ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යනු කවුදැයි ජනතාව දැන් හොඳින්ම හඳුනති. ඔහු කියූ දේවලුත් කරන දේවලුත් අතර ඇති පරස්පරය එම හඳුනාගැනීමට හොඳටම ප්‍රමාණවත්ය.

දිනෙන් දින සිදුවීම් සිදුවන්නේද ඔහුව හඳුනාගන්නට ජනතාවට ඉඩකඩ සලසමින්ය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නොයන ලෙස රාජ්‍ය සේවකයන්ට තර්ජනය කරමින් කැබිනට් මණ්ඩලය පවා නොපවත්වා ජනාධිපතිවරයා පෙන්වා ඇති විරෝධය ඒ සඳහා ඇති ආසන්නතම උදාහරණය ය.

එළැඹෙන සතියේදී ජනාධිපතිවරයා හඳුනාගැනීමට ජනතාවට කරුණු ලබා දෙන තවත් සිදුවීමක් සිදුවීමට නියමිතය. ඒ මීළඟ යුධහමුදාපතිධූරය සම්බන්ධයෙන්ය. වත්මන් යුධහමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායකට ලබා දී ඇති සේවා දිගුව අවසන් වන්නේ අගෝස්තු 18 දාය. ජනාධිපතිවරයා තවත් සේවා දිගුවක් නොදුනහොත් යුධ හමුදාපතිවරයා එදිනට විශ්‍රාම යා යුතුය.

 

උසස්වීම නොලැබුණහොත් ශවේන්ද්‍ර ජුනි 21 දා ගෙදර !

ප්‍රශ්නය පැන නැගී ඇත්තේ ඊලඟ උසස්වීම හෙවත් හමුදාපතිධූරය නොලබා වයස අවුරුදු 55 පිරීම නිමිත්තෙන් දැනට යුධ හමුදාවේ දෙවැනියා හෙවත් මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ජූනි 21 වෙනිදා විශ්‍රාම ගැනීමට නියමිත හෙයිනි.

අපරාධකරුවන් රණවිරුවන් ලෙස බෞතිස්ම කරමින් ඔවුන්ට දණ්ඩමුක්තිය ඉල්ලා සිටින 'දිවයින' පුවත්පත සුපුරුදු පරිදි යුධ හමුදාපති සීතල සටන ගැන ලිපියක් පල කර ඇත. මේජර් ජෙනරල් ශවේද්‍ර සිල්වා විශ්‍රාම යෑමට පෙර යුධ හමුදාපතිධූරය දෙන්නැයි වක්‍රාකාරව එයින් ඉල්ලා තිබේ.

දැන් ඇති, ඔබ ගෙදර යන්නැයි යුධ හමුදාපති මහේෂ් සේනානායකට හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විජේගුණරත්නට කියන්නට බයකමක්ද, ඒ තුළ දිස්වේ. 'දිවයින' කියන්නේ ශවේන්ද්‍ර සිල්වාට යුධ හමුදාපතිකම දී, මහේෂ් සේනානායක ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්කර, රවීන්ද්‍ර විජේගුණරත්නට තානාපතිකමක් වැනි තනතුරක් ලබා දී ඔවුන් සිතන ආකාරයට යුධ හමුදාපතිධූරය සඳහා විසඳුමක් දිය හැකි බවය.

අවසන් යුද්ධයේ පෙරමුණේ සිටි නායකයන් අතර දැන් ඉතිරි වී සිටින්නේ ශවේන්ද්‍ර සිල්වා බවත්, විශ්‍රාම ගිය යුධ පෙරමුණේ නායකයන්ට පසුගිය කාලයේදී නෙැසැලකූ බවත්, යුධ හමුදාවේ දෙවන ප්‍රමුඛ ධූරය හෙවත් මාණ්ඩලික ප්‍රධානී ධූරය හෝ ලැබුනේ මේජර් ජෙනරල් ජගත් ඩයස්ට පමණක් බවත්ය.

එහෙත් එම 'දිවයින' ලිපියේ විශ්‍රාම ගිය ජගත් ඩයස්, කමල් ගුණරත්න, චාගි ගාල්ලගේ ආදී මේජර් ජෙනරල්වරුන්ගේ ඡායාරූප යටින් දමා ඇති තනතුරු නම් වැරදිය. මේ අයව දිවයින ලිපිය නම්කර ඇත්තේ ජෙනරල්වරුන් වශයෙන්ය. ශ්‍රී ලංකාවේ වත්මන් යුධ හමුදාධූරාවලිය අනුව ජෙනරල් ධූරයක් ලැබෙන්නේ යුධ හමුදාපතිධූරයෙන් විශ්‍රාම ලබා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්වීමත් සමගය.

