කෘත්‍රීම බුද්ධිය හමුවේ දේශීය මානවශාස්ත්‍ර විෂය ක්ෂේත්‍රය මුහුණ දෙන බුද්ධිමය අභියෝග සහ අනාගත දිශානතිය පිළිබඳ මහාචාර්ය සසංක පෙරේරා කළ විචාරාත්මක විශ්ලේෂණය.
කැලණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර පීඨයේ ‘සම්භාෂණ’ දේශන මාලාවේ කොටසක් ලෙස ඊයේ (29) මහාචාර්ය සසංක පෙරේරා විසින් දේශනයක් කරන ලදී. ඒ, කෘත්‍රීම බුද්ධිය අභිමුඛව සමාජයීය විද්‍යා සහ මානවශාස්ත්‍රවල අනාගතය පිළිබඳව ය.
මතු පළ වන්නේ එම දේශනයේ සම්පූර්ණ වියමන යි.
කෘත්‍රීම බුද්ධිය, සමාජයීය විද්‍යාවන් සහ මානවශාස්ත්‍ර පිළිබඳ සංවාදයක් අරඹන විට, එම සංවාදය බොහෝ විට තාක්ෂණික-අනාගතවාදයේ නිශේධනීය ආදීනව (techno-futurism) පිළිබඳ බියකින් හෝ අන්තර්ජාලය ඔස්සේ නොයෙක් දෙනා අනේකවිධ වංචනික ක්‍රියාවල නිරතවීම පිළිබඳ බියකින් හෝ යටපත් වීමේ ප්‍රවණතාවක් පවතී. මේවා පැහැදිලිවම අප දැනටත් යම් දුරකට අත්විඳින හා ඉදිරියේදීත් අත්විඳින්නට සිදු විය හැකි ප්‍රවණතා වේ.
කෙසේ වෙතත්, සමාජය, සංස්කෘතිය, ඉතිහාසය සහ භාෂා අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රඥයින් ලෙස අපගේ මූලික වගකීම වන්නේ මෙම තාක්ෂණය දෙස බලා හුදෙක් විමතියට පත්වීම, එය පාලනය කිරීමට උත්සාහ කිරීම හෝ එයට බිය වීම පමණක් නොවේ. ඒ වෙනුවට, ඒ සියලු විය හැකියා සැලකිල්ලට ගන්නා අතර ම, අප ගේ ප්‍රමුඛතම වගකීම වන්නේ එය තියුණු විචාරශීලී විමර්ශනයකට ලක් කිරීම සහ ඉන් පසු මැනැවින් පැහැදිලි කර ගත් ගැටළුවලට මුහුණ දීමට මාර්ග සොයා ගැනීම ය.
දේශීය බුද්ධිමය ක්ෂේත්‍රයේ දුර්වලතා තුන
අද දින, මගේ උත්සාහය ‘කෘත්‍රීම බුද්ධියෙහි දිශානතිය: සමාජයීය විද්‍යාවන්ගේ සහ මානවශාස්ත්‍රවල අනාගතය’ යන පුළුල් තේමාව ඔස්සේ සරල කරුණු සමුච්චයක් ඔබ ඉදිරියේ තැබීම ය. එය ප්‍රයෝජනවත් යයි ඔබ සිතන්නේ නම්, ඒ ඔස්සේ වැඩිදුර සිතාබලා ක්‍රියාකිරීම ඔබට අයත් කටයුත්තකි.
කෙසේ වෙතත්, අපගේ විෂය ක්ෂේත්‍රවලට බලපෑම් කරන වර්තමාන තත්ත්ව මනා ලෙස සලකා බලන්නේ නැතිව, කෘත්‍රීම බුද්ධිය හමුවේ එම විෂයයන්හි අනාගතය පිළිබඳව කතා කළ නොහැක.
