මහින්ද රාජපක්ෂ, නිදහස් ශ්‍රී ලංකාවේ 14 වන අගමැතිවරයා ලෙසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.
1970 දී බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් ලාබාලම මන්ත්‍රීවරයා වශයෙන් මුලින්ම පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්ෂ, නව වන පාර්ලිමේන්තුවේ අභිනව අගමැති ලෙස දිවුරුම් දුන්නේ අද (අගෝ. 09) උදෑසන 9:32 ට යෙදුනු සුභ මොහොතින් මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේය.
එය ඔහු අගමැති පදවියේ සිව් වන වරට දිවුරුම් දුන් අවස්ථාවය.
ජනතාවට ආචාර කරන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා
ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මුලින්ම 2004 දී ඔහු අගමැති පදවියට පත්කරන ලද අතර, ඉන් අනතුරුව 2018 ඔක්තෝබර් 28 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහු යළිත් අගමැති පදවියට පත්කෙරිණ.
එහෙත් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව දින 52 කට පසු මහින්ද රාජපක්ෂ පදවියෙන් ඉල්ලා අස්විය.
පසුගිය ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව 2019 නොවැම්බර් 21 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය වැඩිමහල් සොයුරා තුන්වෙනි වතාවට අගමැති පදවියට පත් කළේය.
ඉතිහාසයේ වැඩිම මනාප:
දිවුරුම් දීමෙන් අනතුරුව විහාර මන්දිරයේ පැවැති ආගමික වතාවත් වලට සහභාගී වීමෙන් පසුව රැස්ව සිටි ජනතාවට ආචාර කළ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා උත්සව සභාවෙන් පිටත් වූහ.
පසුගියදා තම දේශපාලන ගමනේ 50 වන වසර සැමරූ මහින්ද රාජපක්ෂ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරමින් වැඩිම මනාප සංඛ්‍යාවක් එනම් පන් ලක්ෂ විසිහත් දහස් තුන්සිය හැට හතරක් ලබාගත්තේ මහ මැතිවරණ ඉතිහාසයේ නව වාර්තාවක් තබමිනි.
තිස් වසරක සිවිල් යුද්ධය නිමා කළ මහින්ද මෙවර මැතිවරණයෙන් තුනෙන් දෙකකට ආසන්න මන්ත්‍රී සංඛ්‍යාවක් ලබාගෙන විශිෂ්ඨ ජයක් අත්කරගත්තේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවා පැවැත්වූ තුන්වන මැතිවරණයද ඉතාමත් ඉහළින් ජයගනිමින් වීම විශේෂත්වයකි.
යුද ජයග්‍රහණයෙන් යෙන් පසුව රට සංවර්ධනය කරා ගෙනයැමේ අභියෝගය අතට ගත් මහින්ද රාජපක්ෂ මුහුණ දුන් ප්‍රධානම අභියෝගය වූයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සදහා මුදල් සොයාගැනීමයි. ඒ සඳහා චීනයේ සහය ඇතිව සංවර්ධන සංග්‍රාමයක් දියත් කළ ඔහුගේ ආණ්ඩුවට දූෂණ හා චීනයට නතුවීම යන චෝදනා එල්ලවිය.
ඒ චෝදනා හමුවේ 2015 පැවැති ජනාධිපතිවරණයෙන් ඔහු පරාජයට පත්වූයේ බලයේ සිටියදී පරාජය වූ ප්‍රථම ජනාධිපතිවරයා ලෙසිනි.
අගමැතිවරයාගේ නව කැබිනට් මණ්ඩලය අගෝස්තු 12 වන බදාදා මහනුවර දී දිවුරුම් දීමට නියමිතය.
(BBC සිංහල සේවය)






