ත විජේසුන්දර මහතා පෙන්වා දුන්නේ අන්‍යස්ථානික භාවය යනු වරද සිදුවන වේලාවේදී චූදිතයකු වෙනත් ස්ථානයක සිටීම අදහස් කරන බවය. 09/05 දින වරදක් සිදුවී නොමැති බවින් මෙය අදාළ කරගත නොහැකි බව නීතිඥවරයා සඳහන් කළේය. නොතැනියාව හෙවත් අන්‍යස්ථානියක භාවය පිළිබඳව නඩු තීන්දු කිහිපයක් ඇති බව නීතිඥවරයා එහිදී සඳහන් කළේය.
"ස්වාමීනී අපරාධමය වරදක් කියලා මෙදින උනා කියලා සඳහනක් නෑ. අපරාධමය වරදක් වෙන්න චෛතසික හා කායික නැමියාවක් තිබිය යුතුයි. එදින අපරාධයක් වෙලා තියෙනවා නම් මගේ උගත් මිතුරියට ඒ මිනිට් සටහන් ඉදිරිපත් කර නඩුව කරගෙන යන්න තිබුණා. මේ නඩුව මාස එකොළහක් ඇදගෙන යන්න ඕනේ නෑ. අනෙක් අතට අපරාධයක් සිදුව තිබුණා නම් එහි සිටි සියලු දෙනාටම එරෙහිව නඩු පැවරිය යුතුයි. එහිදී අපරාධමය වරදක් අනාවරණය වන්නේ නෑ." යනුවෙන් නීතිඥවරයා එහිදී සඳහන් කළේය.අනිත් අතට ස්වාමීනි රැස්වීම් තියලා සටහන් කරලා ඒ පටිගත කරලා කවුද හොරකම් කරන්නේ? අපරාධයක් කරනවා නම් කවුද සටහන් තියන්නේ?" යනුවෙන් නීතිඥවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය
ඊට ප්‍රති උත්තර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය "අපරාධමය වරදක් පිළිබඳව චූදිතට කර ඇති අති චෝදනා පත්‍රයේ පළවෙනි චෝදනාවක් මගින්ම දැනුම් දී තිබෙනවා. කුමන්ත්‍රණය යන චෝදනාව එහි ඇතුළත් වෙනවා. කුමන්ත්‍රණයක් එක දිනක දී සිදුවන්නේ නෑ. ඒ සඳහා අදාළ කාලය අධි චෝදනා පත්‍රයේ සඳහන් වෙනවා. අන්‍යාස්ථානික භාවය ගන්නවා නම් එය නෛතිකව ප්‍රකාශ කළ යුතුයි. මෙම ප්‍රශ්නයට මම විරුද්ධයි" යනුවෙන් සඳහන් කළාය.
ඒ සම්බන්ධයෙන් වන නියෝගය ප්‍රකාශ කරමින් විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ 10 v 63 ලේඛණය අනුව 08වන චූදිත සහභාගි වූ බව කියන රැස්වීම පැවැත්වූ දින ඔහු භූතානයේ සිටි බව සඳහන් කරමින් අන්‍යස්ථානයක බව සටහන් කළ නමුත් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 126( 1) වගන්තිය අනුව අ,ආ,ඇ යන වගන්ති සම්පූර්ණ කර නොමැති අවස්ථාවක අන්‍යාකාරයකින් අන්‍යාස්ථානික භාවය පිළිබඳ ස්ථාවරයක් ඉදිරිපත් කළ නොහැකි බවය.
එබැවින් එම හරස් ප්‍රශ්නය විමසීමට අවසර දීම ප්‍රතික්ෂේප කරන බව විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේය.

ඉන් අනතුරුව නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම නැවත සිදුකළ අතර " 2023 /12/05 දින පැවති රැස්වීමක මිනිට් සටහන් ලබා ගැනීමක් සිදුකර තිබෙනවා නේද යනුවෙන් සාක්ෂිකාරිය ගෙන් විමසීමක් කළේය.
එම මිනිට් සටහන් කරගෙන ඇති බව සාක්ෂිකාරිය සඳහන් කළ අවස්ථාවේදී 'එය 1v 13 ලෙස අධිකරණය හමුවේ ලකුණු කර තිබෙනවා. ඊට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නවාවි මහතා ඊට සහභාගි වූ බව සටහන් කර තිබෙනවා නේද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළේය.
නවාවී මහතා ඊට සහභාගි වූ බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
"ඔබ දන්නවාද නවාවි මහතා මේ නඩුවේ සාක්ෂිකාරියකු බව ඔහු මාස කිහිපයකට පෙරදී සාක්ෂි ලබාදී අවසන් බව ඔබ දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කර අතර සාක්ෂිකාරිය සඳහන් කළේ තමන් ඒ පිළිබඳ නොදන්නා බවය.