‘ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යා සහ මානවශාස්ත්‍ර පිළිබඳ කෙටි විචාරපූර්වක ඇගයීමක්’
කෘත්‍රීම බුද්ධිය මඟින් ශ්‍රී ලාංකේය මානවශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යාවන්ට සිදුවන බලපෑම තේරුම් ගැනීමට නම්, ප්‍රථමයෙන් අප දේශීය බුද්ධිමය ක්ෂේත්‍රයේ ස්වභාවය තේරුම් ගත යුතු ය. අවාසනාවකට මෙන්, අපගේ රට තුළ මේ සම්බන්ධයෙන් පවතින්නේ ඉතා අල්ප විචාරපූර්වක කථිකාවකි. මෙම සාපේක්ෂ අඩුව පැවතුණ ද, ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යා සහ මානවශාස්ත්‍රවල තත්ත්වය පිළිබඳව මවිසින් කාලයක් මුළුල්ලේ අඛණ්ඩව ඉදිරිපත් කර ඇති ආවර්ජන වෙත මම කෙටියෙන් යොමු වෙමි.
පොදුවේ ගත් කල, මගේ විශ්වාසය වන්නේ, දේශීය සමාජයීය විද්‍යා සහ මානවශාස්ත්‍ර පිළිබඳ බුද්ධිමය ක්ෂේත්‍රය අවම වශයෙන් එකිනෙක හා බැඳුණු දුර්වලතා තුනකින් පෙළෙන බවයි.
පටු අනුභූතිවාදය සහ භාෂාමය හුදකලාව
1- මින් පළමුවැන්න නම් පටු අනුභූතිවාදය යි (Parochial Empiricism). එනම්, දේශීය මානවශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා බොහෝ විට ක්‍රියාත්මක වන්නේ සංස්කෘතික හා සමාජ තොරතුරු පිළිබඳ විස්තර ගබඩා ලෙසය. අප පුළුල් න්‍යායකරණයට උනන්දුවක් නොදක්වා බොහෝ විට සිදුකරන්නේ, හුදෙක් තොරතුරු රැස් කිරීම, ජනශ්‍රැති වර්ගීකරණය කිරීම වැනි කටයුතු ය. මෙවැනි තත්ත්වයක් තුළ, ශාස්ත්‍රීය කාර්යය බොහෝ විට විචාරපූර්වක විමර්ශනයකට වඩා හුදෙක් දේශීය යැයි සිතන දේ සැමරීමේ හා එවන් තොරතුරු හුදු විස්තර වශයෙන් පමණක් එක් රැස් කිරීමේ අභ්‍යාසයක් බවට පත්වේ.
2- දෙවන ගැටලුව ලෙස මා දකින්නේ, ‘පරිවර්තන පරතරය’ සහ දේශීය භාෂාමය හුදකලාව (translation gap and vernacular isolation) යන කරුණයි. එනම්, ගෝලීය දකුණේ ප්‍රභල බුද්ධිමය අවකාශවල සහ ගෝලීය උතුරේ එවැනි ම අවකාශවල ගොඩනැගෙන සමකාලීන සෛද්ධාන්තික හා න්‍යායික අදහස් සිංහල සහ දෙමළ අධ්‍යයන කථිකාව වෙත අඛණ්ඩ හා විචාරශීලී ලෙස ගලා එන්නේ කලාතුරකිනි. දේශීය භාෂාවලින් කටයුතු කරන අධ්‍යයන ක්ෂේත්‍ර ගෝලීය සංවාදවලින් බොහෝ දුරට හුදකලා වී සිටී. එලෙසම, අපගේ විෂයයන් ආශ්‍රයෙන් සිදුවන දේශීය ශාස්ත්‍රාලයීය රචනා මගින් පොදුවේ ගෝලීය හෝ කලාපීය විද්වත් ක්ෂේත්‍රවලට හෝ, විශේෂයෙන් න්‍යාය හෝ සංකල්ප ප්‍රවර්ධනය උදෙසා හෝ බරපතළ දායකත්වයක් නොදැක්වේ.
