leader s

*අත්තනගල්ලේ ඉඩමකට අමුත්තෙක් ගෙනා මන්ත්‍ර අලු සහ V-හැඩයේ ඉරටු වික්‍රමය පිටුපස සැඟවුණු විද්‍යාත්මක යථාර්ථය හෙවත් 'මනෝචාලක බලපෑම' (Ideomotor Effect) ගැන ගවේෂණාත්මක හෙළිදරව්වක්.


*රුපියල් විසිදහසේ ගුරුකමට නැමුණු ඉරටුවේ ඇත්තටම නිධාන තියෙනවද? අද්භූත දියෙක්සුම් ක්‍රම (Dowsing) හරහා මිනිසුන් මුළා කරන වංචාවල නිරුවත.

එය අත්තනගල්ල ප්‍රදේශයේ පිහිටි කුඩා ව්‍යාපාරික ස්ථානයකි. එකම ගොඩනැගිල්ලක කොටසක් කුඩා බොජුන්හලක් ලෙස ද, ඉතිරි කොටස සිල්ලර වෙළඳසැලක් ලෙස ද පවත්වාගෙන යන එහි මේ දිනවල හිමිකාරීත්වය දරන්නී මැදිවියේ කාන්තාවකි. ඇගේ සැමියා දිගුකලෙක සිට අධික ලෙස මත්පැන් පානයට යොමුවීම මත මා දන්නා කාලයේ රෝගී තත්ත්වයෙන් පසුවිය. මෙම යුවළට දරු දෙදෙනෙක් සිටිති. වැඩිමල් දියණිය මෑතක විවාහපත්ව පිට පළාතක පදිංචියට ගොසිනි. ඔවුන්ගෙන් බාලයා වන පුතු පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාවක් හදාරමින් සිටියි.

එම වෙළඳසැල ඉදිරිපිට මාර්ගයේ රථවාහනවලින් ගමන් ගන්නා ඇතැමෙක් මෙම වෙළඳසැලට පැමිණ රසකැවිල්ලක් අනුභව කොට තේ කෝප්පයක් බී මදක් ගිමන් හැර යාම පුරුද්දක් කරගෙන හිඳිති. එම වෙළඳසැල රබර් වත්තක් කෙළවරේ තරමක් දැකුම්කළු පරිසරයක පිහිටා තිබීම ද ඊට හේතු වන්නට ඇත.

පසුගිය දිනයෙක වෙළඳසැලට මෝටර් සයිකලයකින් පැමිණි එක්තරා පුද්ගලයෙක් එසේ එහි මද වේලාවක් ගිමන් හරින අතරේ හාත්පස පරිසරය කෙරෙහි විශේෂ විමසුමකින් පසුවන අයුරක් වෙළඳසැල හිමි කාන්තාවට පෙනිණි. 


“මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා නෝනා, මේවා නෝනලාගෙම ඉඩකඩම්ද?” එසේ තරමක වෙලාවක් හාත්පස කෙරෙහි විමසුම් කළ අමුත්තා එම කාන්තාව වෙත ළංවී ඇසීය.

“මගේ කිව්වට මගේ මහත්තයට තමයි මේවා අයිති. එයාලගේ සීයා මාතර හක්මන ඉඳන් මෙහේ පදිංචියට ඇවිත් බොහොම පුංචියට බිස්නස් පටන් අරන් පස්සේ හොඳට දියුණු වෙලා මේ පැත්තේ ඉඩකඩම් සෑහෙන්න අරගෙන තියෙනවා. පස්සේ මගේ මහත්තයගේ තාත්තා ඒවායින් කොටසක් විකුණගෙන වියදම් කළා.” ඒ කාන්තාව එසේ පැමිණි ආගන්තුකයාට කියා සිටියේ තම ජීවිතය තුළ පවතින අසංතෘප්තතාව අනියමින් අඟවමිනි.

“කොහොම වුණත් නෝනා මේ ඉතුරු වෙලා තියෙන බිම් කොටස්වල මහා ලොකු ධන නිධානයක් තියෙනවා. මට ඒ වගේ තැන් දැක්ක හැටියේ අඳුනගන්න පුළුවන් අමුතු හැකියාවක් තියෙන හින්දයි එහෙම කියන්නේ. ඒ වගේම ඒක ඒ පරම්පරාවේ කෙනෙකුට බොහොම පහසුවෙන් ගන්නත් පුළුවන්.” එම ආගන්තුකයා එසේ පවසත්ම තම සිත තුළට අමුතුම ජවයක්, පන්නරයක් පිවිසෙන වගක් එම කාන්තාවට හැඟිණි.