"එම රැස්වීමේ අංක එක යටතේ නාවි මහතාට ලබා දී ඇති වගකීම කුමක්ද? ලේඛන බලලා කියන්න." යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ඔහුට පැවරී ඇති වගකීම additional secretary procurement ලෙස සඳහන් කර ඇති බවය.
අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙම ප්‍රශ්නයට ද තමන් විරුද්ධ වන බව ප්‍රකාශ කළේය. තවත් සාක්ෂිකරුවකු ලබා දුන් සාක්ෂියක් සම්බන්ධයෙන් මෙම සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කිරීමක් සිදුකරන බැවින් ඊට විරුද්ධ වන බව ඇය කියා සිටියාය.
එම අවස්ථාවේදී අදාළ ප්‍රශ්නය විමසීමට විනිසුරු මඩුල්ල විසින් නීතිඥවරයාට අවසර දෙන ලදී
"මෙම මිනිට් සටහන්වල ඇති වගකීමක් නවාවී මහතාට භාර දුන්නේ නෑ කියලා මම යෝජනා කරනවා." යැයි නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ "ස්වාමීනි, මට ඇහුන දේ මම ලිව්වා. එය අත්සන් කරලා තහවුරු කළේ secretary සර්. අද වෙනකම් කිසිම අයෙක් මම වැරදි කියලා කියලා නෑ. එදා සටහන් කළ මිනිස් සටහන් වැරදියි කියලා කවුරුත් කිව්වේ නෑ. සිදුවූ දෙයක් නොවූ බවට හෝ සිදු නොවූ දේව දෙයක් ලියූ බවට මේ වනතෙක් කවුරුත් මට කියා නෑ." යනුවෙන් සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය.
"ඔබට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන දෙකක් පැවැත්වෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එක් තමන්ට එරෙහි එක් විමර්ශනයක් පැවැත්වෙන බවය.
"මිනිට් සටහන් වැරදියට යෙදීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙනවා නේද ?"යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකාරිය "එවැනි විමර්ශනයක් තමන්ට එරෙහිව නොමැති බව "සඳහන් කළේය කළාය.
"එහෙනම් ඔබට එරෙහිව පවතින විමර්ශනය කුමක්ද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එය දේශපාලන හේතූන් පැවැත්වෙන විමර්ශනයක් වන බවය. ඒ සම්බන්ධයෙන් තමන් විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලා ඇති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
"ඔබට විරුද්ධව තියෙන චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලන්නේ ඔබට බෑනේ. මොකක්ද ඔබට තියෙන චෝදනා" යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී 'ස්වාමීනී, දේශපාලන අරමුණක් පදනම් කරගෙන විනය පරීක්‍ෂණයක් පැවැත්වෙනවා. චෝදනාව තමයි ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ පුද්ගලයන්ට ලබා දී ඇති වාහන සහ තෙල් කෝඨාවන් පිළිබඳව තොරතුරු fb එකට ලබාදීම. එය තිබුණේ මගේ fb එකේ නෙමෙයි සංජීව නමැත්තකු ගේ මට ඔහුගේ නම හරියටම මතක නෑ. අනෙක් අතට ඒවා රහසේ ලේඛන නෙමෙයි. ඒ සියල්ලම කාර්යාලයේ තිබෙන ඒවා "
නීතිඥ වරයා: "ඒ සටහන තියෙන්නේ දැනට සිටින සෞඛ්‍ය ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයට මුදා හරින ලද තෙල් සහ වාහන සම්බන්ධයෙන් නේද
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී.
නීතිඥවරයා: ඒ විනය පරීක්ෂණය හෙට තියෙනවා කියලා ඔබ කිව්වා?
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනි, විධිමත් විනය පරීක්ෂණයක් මා ඉල්ලුවා.
නීතිඥවරයා: තව කාටද චෝදනා තියෙන්නේ.
සාක්ෂිකාරිය: ඒ ගැන මා දන්නේ නෑ
නීතිඥවරයා: ඔබේ සැමියාටත්ඒ පිළිබඳව චෝදනාවක් තියෙනවා නේද?
සාක්ෂිකාරිය: නෑ ස්වාමීනී
නීතිඥවරයා: මා ඔබට යෝජනා කරනවා චෝදනාවට ලක්වෙලා විමර්ශනයකට භාජනය වෙන අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් ඊට පක්ෂව සාක්ෂි ලබාදෙන බවට.
