කොරෝනා වසංගතය තුල ක්‍රියාත්මක සමාජ දුරස්ථභාවය උපයෝගී කරගනිමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුරස්ථ කිරීමට ආණ්ඩුව දරන උත්සාහයට කිසිඳු ආකාරයකින් ඉඩ නොදිය යුතු බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි.

එම පක්ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක එබව සඳහන් වේ.

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට එරෙහිව පෙළ ගැසෙන ලෙස සියලු ම ප්‍රජාතන්ත්‍රවාදින්ගෙන් මේ මොහොතේ ඉල්ලා සිටින බවද එම නිවේදනයේ දැක්වේ.

සැබෑ ප්‍රශ්නය විසඳන්නට හැකියාවක් නොමැතිව ආණ්ඩුව කරනු ලබන ප්‍රෝඩාව හෙළි කිරීම කොරෝනා වෛරසය ජය ගැනීමට අතිශයින්ම වැදගත් බව ද එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

සමගි ජන බලවේගයේ නිවේදනයේ මෙසේ සඳහන් වේ.

රටේ සාමාන්‍ය ජන ජීවිතය බිඳ වැටී අවසන් !

''ආණ්ඩුව සිය නොහැකියාවන් වසා ගැනීමට උත්සහ දරනුයේ කොරෝනා වසංගතය ට මුවා වෙමිනි. රටේ සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳ වැටී අවසන් ය.

ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ලීමට ආණ්ඩුව ගත් සියලු වැඩ පිළිවෙල ඉතාමත් අප්‍රසන්න ලෙස දේශපාලනීකරණය කොට ඇත.

ලබා දෙන ආහාර මල්ලේ පක්ෂ ලාංඡනයක් යෙදීමට තරම් පහළට ඇද වැටීම ඛේදජනක ය .එම ලාංඡනය යොදා ඇත්තේ රජයේ පාලනය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක ය.

ජනාධිපතිගේ කාර්ය සාධක බලකාය දේශපාලන වැඩට බැහැලා :

කොරෝනා වසංගතය ට මුවා වී ආණ්ඩුව ජනතාවගේ සියලුම මූලික අයිතීන් උල්ලංඝනය කොට තිබේ. 

අත්‍යවශ්‍ය ආහාර බෙදා හැරීම් ජාලය අකර්මණ්‍යව පවතී. විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන බිඳ වැටීම තුළින් එය පැහැදිලි වේ.

ජනාධිපති වරයා පත් කළ කාර්ය සාධක බලකාය දේශපාලන වැඩ පිළිවෙලකට අර අඳින බව පැහැදිලි ය. වසංගතය ආරම්භයේ දී ම කළ යුතු දේ නො කළ ආණ්ඩුව වර්තමානයේත් සිදු කරමින් සිතින් නේ ඉබාගාතේ යන ගමනකි.

කොරෝනාවට වර්ගවාදය ආරෝපණය කිරීම:

''සිය අසමත් භාවය වසා ගැනීමට දැන් අනුගමනය කරන උපාය අතිශය දරුණු වූවකි. තමා විසින් පාලනය කරනු ලබන ජන මාධ්‍ය සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් කොරෝනාවට වර්ගවාදය ආරෝපණය කිරීමයි.''

පාර්ලිමේන්තු ව යළි රැස් කරන ලෙස කරනු ලබන ඉල්ලීමට ඉඩක් ලබා නොදෙමින් එයට එරෙහි ව කරනු ලබන ප්‍රකාශ තුළින් පැහැදිලි වන්නේ ආණ්ඩුව සැබෑ තත්ත්වය හෙළි වීමට ඇති අවස්ථාවන් විවර කිරීමට අකමැති බවයි.

මැතිවරණ කොමිසමට කරනු ලබන තර්ජන පාර්ලිමේන්තුව රැස් කරන ලෙස ඉල්ලීම් කරන්නන්ට නගන අවලාද තුළින් දිස් වන චිත්‍රය රටේ අනාගතය පිළිබඳ ව බිය කරු සිත්තමක් බව  අවබෝධ කර ගැනීම මේ මොහොතේ ඉතාමත් අත්‍යවශ්‍ය වේ.

''ආත්මාර්ථකාමී දේශපාලනය නිරුවත් කිරීමටත් බිය නොවිය යුතුයි''

සමාජ දුරස්ථභාවය රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුරස්ථ කිරීමට ඉඩ නොදිය යුතු බව අවධාරණය කරමු. සියලු ම ප්‍රජාතන්ත්‍රවාදින්ගෙන් මේ මොහොතේ යළි යළිත් ඉල්ලා සිටින්නේ මෙයට එරෙහිව පෙළ ගැසෙන ලෙසයි.

අතිශය සංවේදී මොහොතක සැඟවුණු දේශපාලනය හඳුනා ගැනීමටත් එයට එරෙහි වීමත් දේශප්‍රේමය නමින් සළු පිළි හඳින ආත්මාර්ථකාමී දේශපාලනය නිරුවත් කිරීමටත් බිය නොවිය යුතුය .

සැබෑ ප්‍රශ්නය විසඳන්න ට හැකියාවක් නොමැතිව ආණ්ඩුව කරනු ලබන ප්‍රෝඩාව හෙළි කිරීම කොරෝනා වෛරසය ජය ගැනීමට වැදගත් බව තේරුම් ගනිමු.''

(ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙන්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්