 



“ඒ වුණාට සුද්දෝ හදපු නීතිවල හැටියට තමන්ගෙම ඉඩමක වුණත් පොළවේ යට තියෙන වටින දේවල් අයිති ආණ්ඩුවටනේ. බැරි වෙලාවත් ඉඩමේ අයිතිකාරයෝ හරි ඒවා ගන්න ගියොත් ඒ සම්පත් රාජසන්තක කරලා ඒ මනුස්සයව අල්ලලා හිරේ දානවා.” එම ආගන්තුකයා කීවේ ව්‍යාපාරික කාන්තාවගේ සිත තුළ පවතින උනන්දුවට විමතියක් ද එක් කරමිනි.

ඒ සමඟම ඔහු කියා සිටියේ කෙසේ හෝ එම භූමි අභ්‍යන්තරයේ කිනම් හෝ වටිනා දෙයක් ඇත්දැයි දැනගත හැකි රහසිගත ගුප්ත ශාස්ත්‍රයක් තමන් සතුව ඇති බවය.

එහිදී හිරියල්, සාදිලිංගම්, කුංකුමප්පු, දුම්මල, සාම්බ්‍රානි යන වර්ග එක්තරා මන්ත්‍රයකින් මතුරා ඒවා පුළුස්සා එහි අලු ගෙනැවිත් දිය හැකි බව කී ඒ ආගන්තුකයා, ඉන් පසුව කළ යුතු දේ ද කාන්තාවට කීවේය. එනම් ඉඩම හිමි පරපුරේ කෙනෙකු විසින් ඒ අලු නැවුම් කළයකට දමා දියකොට දෙහි අත්තකින් ඉඩම පුරා ඉසිය යුතු බව ය.

“ඊට පස්සේ ඒ පරම්පරාවෙම කෙනෙක් හරි පස්සේ ඒ පරම්පරාවට සම්බන්ධ වුණු කෙනෙක් හරි කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයයි. ඉස්සර වෙලාම අලුතින් ඵල දරපු පොල්ගහක අත්තකින් අමු ඉරටුවක් කඩාගන්නවා. ඊට පස්සේ ඒක හරි මැද්දෙන් ඉංග්‍රීසි ‘V’ අකුරක හැඩයට නවා ගන්නවා. පස්සේ ඒ ඉරටුව දෙපැත්තෙන් බොහොම සැහැල්ලුවෙන් අල්ලාගෙන සෙරප්පු, සපත්තු, තොප්පි දාන්නේ නැතුව ඒ ඉඩම පුරාම ඇවිදිනවා. එතකොට ඒ ඉඩමේ පොළොව යට රන්, රිදී, මුතු, මැණික් වගේ වටිනා දේවල් තියෙනවා නම් ඒ ඉරටුව අල්ලාගෙන ඉන්න කෙනා නොදැනුවත්වම ඒකේ කොන ඉබේම පොළොවට නැවෙනවා හරියටම ඒවා තියෙන තැන්වලදී.”


එම ආගන්තුකයා පවසත්ම එහි ඇත්ත නැත්ත කුමක් වුව එය නිකමට හෝ අත්හදා බැලිය යුත්තක් යැයි එම කාන්තාව සිතුවා ය. පසුව ඒ ආගන්තුකයාගේ දුරකථන අංකය ඉල්ලාගත් ඇය එම විස්මිත පුවත තම විවාහක දියණියට හා බෑණනුවන්ට දන්වා සිටියේ ඔවුන්ගෙන් ද අදහස් දැනගනු රිසියෙනි.

 

iratu 01

පසු දිනයෙක රුපියල් විසිදහසක මුදලකට ඔහු ගෙනැවිත් දුන් අලු ඔහු කී පරිද්දෙන්ම නැවුම් කලයක දියකොට පළමුව එම කාන්තාවගේ බෑණා විසින් ඉඩම පුරා ඉස, ඉරටු ගුරුකම කළ ද එම අලු සැපයූ තැනැත්තා කී අන්දමට ඉරටුවේ කොන පොළොව දෙසට නැවුණේ නැත. පසුව ඒ ඉරටුව අතට ගත් කාන්තාව ඒ අයුරින්ම ඒ ගුරුකම කළ ද එය පොළොව දෙසට නොනැමුණි. එහෙත් ඒ සම්බන්ධ අවසන් උත්සාහය ලෙස එම කාන්තාවගේ දියණිය ඒ ඉරටුවේ දෙකොනින් අල්ලාගෙන එම ඉඩමේ ඒ මේ අත ඇවිදින අතරේ එම ඉඩමේ එක්තරා ස්ථානයකදී එහි තුඩ ඉතා අසාමාන්‍ය ලෙස නැවෙන්නට වූයේ ඒ කිසිවකුටත් අදහාගත නොහැකි ලෙසිනි.