සාක්ෂිකාරිය: නෑ ස්වාමීනී මට කැඳවීමක් කරා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර දුන්නා. ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට මෙම සිතාසි ලැබුණා සාක්ෂි දෙන්න කියලා. මම බලෙන් සාක්ෂි දෙන්න ආවේ නෑ
නීතිඥවරයා: ඔබ දන්නවද දිවුරුම් පිට බොරු කිව්වොත් අධිකරණය හමුවේ සිදුවන දේ?
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී
නීතිඥවරයා: මිනිට් සටහන් ගැන ඔබට එරෙහි විමර්ශනයක් නැතිද?
සාක්ෂිකාරිය: නෑ ස්වාමීනී
නීතිඥවරයා: 10v63 , 10v53 යන ලේඛන වල ඇති මිනිට් සටහන් ඇමතිවරයාගේ අවශ්‍යතාවයට ගත් බව ඔබ කිව්වා. එම මිනිට් සටහන්වලට අත්සන් කරේ ලේකම්වරයාද?
සාක්ෂිකාරිය: දන්නේ නෑ ස්වාමීනී මිනිට්ස් සටහන සකස් කරලා පෞද්ගලික ලේකම්ට දුන්නා. ඉන් පසුව ඊට වෙන දේ කියන්න මම දන්නේ නෑ.
නීතිඥවරයා: ඔබ දන්න කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන අවස්ථාවේදී කිව්වද?
සාක්ෂිකාරිය :ඔහු ස්වාමීනී ප්‍රකාශය කියවලා අත්සන් කළා.
නීතිඥවරයා: ඇමතිවරයාගේ අවශ්‍යතාවයට එම මිනිට්ස් ගන්න බව ඔබ එහි දී කියලා නැති බවට මා යෝජනා කරනවා.
සාක්ෂිකාරිය: ස්වාමීනි එහිදී අහපු ප්‍රශ්නවලට මම උත්තර දුන්නා ඒ කැරුණු ගැන මට විශේෂ මතකයක් නෑ.
මෙහිදී අධිකරණය ඇමතූ නීතිඥවරයා මෙම සාක්ෂිකාරිය අපරාධ පරීක්ෂණයට ලබාදුන් කට උත්තරයේ ඇමතිවරයාගේ අවශ්‍යතාවයකට අදාළ සටහන් ලබාගන්නා බවට කරන ලද ප්‍රකාශය ඇතුළත් නොකිරීම ඌනතාවක් ලෙස ලකුණු කිරීමට අධිකරණයේ අවසර ඉල්ලා සිටියේය.
ඒ අනුව සාක්ෂිකාරිය විසින් දෙන ලද කට උත්තරය පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව අදාළ ඌනතාවය ලකුණු කිරීම සඳහා විනිසුරු මඩුල්ල විසින්අවසර ලබා දෙන ලදී.
අදාළ මිනිට් සටහන් අතින් ලියූ බවට සාක්ෂිකාරිය ලබා දුන් සාක්ෂිය සම්බන්ධයෙන් කරුණු විමසීමක් කළ නීතිඥවරයා" එසේ අතින් සටහන් කර ගන්නේ කවර හේතුවක් මත දැයි" විමසීමක් කළේය.
සාක්ෂිකාරිය සඳහන් කළේ මෙම මිනිට් සටහන් කර ගැනීම තමන්ගේ රාජකාරියක් නොවන බවත් එය එම රාජකාරිය ඉටු කරන එරංගා නමැති නිලධාරීන් නොමැති අවස්ථාවලදී තමන් මෙම රාජකාරිය සිදු කරන බවත්ය.
එම කාලය වන විට තමන් නෝට් බුක් එකක් භාවිතා නොකළ බව සඳහන් කළ සාක්ෂිකාරිය මෙය අමතර කාර්යයක් වන බැවින්ට ඊට අදාළ A4 කොළ මත සටහන් කර බව කියා සිටියාය.
"එම A4 කොළ කොහෙද තිබෙන්නේ ?"යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "ස්වාමීනි ,මට කියවා ගත හැකි පරිදි තමයි මම ලියාගන්නේ. සම්පූර්ණ ලියවිල්ලක් විදියට යතුරු ලියනය කිරීමෙන් පස්සේ එම කොළ විනාශ කරලා දානවා "

"මේ රැස්වීම තිබුණේ ඖෂධ සම්බන්ධයෙන්. ඖෂධ ගෙන්වීම සහ වැදගත් කාරණාවලට අදාළව. එවැනි වැදගත් සටහනක මුල් සටහන් විනාශ කරාම හරියනවද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ " අදාළ සටහන් තමන්ට පමණක් කියවා ගත හැකි පරිදි අසම්පූර්ණ වචන වලින් ලියා ඇති බව"ය.