යුධ හමුදාපතිවරයා යනු ජෙනරල් ධූරයට යටින් ඇති ලුතිනන් ජෙනරල් තනතුරය. ඒ අනුව යුධ හමුදාපතිධූරය නොලබා විශ්‍රාම ගිය එම පිරිස මේජර් ජෙනරල්වරු මිස ජෙනරල්වරුන් නොවේ.

 

දම්පත් ප්‍රනාන්දුට කළ ආකාරයෙන්ම..

ඉහත සඳහන් කළ දිවයින ලිපියෙන් යෝජනා කළ ආකාරයට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ඊලඟ හමුදාපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාය. එසේ නොවුනහොත් ඔහුට ජූනි 21 වැනිදා ගෙදර යන්නට සිදුවන්නේය. නැත්නම් යුධ හමුදාවේ මීට පෙර දෙවන ප්‍රමුඛ ධූරය හෙබවූ මේජර් ජෙනරල් දම්පත් ප්‍රනාන්දුට කළ ආකාරයෙන්ම ශවේන්ද්‍ර සිල්වාට සේවා දිගුවක් ලබාදීමේ හැකියාව ජනාධිපතිවරයාට ඇත.

එසේ සේවා දිගුවක් ලැබුණත් යුධ හමුදාපති ධූරය ශවේන්ද්‍ර සිල්වාට ලබාදේද යන්න කිව නොහැකිය. මන්ද දම්පත් ප්‍රනාන්දුටත් සේවා දිගුව ලබාදී තිබියදීත් යුධ හමුදාපතිධූරය ලබා නොදුන් නිසාය. සමහර විට මහේෂ් සේනානායකටම තව සේවා දිගුවක් ලබාදිය හැක.

එසේ වුවහොත් යුධ හමුදාපති සටනේ ඊලඟ සුදුස්සාව සිටින මේජර් ජෙනරල් සත්‍යප්‍රිය ලියනගේටද ගෙදර යන්නට සිදුවන්නේය. සත්‍යප්‍රිය ලියනගේට ‌වයස අවුරුදු 55 සැපිරෙන්නේ නොවැම්බර් 14 වැනිදා හෙයින්ය. සමහර විට ඔහුටද ඉන්පසු සේවා දිගුවක් ලබා දිය හැකිය. ජනාධිපතිවරයා කරන කියන දේ පෙර අනුමාන කළ නොහැකි හෙයිනි.

මහේෂ් සේනානායකට පෙර යුධ හමුදාපතිධූරයේ සිට ක්‍රිෂාන්ත ද සිල්වාට ජනාධිපතිවරයා සේවා දිගු තුනක්ම ලබා දුන්නේය. ඊට බලපා තිබුනේ ජනාධිපති පුත් දහම් සිරිසේනත් ක්‍රිෂාන්ත ද සිල්වාගේ පුතාත් අතර තිබූ කොළඹ රාජකීය විදුහල් මිත්‍රත්වයය. දරුවන්ට සැලකීම හොඳ පියෙකුගේ ලක්ෂණයක් බව ජනාධිපතිවරයා එහිදී පෙන්නුවේය.

 

ප්‍රාදේශීයවාදයට බිළිවූ ට්‍රැවිස් සින්නයියා:

එහෙත් ජනාධිවරයා නාවික හමුදාපතිධූරයට පත් ට්‍රැවිස් සින්නයියාට නම් මාස තුනෙන් ගෙදර යන්නට සැලැස්වූයේ ඊලඟ සුදුස්සාට ඉඩ සැලැස්වීම තමන්ගේ ප්‍රතිපත්තියක් බව ප්‍රකාශ කරමින්ය. උතුරුමැද පළාතින් බිහිවන පළමු නාවික හමුදාපතිවරයා ලෙස සඳහන් කරමින් සිරිමෙවන් රණසිංහව පත්කළේය. ඒ ජනාධිපතිවරයා‌ගේ ප්‍රාදේශීයවාදය ප්‍රදර්ශනය කරමින්ය.

කොහොම වුවත් එම සිදුවීමෙන් අඩුම කාලයක් තනතුර දැරූ නාවික හමුදාපතිවරයා ලෙස වාර්තා තබන්නට ට්‍රැවිස් සින්නයියාට හැකිවිය. එහිදී නාවික හමුදාපතිට හිමි නිල නිවෙස නොලැබූ නාවික හමුදාපතිවරයා බවට ද ට්‍රැවිස් සින්නයියා පත්විය. පෙර නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න නිල නිවෙස ලබා නොදී එහි අරක්ගෙන සිටියේය. අමතරව නාවික හමුදා මූලස්ථානයේ නිවස්නයක්ද විජේගුණරත්න අරක්ගෙන සිටියේය.

රණවිරුවකු අපරාධකරුවකු නොවන බවත් අපරාධකරුවකු රණවිරුවකු නොවන බවත් නාවික හමුදාපතිධූරයේ වැඩ භාරගනිමින් කීවේ ට්‍රැවිස් සින්නයියාය. ඔහුව අනුගමනය කරමින් යුධ හමුදාපතිධූරයේ වැඩ භාරගනිමින් මහේෂ් සේනානායකද එම දෙබස් පුනරුච්චාරණය කළේය.