උපයෝගිතා උගුල සහ න්‍යායික අර්බුදය
මා මිත්‍ර රෙනී තෝමස් සහ මා මේ වසරේ සංස්කරණය කළ Decolonial Keywords: South Asian Thoughts and Attitudes (2026) නම් කෘතියෙන් උත්සාහ ගත්තේ දකුණු ආසියානු භාෂාවල සහ එම කලාපයේ බුද්ධිමය සංසරණයේ ඇති අදහස්, වචන, සංකල්ප කලාපයෙන් ඔබ්බෙහි ක්‍රියාත්මක වන වඩාත් පුළුල් සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර භාවිතයට ගෙනයා හැකි ද යන ප්‍රශ්නය මූලික වශයෙන් මතු කිරීම සහ එය කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ මූලික අදහස් ගොන්නක් තවත් ශාස්ත්‍රඥයින් තිස් දෙනෙකුගේ පමණ දායකත්වයෙන් ඉදිරිපත් කිරීම ය.
3- තෙවැනි ගැටලුව ලෙස මා දකින්නේ, ‘උපයෝගිතා උගුල’ (utility trap) යන ප්‍රශ්නයයි. නව-ලිබරල් විශ්වවිද්‍යාල ප්‍රතිසංස්කරණ මඟින් සමාජයීය විද්‍යා සහ මානවශාස්ත්‍ර අධ්‍යයනාංශවලට ඒවායේ ක්ෂණික වෘත්තීය ‘වෙළඳපොළ උපයෝගිතාව’ ඔප්පුකරන ලෙස බල කෙරේ.
උදාහරණ වශයෙන්, මානවශාස්ත්‍ර සමස්ථයක් වශයෙන් සංචාරක ව්‍යාපාරයට හෝ වෘත්තීය ඉංග්‍රීසි භාෂාවට හෝ පමණක් සීමා කිරීම වැනි අදහස් අපට නිරතුරුවම ඇසේ. මෙය යම් දුරකට අප අවධානය යොමුකළ යුතු ප්‍රශ්නයකි. නමුත් අපගේ සම්පූර්ණ අවධානය අපගේ විෂයන්ගේ උපයෝගීතාව වෙත පමණක් යොමු වන්නේ නම්, එමඟින් විචාර පූර්වක සමාජ ගවේෂණයට ඇති හැකියාව ක්ෂය වී යනවා මෙන්ම අපගේ විෂයන් ගැඹුරු ලෙසින් වෘත්තීයමය අවශ්‍යතා සමග ගලපාගැනීම ද සිදු නොවේ.
උසස් අධ්‍යාපනය සහ ඥානවිභාගාත්මක ඛණ්ඩනය
‘උසස් අධ්‍යාපනය තුළ කෘත්‍රීම බුද්ධියෙහි ගෝලීය ආගමනය’
අපගේ විෂය ක්ෂේත්‍ර වෙත කෘත්‍රීම බුද්ධියෙහි ආගමනය සහ එමගින් අපගේ විෂයයන් කෙරෙහි කර ඇති බලපෑම පිළිබඳව අප සාකච්ඡා කළ යුත්තේ මා ඉහත දක්වන ලද පුළුල් සන්දර්භය තුළ සිටයි.

දැන්, අප සියලු දෙනා මැනැවින් දන්නා, එනමුත් පුළුල් වශයෙන් සාකච්ඡා නොකරන, මෙම දේශීය ව්‍යුහාත්මක අර්බුදය ගෝලීය වශයෙන් පැතිර යන කෘත්‍රීම බුද්ධිය හා සමීපව බැඳී ඇති තාක්ෂණික ව්‍යාප්තිය සමග සම්බන්ධ වන්නේ කෙසේ දැයි බලමු. එනම් මූලික වශයෙන්, උත්පාදක කෘත්‍රීම බුද්ධිය (Generative AI) සහ විශාල භාෂා ආකෘතිවල (LLMs/Large Language Models) ආගමනයයි.