"මා යෝජනා කරනවා ඔබ ඔය රැස්වීමට සහභාගි වෙලා වුණා කියලා වෙලා මිනිට් සටහන් ගත් බව" ට කරන ප්‍රකාශය අමූලික බොරුවක් කියලා" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය "නෑ ස්වාමීනි, එම රැස්වීමට සහභාගි වී තමයි ලිව්වේ" යනුවෙන් ප්‍රකාශ කළාය.
එම රැස්වීමට සහභාගී වූවන්ගේ අත්සන් ලේඛනය ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය හෝ ඔහුගේ කාර්ය මණ්ඩලය කෙනෙකු විසින් ගන්නට ඇති බව සාක්ෂිකාරිය කියා සිටියාය.
"මෙම සටහන් යතුරු ලියනය කළ පරිගණකය කොහෙද තියෙන්නේ යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එය සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලය තුළ තිබෙන බවය.
"අදාළ මිනිට් සටහන්වල මෘද පිටපත් එහි තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ " ස්වාමීනි, මේ යතුරු ලියන කිරීමෙන් පස්සේ එහි print out එකක් මා ලබා ගත්තා. ඇමතිවරයා අමාත්‍යාංශයෙන් යන විට එහි ඇහි පරිගණක වල ඇති සියලු කරුණු delete කරන්න කියලා උපදෙස් ලැබුණා. ඒ අනුව මම ඒවා delete කළා. සාමාන්‍යයෙන් හැම ඇමතිවරයකුම එහෙම තමයි.මම ඇමතිවරුන් ගණනාවක් යටතේ කටයුතු කර තිබෙනවා ඇමති ධූරයෙන් ඔවුන් යන විට තිබෙන සියලුම දත්ත ඉවත් කර යනව . අලුත් ඇමති සමග වැඩ කරන්න කියලා" යනුවෙන් සාක්ෂිකාරිය කියා සිටියාය.
ඒ පිළිබඳව ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කට උත්තරයේ සඳහන් කළාද යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී ඒ ගැන මට හරියට මතක නෑ මගෙන් ඇහුව නම් මම උත්තර දීලා ඇති යනුවෙන් සාක්ෂිකාරිය කියා සිටියාය.
මෙම සාක්ෂිකාරියෙහි අදාළ පරිගණකයේ මෘදු පිටපත් මකා දැමූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කට උත්තරයේ සඳහන් නොකිරීම ඌනතාවයක් ලෙස අධිකරණයේ ලකුණු කිරීමට නීතිඥවරයා අවසන් අවසර ඉල්ලා සිටි අතර විනිසුරු මඩුල්ල විසින් ඊට අවසර ලබා දෙන ලදී.
"ඔබ මෙම රැස්වීමේ සටහන් සකස් කළේ 2022 දී නේද?"යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසා සිටි අවස්ථාවේදී "එසේය ස්වාමීනී" යනුවෙන් ඇය ප්‍රතිචාර දැක්වූවාය.
නීතිඥවරයා: ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශය ලබාදී තිබෙන්නේ 2024 ජූනි මාසයේ නේද?
සාක්ෂිකාරිය: එසේ ස්වාමීනි
නීතිඥවරයා: ඔබට ඒ රැස්වීම් ගැන පුද්ගලික මතකයක් නෑ නේද?
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනි මේ මිනිට් සටහන් බලලා තමයි උත්තර දෙන්නේ
මෙම දෘඪ පිටපත් වල ස්ටේපර් එකකින් වැනි කටු ගැසූ හිල් කීපයක් පෙනීමට තිබීම සම්බන්ධයෙන් සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ නීතිඥවරයා ස්ටේපර් කටුවක් ගැහුවනම් එක හිල් දෙකයිනේ තියෙන්නේ. මෙතන ගණනාවක් තියෙනවා නේද?" යනුවෙන් විමසීමක් කළේය.
එහිදී ඇය සඳහන් කළේ කොළ තුනකින් යුත් මිනිට්ස් සටහනට තමන් ස්ටේපර් කටු දෙකක් ගැසූ බවය.
"මම ඔබට යෝජනා කරනවා ඔබ රාජ්‍ය දේපළ අවභාවිතා කරනවා කියලා. කොළ තුනකින් යුතුයි ලේඛනයකට කටු දෙකක් ගහන්න ඕනද? ස්ටේපර් කටු දෙකක් ගැහුවනම් හිල් හතරයිනෙ තියෙන්න ඕනේ. නමුත් මෙතන ඊට වැඩිය තියෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එම ලේඛනවල හිල් ගණනාවක් ඇති බවය.