රුපියල් විසිදහසේ ගුරුකම සහ නැමුණු ඉරටුව


iratu 04
නමුදු එම නිධානය පිහිටි ස්ථානය සැක හැර දන්නා නමුදු එය හිමි කර ගත හැකි ක්‍රමයක් නොමැතිව ඔවුන් බරපතල ලෙස කනස්සලු සහගත වී ඇති වගක් ද මට දැන ගත හැකි විය. මගේ හිතවතකු දුන් තොරතුරක් අනුව එම ව්‍යාපාරික ස්ථානයට ගිය මා අසා දැන ගත් කරුණු අනුව එහි විද්‍යාත්මක සත්‍යය ද මෙලෙස අනාවරණය කළ යුතු යැයි මට සිතිණි. මෙය හඳුන්වනුයේ දියෙක්සුම (Dowsing) යනුවෙනි.

අතීතයේ දිය උල්පත්, භූගත ජලය, ඛනිජ සම්පත් ආදිය සෙවීම පිණිස ලෝකයේ විවිධ ජන සමාජයන්හි භාවිත වූ ජනප්‍රිය ක්‍රමයක් ලෙස මෙම දියෙක්සුම හැඳින්විය හැකි ය. එහිදී සාමාන්‍යයෙන් Y-හැඩැති අත්තක්, L-හැඩැති ලෝහ දඬු දෙකක් හෝ වෙනත් උපකරණයක් අතැතිව පුද්ගලයකු භූමිය මත ගමන් කරමින් එම උපකරණයේ චලනය අනුව භූගත ජලය හෝ වෙනත් ද්‍රව්‍යයක් ඇති ස්ථානය හඳුනාගන්නා බව කියනු ලැබේ.


දියෙක්සුම' (Dowsing) සහ අද්භූත බලයේ මිථ්‍යාව

iratu 05
එහෙත් දියෙක්සුමෙන් උපකරණය චලනය වන්නේ යම් අද්භූත බලයකින් හෝ භූගත ජලය, ඛනිජ හෝ වෙනත් සම්පතකින් නිකුත් වන විශේෂ බලපෑමකින් නොවේ. මෙහිදී සිදු වන්නේ එම උපකරණය අතැති පුද්ගලයාට තමන් නොදැනුවත්වම සිදුවන ඉතා සුළු මාංශපේශී චලනයන් පමණි.

මෙය මනෝචාලක බලපෑම හෙවත් Ideomotor Effect ලෙස හැඳින්වේ. පුද්ගලයකු යම් ස්ථානයක ජලය ඇති බවට විශ්වාස කරන්නේ නම්, ඔහුගේ අපේක්ෂාව, අවධානය සහ යටි සිතේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් අතේ සිදුවන ඉතා සුළු චලනයක් දඬුවලට හෝ අත්තට සම්ප්‍රේෂණය විය හැකි ය. එම චලනය බොහෝ විට තමන් විසින්ම සිදුකරන ලද්දක් බව පුද්ගලයාට නොදැනෙන නිසා, බාහිර බලයක් උපකරණය චලනය කළ බවට හැඟීමක් ඇති විය හැකි ය.

iratu 07
කනප්පු කැරකවීම, කාසි සහ තඹලේරු භාවිත කරමින් පිළිතුරු සෙවීම සහ ඇතැම් අධ්‍යාත්මික ක්‍රියාකාරකම්වලදී උපකරණ ස්වයංක්‍රීයව චලනය වන බව පෙනීම ද මෙම මනෝචාලක බලපෑම සමඟ සම්බන්ධ කළ හැකි ය. මෙහි "ස්වයංක්‍රීය" බව පෙනුණත්, එය මිනිස් ශරීරයේ ඉතා සුළු, අවිඥානික චලනයන් මගින් ඇති විය හැකි ය.

නමුත් මේ සම්බන්ධ බරපතල ශෝචනීය තත්ත්වය වනුයේ අද වන විට මෙවන් සරල මනෝවිද්‍යාත්මක කරුණු මුල් කොටගෙන ද හොර මැරකම්, වංචා, දූෂණ සමාජය පුරා ඉහ වහා යාමය. ඉහත සඳහන් සිදුවීම ඒ සම්බන්ධ එක් නිදසුනක් පමණි.


(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම-vinivida.lk)

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්