ගෝලීය වශයෙන්, කෘත්‍රීම බුද්ධිය නියෝජනය කරන්නේ හුදෙක් තාක්ෂණික යාවත්කාලීන කිරීමක් නොව, ඥානවිභාගාත්මක ඛන්ඩනයකි (epistemic break / shift). එමගින් කර ඇත්තේ, අප බොහෝ කාලයක් මුළුල්ලේ දැන සිටි දැනුම් නිෂ්පාදන යාන්ත්‍රණය මුළුමනින්ම පාහේ පරිවර්තනය කිරීම යි. ඉතාමත් සරලව, මෙය අවම වශයෙන් නිශ්චිත ආකාර දෙකකින් සිදුවන බව අපට පැහැදිලි විය යුතු ය.
තොරතුරු ලබා ගැනීමේ සම්ප්‍රදාය බිඳවැටීම
1- බැලූ බැල්මට අපට පැහැදිලිව පෙනෙන එක් ප්‍රතිවිපාකයක් වන්නේ, මෙතෙක් මූලික වශයෙන් ක්‍රියාත්මක වූ, එක්රැස් කර ඇති පර්යේෂණ තොරතුරු නැවත ලබා ගැනීමේ ප්‍රධානතම ක්‍රමය බිඳවැටීමයි. සියවස් ගණනාවක් තිස්සේ, මානවශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා පිළිබඳ විශ්වවිද්‍යාල අධ්‍යාපනය මගින් සිදු කළේ සමාජ-සංස්කෘතික තොරතුරු සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම, එම තොරතුරු පොත්පත් හා ලිපි ලේඛන වශයෙන් ගබඩා කිරීම සහ ඒවා අවශ්‍ය විට නැවත ලබා ගැනීම යන දේ ඇගයීමට ලක් කිරීමයි. ක්ෂේත්‍ර පර්යේෂණ සහ මානවවංශ අධ්‍යයන (ethnographies) ප්‍රකාශයට පත් කිරීම හා පර්යේෂණ එකතු (research collections) වැනි දෑ මෙම උත්සාහයන්ට උදාහරණ සපයයි.
නමුත් දැන් සිදුව ඇත්තේ අති විශාල වෙනසකි. උදාහරණයකට, විශාල භාෂා ආකෘති (LLMs) මත පදනම් වූ මෘධුකාංග භාවිතය ඔස්සේ දැන් බටහිර දර්ශනයේ වසර 2,000 ක ඉතිහාසය සංක්ෂිප්ත කිරීමටත්, ඒවා පිළිබඳ සාහිත්‍ය විචාර ලිවීමටත්, ඒවා සංශ්ලේෂණය කිරීමටත්, එකිනෙකට වෙනස් වූ කාල පරිච්චේද පිළිබඳ ඉතිහාස සමාලෝචන ඉදිරිපත් කිරීමටත් ගතවන්නේ තත්පර ගණනක වැනි කෙටි කාලයක් පමණි. මෙම හැකියාව අපගේ කලාපයේ සංස්කෘතික හා සමාජීය ක්ෂේත්‍ර වෙත ද වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
මානව චින්තනය සහ අවබෝධය මැනීමේ අර්බුදය

2- දෙවන කේන්ද්‍රීය ප්‍රතිවිපාකය වන්නේ, මානවයාගේ සිතීමේ හැකියාව බිඳවැටීමේ අර්බුදයක් මතුවීමය. උදාහරණ වශයෙන්, නොමිලේ ලබා ගත හැකි කෘත්‍රිම බුද්ධි ඇල්ගොරිතමයක් ආධාරයෙන් “පොළොන්නරු රාජධානියේ පිරිහීමට හේතු” හෝ “ෆූකෝගේ ජෛව-දේශපාලන සංකල්පය” (biopolitics) හෝ පිළිබඳව පැහැදිලි රචනයක් ලිවිය හැකි නම්, සම්ප්‍රදායිකව අප භාවිත කළ ගෙදර ගෙනගොස් ලියන රචනා හෝ නිබන්ධන වැනි ක්‍රම ඔස්සේ, සිසුන්ගේ (හෝ වඩාත් පුළුල්ව මානවයාගේ) අවබෝධය මැනීමේ හැකියාව අහිමි වේ.
