පොලිසිය, අධිකරණය සහ හමුදාව යනු රාජ්‍ය මර්දනයේ යාන්ත්‍රණ ලෙසින් ව්ලදිමීර් ලෙනින් විසින් විග්‍රහ කරනු ලැබ තිබෙන නමුත්

ශ්‍රී ලංකාවේ දී පොලිසියට එම විග්‍රහය ගැලපෙන්නේ යයි තමන් විශ්වාස නොකරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්යවරයෙකු වන මහාචාර්ය සිසිර පින්නවල පවසයි.

බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් එබව පෙන්වා දෙන මහාචාර්යවරයා, "ලංකාවේ රාජ්‍යය කියල දෙයක් නිසි පරිදි තියෙනව කියල මම හිතන්නේ නෑ. ලංකාවේ තියෙන්නේ රෙජීම් (regime) එකක්. පොලිසිය ආරක්ෂා කරන්නේ රාජ්‍යය නෙවෙයි, ඒ රෙජීම් එක," යයි අවධාරණය කර සිටියි.

"මේක සම්පූර්ණ ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේම පිරිහීමක්. අද තියෙන්නේ අපරාධවලට හවුල්වූ (criminalised) වෙච්ච දේශපාලනයක්. අනික එයාල භාවිත කරන්නේ අපරාධමය ආකල්පයක්." යයි මහාචාර්ය සිසිර පින්නවල වැඩිදුරටත් කියා සිටියි.

 

ලුම්පන් සල්ලිකාරයෝ':

වර්තමානයේ ශ්‍රී ලංකාවේ දේශපාලකයන් බොහෝ දෙනෙක් අපරාධකරුවන් හෝ අපරාධකරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන්නන් බව පෙන්වාදෙන මහාචාර්ය සිසිර පින්නවල, එබැවින් වර්තමානයේ ශ්‍රී ලංකාවේ පොලිසිය පෙනී සිටින්නේ "ලුම්පන් පැලැන්තියක් නියෝජනය කරන පාලක පන්තිය වෙනුවෙන්" බව ද සඳහන් කළේය.

"ලංකාවේ දැන් ඉන්නවා, එකපාරටම මතුවෙච්ච ලොකු සල්ලි කාරයෝ. ලංකාවේ පොලිසිය ඉන්නේ ඒ ලුම්පන් සල්ලිකාරයන් වෙනුවෙන්. ඒ කියන්නේ ආචාර් ධර්ම නැති, සල්ලි වෙනුවෙන්ම පෙනී ඉන්න කණ්ඩායමක් වෙනුවෙන්."

"ලංකාවේ දැන් ඉන්නවා, එකපාරටම මතුවෙච්ච ලොකු සල්ලි කාරයෝ. ලංකාවේ පොලිසිය ඉන්නේ ඒ ලුම්පන් සල්ලික්කාරයන් වෙනුවෙන්. ඒ කියන්නේ ආචාර් ධර්ම නැති, සල්ලි වෙනුවෙන්ම පෙනී ඉන්න කණ්ඩායමක් වෙනුවෙන්."

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යහපත් රාජ්‍ය පාලකයන් නොවන බව පවසන මහාචාර්ය සිසිර පින්නවල, කෙසේ වුවත් එම රටවල රාජ්‍යය ස්ථාවර වීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට අසීමිත බලයක් පැවරී නොමැති බව පෙන්වා දෙයි.

"මොකද ඒ රටවල ස්ථාපිත රාජ්‍යයක් තියෙනව. එංගලන්තේ කැලෑ නීතියක් නැත්තේ ඒ නිසා."

"ඒත් අපේ තියෙන්නේ රෙජීම් ආරක්ෂා කරන ක්‍රමයක්."

 

ශ්‍රී ලංකා පොලිසියේ කෲරත්වය සහ වධ හිංසා :

Lanka Policeපෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද සාමකාමී විරෝධතාවයකට පොලිසිය එල්ල කළ ප්‍රහාරය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්යවරයෙකු වන මහාචාර්ය සිසිර පින්නවල  ඉහත කාරනා පැහැදිලි කර සිටියේ, කෲරත්වය සහ වධ හිංසා ගැන ශ්‍රී ලංකා පොලිසියට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් 'බීබීසී සිංහල සේවය' කළ විමසීමකදීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ කලක් සේවය කළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අධිකරණ පරිශ්‍රයක් තුළ දී මාධ්‍යවේදියෙකුට හිරිහැර කිරීම පසුගිය සතියේ ප්‍රබල අවධානයට ලක්විය.

