2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පවා දුන්බවට හිටපු අමාත්‍ය මහින්දානන්ද විසින් කළ ප්‍රකාශයට එරෙහිව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින්, සමාජවාදී තරුණ සංගමය, save the sports සංවිධානය එක්ව අද

( 06) දින ක්‍රිඩා අමාත්‍යංශය වෙත පැමිණිල්ලක් බාර දෙන ලදී.

එම අවස්ථාවට සමාජවාදි තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, නීතිඥ සුනිල් වටගල, නීතිඥ සුසන්ත දොඩාවත්ත, නීතිඥ චරිත් ගලහේන, මාධ්‍යවේදී විමල් කැටපේ ආරච්චි, ජාතික ජන බලවේගයේ කොළඹ දිස්තික් අපේක්ෂක සුරේෂ් කරුණාතිලක, දිනේෂ් කුමාර්, හා ප්‍රවීණ ගීත රචක රවී සිරිවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය පාවා දුන්නේ යයි මහින්දානන්ද අලුත්ගමගේ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බැවින් ඔහුට එරෙහිව 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත, දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව ක්‍රියා කරන්නැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායකවරයා ගොනු කළ එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මෙම පැමිණිල්ල සෘජුව ඉදිරිපත් කළ නොහැකි නිසා ක්‍රීඩා අමාත්‍යාංශය හරහා සාධාරණ විමර්ශනයක් අපේක්ෂා කරන බවත්, ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

 113255750 2aa5bfde 0f62 4005 9a3d 76e7fc6fbe8cමේ පිළිබඳ ප්‍රතිචාර දක්වා ඇති හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර තිබෙන්නේ නිසි පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර නොගෙන, සාක්ෂි නැතැයි පවසමින් පොලිසිය අදාළ විමර්ශනය අවසන් කර ඇති බවය. තමා මේ සම්බන්ධයෙන් ජූලි 03 ජනාධිපතිවරයා දැනුවත් කළ බව ද මහින්දානන්ද අලුත්ගමගේ පවසා තිබේ.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත:

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායකවරයා ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 13 වන වගන්තිය සහ 11 ඊ යන වගන්ති ද පදනම් කරගෙන තිබේ.

එම පනතේ 13 වගන්තිය අනුව සාවද්‍ය චෝදනා එල්ල කිරීම වරදකි. එහි මෙලෙස සඳහන් වේ.

"මේ පනතේ 16 වන වගන්තිය යටතේ හෙළිදරව් කරනු ලබන යම් තොරතුරක ඇතුළත් යම් චෝදනාවක අන්තර්ගතය සාවද්‍ය බව දැන දැනම හෝ, ඒ චෝදනාව සත්‍ය නොවන බව විශ්වාස කිරීමට හේතු තිබිය දී ඒ තොරතුර මගින් යම් සාවද්‍ය චෝදනාවක් කරන යම් තැනැත්තෙකු මේ පනත යටතේ වරදක් සිදු කරන අතර, මහේස්ත්‍රාත්වරයෙකු විසින් වරදකරු කරනු ලැබීමේ දී රුපියල් ලක්ෂ එකකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු තුනක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතුය."

මේ පනත යටතේ සිදු කරන යම් විමර්ශනයක කාර්යය සඳහා ඒකකය විසින් යම් තොරතුරක්, වාර්තාවක් හෝ ලේඛනයක් සපයන ලෙස හෝ යම් ප්‍රකාශයක් සිදු කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි විට දැන දැනම සාවද්‍ය, අසම්පූර්ණ හෝ නොමග යවන සුළු තොරතුරක් වාර්තාවක්, ලේඛනයක් හෝ සාවද්‍ය ප්‍රකාශයක් කිරීම වරදක් බව එම පනතේම 11 ඊ වගන්තියේ දැක්වේ.

පොලිස් විමර්ශන අවසන් කිරීමට හේතුව:

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍ය ඔස්සේ කළ හෙළිදරවුවට අදාළ පැමිණිල්ල ජුනි 24 වැනිදා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය විසින් සටහන් කරගෙන තිබුණි.

ඒ අනුව පහත සඳහන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් විමර්ශනයක් ආරම්භ විය.

එම විමර්ශනයට අදාළව 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමේ සමයේදී තේරීම් කමිටු සභාපති ලෙස ක්‍රියා කළ අරවින්ද ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එවකට නායකයාව සිටි කුමාර සංගක්කාර සහ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ උපුල් තරංග යන අයගෙන් ප්‍රකාශ සටහන්කර ගන්නා ලදි. මහේල ජයවර්ධන කැඳවා තිබුණ ද පසුව ඔහුට එදින නොපැමිණෙන ලෙස දන්වා තිබුණි.

එහෙත් මහේල ජයවර්ධන අදාළ දිනයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියේය.


319725 kumar sangakkara mahela jayawardeneජූලි 03 වැනිදා අදාළ පොලිස් විමර්ශන අවසන් කළ බව‍ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න පැවසුවේය.

"ප්‍රකාශ සටහන් කිරීමට අමතරව ලේඛන ගණනාවක් පරික්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා. මේ සියලු සාක්ෂි අනුව තරග පාවාදීමක් ගැන කරුණු අනාවරණය වී නැහැ. ඒ අනුව ක්‍රීඩා විමර්ශන ඒකකය විසින් තීරණය කර තිබෙනවා මේ විමර්ශනය අවසන් කිරීමට," යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ එම ප්‍රකාශය ද සාක්ෂි ලෙස පදනම් කරගෙන මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් සහ ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටි බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර කියා සිටියේය.

'ක්‍රීඩකයෝ සම්බන්ධ නෑ' -මහින්දානන්ද පුන පුනා කියයි 

පොලිස් විමර්ශන ගැන සැහීමකට පත් නොවූ තමන් ඒ ගැන සොයා බලන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

"මම පැහැදිළිව සඳහන් කළා ක්‍රීඩකයෝ සම්බන්ධ නෑ. තොරතුරු ගන්න ඕනා අය කවුරුන්ද කියලා. තොරතුරු ගත්තේ එවකට තේරීම් කමිටුවේ සභාපතිගෙන් විතරයි. එක්කෙනෙක්ගෙන් කටඋත්තර අරං ලිපි ගොනු වහන්න පුළුවන්ද ? මේ විදියටමයි පොලිසිය පහුගිය කාලේ කළේ. පොලීසිය තමන්ගේ වැරැද්ද වහගන්න වැරැද්ද මගේ පිට දාලා," යනුවෙන් ඔහු පවසා තිබේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ට තොරතුරු ලබා දී ඇතැයි ඔහු පවසා තිබුණි.

සාක්ෂි නැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කියයි:

ICC Reutersමේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගය පාවා දුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තමන් වෙත ඉදිරිපත් වී නොමැති බවයි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් අයිසීසී යේ දූෂණ විමර්ශන ඒකකය මූලික සලකා බැලීමක් කළ බව එම ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල් නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ අයිසීසී වෙත කිසිදු ලිපියක් යැවූ බවට කිසිදු වාර්තාවක් නොමැති බව පවසන ඇලෙක්ස් මාර්ෂල්, අමාත්‍යවරයාගෙන් එවැනි ලිපියක් ලද බවට මතකයක් නැතැයි අයිසීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද තහවුරු කරන බව සඳහන් කරයි.

JVP 2020.07.06

(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්