අපට මේ අනාගත තත්ත්වය දැනට ආකාර තුනක් යටතේ හඳුනාගත හැකි ය.
සංජානන හැකියාව සහ සුලලිතභාවයේ මායාව
1- මින් පළමුවැන්න, ඉගැන්වීම සහ ඉගෙනීම යන කරුණුවලට අදාළ ය. එනම්, අපගේ සංජානන (perception) හැකියාව ක්ෂය වීම හෝ අඩුවීමයි. නැතිනම්, වඩාත් සරලව, සිතීමේ හැකියාව දුර්වල වීමයි. ලිවීම යනු හුදෙක් සිතුවිලි නිරූපණය කිරීමේ මෙවලමක් පමණක් නොවේ. ලිවීම යනු සැබැවින් ම සිතීමේ ක්‍රියාවලිය යි.
සිසුන් හෝ ශාස්ත්‍රඥයින් ඔවුන්ගේ ලිවීමේ කර්තව්‍යය මුළුමනින් ම පාහේ කෘත්‍රීම බුද්ධිය වෙත පැවරුවහොත්, තර්කයක් ගොඩනැඟීමට, සාක්ෂි ඇගයීමට සහ අනිශ්චිතතා සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය සංජානන නැතිනම් චින්තන හැකියාව ඔවුන්ට නොලැබී යනු ඇත.
මේ ගැටලුවට ම සම්බන්ධ තවත් කරුණක් වන්නේ, කෘත්‍රිම බුද්ධිය නිසා රචනයේ සුලලිතභාවය පිළිබඳ මායාවක් ඇති වීමයි (illusion of fluency). එනම්, කෘත්‍රීම බුද්ධිය විසින් ව්‍යාකරණමය වශයෙන් නිවැරදි, ඉහළ අධිකාරීත්වයක් හෝ බලයක් පෙන්නුම් කරන බව බැලූ බැල්මට පෙනී යන, නමුත් බොහෝ විට සංකල්පීය වශයෙන් බොල් වූ ශාස්ත්‍රීය යැයි හැඟෙන ගද්‍ය රටා නිෂ්පාදනය කරයි.
අවාසනාව වන්නේ, සිසුන් මෙන්ම ශාස්ත්‍රඥයින් ද මෙම මතුපිට සුලලිතභාවය ගැඹුරු අවබෝධය මූර්තිමත් කරන ලක්ෂණයක් ලෙස වරදවා වටහා ගැනීමයි. එවිට බොහෝ විට සිදුවන්නේ, මේ භාෂා රටාවට හුරු වීම සහ එමගින් තම භාෂා හැකියා මොටවීම මෙන්ම මේ තමාගේ අදහස් නොවන බවත් අමතක වීමයි.
ඇල්ගොරිතමික නව-යටත්විජිතවාදය සහ විකෘති කිරීම්
2- මෙහිදී මතුවෙන දෙවන ගැටලුව පර්යේෂණ සහ ක්‍රමවේද යන ක්ෂේත්‍රයට අදාළය. මේ යටතේ මතුවන එක මූලික ප්‍රශ්නයක් වන්නේ, ඇල්ගොරිතමික නව-යටත්විජිතවාදය (algorithmic neocolonialism) වැනි තත්ත්වයක් මතු වීම ය. අපගේ විෂය ක්ෂේත්‍ර මගින් භාවිතයට ගන්නා කෘත්‍රිම බුද්ධි වැඩසටහන් මූලික වශයෙන් පදනම් වී ඇත්තේ, විශාල භාෂා ආකෘති (LLMs) මත වේ. මේවා ප්‍රධාන වශයෙන් යැපෙන්නේ, ඩිජිටල්කරණය කරන ලද, ඉංග්‍රීසි හෝ අන් බලවත් භාෂා හා ඒ තුළින් ගොඩනැගී ඇති ගෝලීය උතුරේ දත්ත මත ය.