ප්‍රශ්න කිරීම් කරන අතරවරයේදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය සඳහන් කළේ මෙම ප්‍රශ්නවලට තමන් විරුද්ධ වන බවය. මේ සඳහා කරුණු දැක්වීමට රජයේ මුද්‍රණාලාධිපති කැඳවීමට සිදුවන බවද සාක්ෂිකාරිය නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය එහිදී කියා සිටියාය.
ඒක හොඳයි. රජයේ මුද්‍රණාලාධිපතිට ඇවිත් සාක්ෂි දෙන්න කියන්න යනුවෙන් නීතිඥවරයා එහිදී කියා සිටියේය.
"මෙම සටහන් පිටු වලින් පිටුවක සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්සන තිබෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත මහතාගේ අත්සන එහි ඇති බව සාක්ෂිකාරය සඳහන් කළාය.
"ඔය රාජකාරිය හැර වෙනත් සටහනක් ඔබ අරගෙන තියෙනවද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී "එන්න කිව්වොත් ගන්නවා එරංගා නැතිවුනත් තමයි ගන්නේ" යනුවෙන් සාක්ෂිකාරිය පිළිතුරු ලබා දුන්නාය. ඔබ එම මිනිට් සටහන්වල print out ගත්ත බව කිව්වනේ. සී අයි ඩී එකට ගිහිල්ලා ගිය වෙලාවේ ඔය මිනිට් සටහන් දැක්කා නේද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී තමන් එම සටහන් දුටු බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
"මම යෝජනා කරනවා 2022 දහයයි දහය උදෑසන 10 වෙනකොට අටවන චූදිත සෞඛ්‍ය අමාත්‍යංශයේ නොසිටි බව" යනුවෙන් නීතිඥවරයා සදහන් කළ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය එම ප්‍රශ්නය යොමු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව සඳහන් කළේය.
එම අවස්ථාවේදී විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ මෙය අන්‍යස්ථානික බව නෙමෙයි. මෙහිදී ඇත්තේ එම ස්ථානයේ චූදිත නොසිටි බවයි අන්‍යස්ථානික බව යනු යම් කිසි වෙලාවකදී යම්කිසි ස්ථානයක ඔහු සිටි බව නිශ්චිතව ප්‍රකාශ කිරීමයි" යනුවෙන් පැහැදිලි කිරීමක් කළේය.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට අවශ්‍ය බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරිය එසේ නොකළහොත් රාජකාරිය නිසි පරිදි ඉටු නොකළ බවට නීතිපතිවරයා විසින් තමන්ට චෝදනා කරනු ඇති බවට ඇය සඳහන් කළාය.
ඒ අනුව අදාළ විරෝධතාවය සටහන් කරවීමට අධිකරණයේ අවසරය ලබාදෙන ලදී.
ඒ අනුව නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය සඳහන් කළේ පෙර අවස්ථාවේදී මෙන්ම මෙම අවස්ථාවේදී ද අන්‍යස්ථානික භාවය පිළිබඳ ගැටලුව මතුවන බැවින් සාක්ෂි ආඥා පනතට ඒ පනතේ එකසිය විසිහය (අ) වගන්තිය අනුව තමන් ඊට විරුද්ධ වන බවය.
එහිදී නීතිඥ නයන්විත ජේසුන්දර මහතා ඊට පිළිතුරු දෙමින් "ස්වාමීනි මෙහිදී ප්‍රශ්න කළේ අටවෙනි චූදිත එදින දහය වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොසිටි බවයි. එසේ නොමැතිව එකසිය විසිහය වගන්තියට අනුව ඔහු වෙනත් ස්ථානයක සිටි බවක් ප්‍රකාශ කළේ නෑ. එකසිය විසි හය වගන්තිය දක්වා ඇත්තේ පැමිණිල්ල විශ්මයට පත්වීම වැළැක්වීමටයි සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ වෙලාව වන විට වෙනත් ස්ථානයක සිටි බවට පැමිණිල්ල විසින්ම ඉදිරිපත් කරන ලද නඩු භාණ්ඩයක් වන ඩයලොග් දුරකථන ලැයිස්තුවක සඳහන් වෙනවා" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළේය එම විරෝධතාවය සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශ කිරීම ඊළඟ නඩු දිනයේදී සිදු කරන බව විනිසුරු මඩුල්ල එහිදී සඳහන් කළේය.
ඒ සමගම එදිනට නියමිත සාක්ෂි ලබා ගැනීම අවසන් කරන ලදී.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරු වෝ වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