ඒ අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විශාල පිරිසකට චෝදනා එල්ලවීම ද පසුගිය දිනවල ආන්දෝලනයකට ලක් වූ සිදුවීමකි.

 

රෝගී තත්ත්වයෙන් පසුවන දරුවන්ට පවා වධ හිංසා:

අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට පමණක් නොව රෝගී තත්ත්වයෙන් පසුවන දරුවන්ට පවා වධ හිංසා පමුණුවන බවට ශ්‍රී ලංකාවේ පොලිසියට චෝදනා එල්ලවන අතර, දරුවන් බියපත්කර නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් ව්‍යාජ පාපොච්ඡාරණ ලබාගැනීමට තැත්කිරීම අධිකරණය ඉදිරියේ විභාගවන තවත් චෝදනාවකි.

පොලිසිය විසින් අඟුලානේ දී ත්‍රී රෝද රථ රියදුරෙකුට වෙඩි තබා මරා දමා තිබිණ. පොලිසිය පැවසුවේ, නිරායුධ රියදුරා තමන්ට ගල්මුල් වලින් දමා ගැසූ අවස්ථාවේ ඔහුට වෙඩි තැබූ බවය.

"ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට සහ ජාතිවාදයට එරෙහිව" පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජූනි 09 වන දා සංවිධානය කරන ලද උද්ඝෝෂණයට පොලිසිය එල්ල කළ ප්‍රහාරය ද දැඩි විවේචනයට ලක්විය.

රැඳවියන්ට වධ බන්ධන පමුණුවන බවට ද පොලිසියට බොහෝ චෝදනා එල්ල වී තිබේ

මෑතක සිට ශ්‍රී ලංකාවේ පොලිසියට මෙතරම් චෝදනා එල්ල වන්නේ ඇයි? පොලිසියට මොකද වුණේ?

Rangajeewaමාධ්‍යවේදී අකිල ජයවර්ධනට හිරිහැර

කොළඹ මහාධිකරණ පරිශ්‍රයේ දී පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව තමන්ට අමානුෂික ආකාරයෙන් සැලකූ බවට චෝදනා කරමින් මව්බිම පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම සිදුවීමේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වී තිබිණ.

පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දිගු කලක් සේවය කළ නිලධාරියෙකි.

මාධ්‍ය හමුවේ විවිධ ප්‍රකාශ කිරීමෙන් වලකින මෙන් වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන ඔහුට අධිකරණය විසින් අවවාද කරනු ලැබ තිබේ.

මාධ්‍යවේදියාට හිරිහැර කිරීම සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන මෙන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ලිපියක් යොමු කළ අතර, මාධ්‍යවේදියාට හිරිහැර කිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධානවල හෙලා දැකීමට ලක්විය.

 

පොලිස් පහර කෑමට ලක් වූ තරික් අහමඩ් දරුවා

පොලිස් පහර කෑමට ලක් වූ තරික් අහමඩ් දරුවාපොලිස් පහර කෑමට ලක් වූ තරික් අහමඩ් දරුවා

නඩු විභාගයක් වාර්තා කිරීම සඳහා කොළඹ මහාධිකරණ පරිශ්‍රය තුළ ඡායාරූප ගනිමින් සිටි අවස්ථාවේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් බලහත්කාරයෙන් අධිකරණ පොලිස් මුරපොළ වෙතට ඇදගෙන යන ලදුව එහිදී පහර දීමට තැත් කළ බවට මාධ්‍යවේදී අකිල ජයවර්ධන මහාධිකරණ පොලිස් මුරපොල වෙත කළ පැමිණිල්ලේ දැක්වේ.

ඒ අවස්ථාවේ ඔහු තමන් සතු කැමරා චිප් දෙකක් ගලවාගත් බවද මාධ්‍යවේදියා පවසයි.

ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිස් ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේ, අදාළ පැමිණිල්ල පොලිස්පතිවරයා විසින් කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වෙත යොමුකරන ලද බවය.

ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවයාගේ නියෝගය ප්‍රකාර කොළඹ පොලිස් අධිකාරී 1 විසින් දැනටමත් පැමිණිලිකරුගේ සහ විත්තිකරුගේ සාක්ෂි සටහන් කරගනු ලැබ ඇති බවත් පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසන පරිදි, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව

  # දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදු කර තිබෙන්නේ ද

    # පොලිස් නිලධාරියෙකු ලෙසින් ඔහු විනය විරෝධී කටයුත්තක නිරත වූයේ ද


යන කරුණු දෙක කෙරෙහි විමර්ශනයේ මූලික අවධානය යොමු වේ.

 

'මාධ්‍යවේදියාගේ පෙනුම සැක සහිතයි'

සිද්ධියට පසු දින මාධ්‍ය අමතා අදහස් දැක්වූ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, සිදුවීම ගැන සමාව ඉල්ලා සිටියේය. තමන්ට බොහෝ ජීවිත තර්ජන තිබෙන අතර මාධ්‍යවේදී අකිල ජයවර්ධන ගේ පෙනුම ඒ අවස්ථාවේ "මට ටිකක් සැක සහිත" වී යැයි ද පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව පැවසීය.

Post 1

2017 මැයි මාසයේ පොලිස් කණ්ඩායමකට එල්ල වූ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙක් මියගිය අතර, පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බරපතල තුවාල ලැබූහ.

අදාළ මාධ්‍යවේදියා තමන් භාරයට ගනු ලැබුවේ එසේ සිය ජීවිතයට තිබෙන තර්ජන හේතුවෙන් යයි පොලිස් පරීක්ෂක රංගජීව පවසා තිබෙන බවද පොලිස් ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේය. විමර්ශනයෙන් අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් අදාළ පියවර ගනු ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න වැඩිදුරටත් පැවසීය.

වැලිකඩ සිරකරු ඝාතන සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක රංගජීවට මෙතෙක් අධි චෝදනා පත්‍ර භාර දී නොමැති බැවින් විනය විරෝධී චෝදනා යටතේ කලක් වැඩ තහනමට ලක්ව සිටි ඔහු යළි සේවයේ පිහිටුවනු ලැබුවේ නිසි ක්‍රමවේදයට අනුකූලව බවත් පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

පිළියන්දල ප්‍රහාරය:

මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න කියා සිටියේ, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු පොලිස් කණ්ඩායමක් පිළියන්දල දී ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් ද පූර්ණ විමර්ශනයක් පැවැත්විය යුතු බවය.

"ඒ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙක් ඉන්දියාවට පැනල ගියේ කාගේ ආධාරයෙන් ද?," විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රශ්න කළේය.

ඕනෑම නිලධාරියෙකු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන උපරිම කාලය වසරකට සීමා කළ යුතු බව ද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න පැවසීය.

එයට ප්‍රතිචාර දක්වමින්, පොලිස් ප්‍රකාශකවරයා පැවසුවේ පිළියන්දල වෙඩි ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවල වර්තමාන තත්ත්වය තමන් නොදන්නා නමුත්, කිසියම් නිලධාරියෙකු එක් කාර්යාංශයක සේවය කළ යුතු ද, නැද්ද යන්න දක්ෂතාව මත පොලිස් බලධාරීන් විසින් තීරණය කරනු ලබන්නක් බවය.

"undercover ඔපරේෂන් කරන කොට පාවිච්චි කරන විවිධ ක්‍රම තිබෙනවා. සමහර වෙලාවට පළපුරුදු නිලධාරීන් දිගටම සේවයේ යොදවා ගන්න සිද්ධවෙනවා. චෝදනාවක් ආපු ගමන් අයින් කරනවා කියන එක සාධාරණ නැහැ," ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසීය.

"කොහොම වුණත් දැන් රංගජීව නාකොටික් එකේ නැහැ. වැරදි තියෙනව නම් ඕනෑම කෙනෙක් අයින් කරනවා."

පොලිස් හිංසනය සහ වධ හිංසා පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවධ වාර්තා පළ වී තිබිණි.

Post 2

Post 3

සමස්ත පොලිස් ක්ෂේත්‍රයේ මතු වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව කරුණු විමසීම පිණිස ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිපවරක්ම උත්සහ දරා තිබු නමුත් ඔහු දුරකතනයට පිළිතුරු ලබාදී නැත.

(සරෝජ් පතිරණ - BBC සිංහල )

සබැඳි පුවත් :

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගේ "වත්කම් පරීක්ෂා කරන්න" - හිටපු රහස් පරීක්ෂකවරයෙක් කියයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්