දේශීය ශාස්ත්‍රඥයින් කෘත්‍රීම බුද්ධිය මගින් කරන ලිවීම් හෝ සාරාංශගත කිරීම් විචාර පූර්වක නොවී වැළඳගනී නම්, ඔවුන් ඒ තුළ කාවැදී ඇති යුරෝ-කේන්ද්‍රීය අභිනති එලෙසම උකහා ගන්නා අතර, දේශීය සහ නිර්ප්‍රභූ භාෂා තුලින් ලබා ගත හැකි ඉතිහාසමය පාඩම් සහ අදහස් තවදුරටත් කොන් කරනු ලබයි.
මේ තත්ත්වය යටතේ මතුවෙන තවත් ගැටලුවක් නම්, සංකල්පීය මායාවන් සහ ඓතිහාසික විකෘති කිරීම් බහුල වීමයි. එනම්, කෘත්‍රීම බුද්ධි යාන්ත්‍රණ මඟින් නිතිපතා අසත්‍ය ඓතිහාසික මූලාශ්‍ර නිෂ්පාදනය කිරීම හෝ සුවිශේෂ දේශීය සන්දර්භ සාමාන්‍ය ගෝලීය ආඛ්‍යාන සමග මුසු කර වඩාත් සාමාන්‍යකරණය කළ ආඛ්‍යාන ගොඩනගයි. මෙමගින් සිදුවන්නේ, කාලය සහ අවකාශය පුරා සමාජ යථාර්ථ විකෘති කරීමයි.
විද්වත් විමර්ශන අර්බුදය සහ සංස්කෘතික සූක්ෂ්මතා
3- තුන්වන ගැටලුව මතුවන්නේ, ලිවීම සහ ප්‍රකාශනය යන ක්ෂේත්‍ර තුළ යි. මින් එකක් වන්නේ, ගෝලීය වශයෙන් සාර සංග්‍රහ හෝ පොත්පත් පළකිරීමේදී අත්‍යාවශ්‍ය විද්වත් විමර්ශන ක්‍රම (peer-review paralysis) අඩපණ වීමයි. එනම්, මේ වන විට ප්‍රකාශකයින්ට කෘත්‍රීම බුද්ධියේ සහාය ලබාගත්, සම්මත ආකෘතික ලියකියවිලි සාර සංග්‍රහ සංස්කාරක මණ්ඩල වෙත විශාල ලෙස ලැබෙමින් පවතී. මෙමගින් සංස්කාරක මණ්ඩල ව්‍යුහයන්ට දැඩි පීඩනයක් එල්ල කර ඇත.
මේ සමගම මතුව ඇති තවත් ගැටලුවක් වන්නේ, සංස්කෘතික සූක්ෂ්මතා ඒකාකාරී වීමයි (flattening cultural nuance). එනම්, කෘත්‍රීම බුද්ධි පරිවර්තන සහ සංස්කරණ මෙවලම් මගින් මානවශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා කේෂේත්‍රවලට බොහෝ විට වැදගත් වන දේශීය යෙදුම්, භාෂා ශෛලීන්, කලාපීය අදහස් වැනි දේ හා බැඳී ඇති සූක්ෂ්මතා මකා දමා, එවන් තොරතුරු බොහෝ දුරට ඒකාකාරී කිරීමයි. එනම්, ඒවා කෘත්‍රිම ස්වභාවයක් ගැනීමයි.
