කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නිගමනයකට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (30) තීන්දු කළේය.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ තීන්දුව
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර ඇති නිගමනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබිණි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, විනිසුරු චමත් මොරායස් සහ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම සලකා බැලීම සිදුවිය.
අදාළ පෙත්සම විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව නිරීක්ෂණය කළ විනිසුරු මඩුල්ල, එය ආරම්භක අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේය.
පෙත්සමට අදාළ පසුබිම
මෙම නඩු කටයුත්තට පාදක වී ඇත්තේ රූපවාහිනී සාකච්ඡාවකදී පළවූ අදහස් කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු වූ ක්‍රියාමාර්ගයකි.
එම අධිකරණමය ක්‍රියාමාර්ගය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පාර්ශ්වයෙන් මෙම රිට් ආඥා අයදුම්පත ඉදිරිපත් කර තිබුණි.
පෙත්සම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම නීතිඥවරුන් දැක්වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසු නියෝගය ප්‍රකාශයට පත් කිරීම අද දිනට නියමිතව තිබිණි.