 

මහේෂ : ජනාධිපතිවරයාගේ ලය අනුව වෙනස් වෙමින්....

ඔහු ජනාධිපතිවරයාගේ ලය අනුව පසුව වෙනස් වෙමින් හමුදා අපරාධකරුවන්ට අදාල සාක්ෂි අධිකරණයට ලබා නොදෙමින් කටයුතු කරන පිළිවෙතකට මාරුවෙමින් සේවා දිගු ලබාගත්තේය. එහෙයින් ඔහුට ට්‍රැවිස් සින්නයියාගේ ඉරණම අත්වූයේ නැත.

එහෙත් ට්‍රැවිස් සින්නයියා තරුණයන් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු කප්පම් ලබා ගැනීම සඳහා පැහැගෙන ගොස් මරා දැමීමේ පරීක්ෂණය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් කටඋත්තරයක් ලබා දුන්නේය.

මහේෂ් සේනානායක අධිකරණ නියෝග තුට්ටුවකට නොතකමින් ජනාධිපතිවරයා‌ගේ නියෝග අනුව හමුදා අපරාධකරුවන් පිළිබඳ යුධ හමුදාව සතු තොරතුරු නොදෙමින් කටයුතු කරයි. සේවා දිගු ලැබීමේ හා නොලැබීම සිදුවන්නේ ජනාධිපතිවරයාගේ ලය හඳුනාගෙන කටයුතු කිරීමේ සමත්කම මත බව ඉන් පැහැදිළිය.

අධිකාරී ලත් සියලු නිලධාරීන් හෙවත් තරු නිලධාරීන්ගේ විශ්‍රාම යෑම අනුමත කරගත යුත්තේ ජනාධිපතිවරයාගෙන්ය. ඒ ඔහු සේනාධිනායකයා වන නිසාය. අධිකාරී නිලයන්ට පත්කිරීම් කරන්නේ ද, උසස්වීම් ලබාදෙන්නේද ජනාධිපතිවරයාය.

පසුගිය කාලයේ අපරාධ සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත වූ හමුදා සාමාජිකයන්ව වැඩ තහනමට ලක් කළේත්, වැඩ තහනමට ලක්කළ අය චෝදනාවෙන් නිදහස් වීමට පෙර නැවත සක්‍රීය සේවයට ගත්තේත් ජනාධිපතිවරයා විසින්ය.

 

විශ්‍රාම යන නිලධාරීන්ගේ ලිපිගොනු:

සාමාන්‍ය ක්‍රමවේදය අනුව විශ්‍රාමයට මාස දෙකකට පෙර විශ්‍රාම යන නිලධාරීන්ගේ ලිපිගොනු අනුමැතිය සඳහා ජනාධිපතිවරයාට යැවිය යුතුය. ඒ අනුව තවත් මාස දෙකකට පසු විශ්‍රාම යන නිලධාරීන්ගේ ලිපිගොනු ජනාධිපතිවරයාට යුධ හමුදාපතිවරයා විසින් යවා තිබිය යුතුය. ඒ අතර ශවේන්ද්‍ර සිල්වාගේ ලිපි ගොනුව ඇත්ද නැද්ද යන්න අපි නොදනිමු.

එහෙත් මීලඟ හමුදාපතිධූර සීතල සටනේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාත්, මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේත් සිටින බව අපි දනිමු.

සත්‍යප්‍රිය ලියනගේට සහය දෙන්නට ඔහුගේ සොහොයුරා වන විශ්‍රාමික මේජර් ජෙනරාල් ධම්මික ලියනගේ සිටී. ඔහු ජනාධිපතිවරයා ලඟින්ම සිටින ජනාධිපතිවරයාගේ ව්‍යාපෘතියක ප්‍රධානියෙකි.

එහෙත් ශවේන්ද්‍ර සිල්වාද එසේ මෙසේ නැත. පසුගිය කාලයේ පොළොන්නරුවට නෑකම් කියා ප්‍රාදේශීයවාදය ඔස්සේ දැන් ජනාධිපති දියනි චතුරිකා සිරිසේන සමග සම්බන්ධතා ගොඩ නගාගෙන තිබේ.

යුධ හමුදාපතිධූරය සම්බන්ධයෙන් දැන් ජනාධිපතිවරයාට ඉතිරිවී ඇති තීරණය වන්නේ සිය නිලධාරියා වෙනුවෙන් සැලකීම හෝ සිය දියණිය වෙනුවෙන් සැලකීම පමණය. මින් ජනාධිපතිවරයා කරන්නේ කුමක්දැයි අපි බලා සිටිමු.

(ලසන්ත රුහුණගේ- අනිද්දා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්