කෘත්‍රීම බුද්ධියෙන් පර්යේෂණ ක්ෂේත්‍රයට නව පණක්
කෘත්‍රීම බුද්ධිය මඟින් සමාජයීය විද්‍යාවන් සහ මානවශාස්ත්‍ර යහපත් ලෙස පරිවර්තනය කළ හැකි ද?
මෙයින් කියවෙන්නේ කෘත්‍රිම බුද්ධිය මගින් අපි සහමුලින්ම විනාශ වන බවක් නොවේ. තාක්ෂණයෙන් පලායාම ප්‍රායෝගික හෝ යෝග්‍ය හෝ නොවේ.

අරමුණු සහගතව සහ බුද්ධිමත්ව යොදා ගන්නා විට, විචාරාත්මක විමර්ශනය උදෙසා කෘත්‍රීම බුද්ධිය අපට සබුද්ධිකව භාවිත කළ හැකියි. නමුත් ඒ සඳහා අපගේ බුද්ධිය භාවිත කිරීම අත්‍යවශ්‍යයි. මීට පෙර අපට සිතන්නටවත් නොහැකි වූ මට්ටමකින් මහා පරිමාණයේ පර්යේෂණ සඳහා කෘත්‍රිම බුද්ධිය ප්‍රායෝගික ලෙස යොදාගත හැකියි. මේ පිළිබඳව ගත හැකි එක් උදාහරණයක් නම්, දත්ත හා තොරතුරු මූලාශ්‍රවල ඇති රටා හඳුනා ගැනීමට කෘත්‍රීම බුද්ධියට ඇති හැකියාවයි (pattern recognition in archives). එනම්, ඩිජිටල්කරණය කරන ලද පුස්කොළ පොත්, දශක ගණනාවක පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා, හෝ වාචික ඉතිහාස සටහන් ඇතුළත් විශාල ගුණාත්මක දත්ත කට්ටල වේගයෙන් හා පුළුල්ව පරීක්ෂා කරමින්, භාෂාමය වෙනස්කම් හෝ තේමාත්මක ප්‍රවණතා හඳුනා ගැනීමට කෘත්‍රීම බුද්ධියට හැකියාව ඇත. සමාන්‍ය ලෙසට නම්, මෙවන් තොරතුරු මේ මට්ටමින් විග්‍රහ කිරීමට ජීවිත කාලයක් ගතවනු ඇත.
භාෂාමය පරතරය පියවීම සහ ගෝලීය අවකාශ
පරමාදර්ශීයව, කෘත්‍රිම බුද්ධියට කළ හැකි තවත් අගනා සේවයක් නම්, ගෝලීය අධ්‍යයන අවකාශ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කිරීමයි. එනම්, දැනට පවතින භාෂාමය පරතරය පියවීම යි.
උදාහරණයකට, වඩාත් සූක්‍ෂම හා විශ්වසනීය කෘත්‍රීම බුද්ධි පරිවර්තන මෙවලම් මගින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිටින ශාස්ත්‍රඥයින්ට තමන්ගේ පර්යේෂණ සිංහලෙන් හෝ දෙමළෙන් ලියා, ජාත්‍යන්තර ප්‍රකාශනය සඳහා මනා ලෙස ශාස්ත්‍රීය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට ඉඩ සලසයි. එමගින් සම්ප්‍රදායිකව පැවති ඉංග්‍රීසි භාෂා බාධකය මගහරවා ගත හැකි ය. නමුත් මේ සඳහා ලොවට කියන්නට සහ ලොවට ගෙන යන්නට සුදුසු යමක් අපට අනිවාර්යයෙන් තිබිය යුතුයි. එමෙන්ම ඒ කුමක්දැයි යන්න ද අප දැන සිටිය යුතුයි.
මා මේ ඉදිරිපත් කළේ කෘත්‍රීම බුද්ධිය වඩාත් ප්‍රයෝජනවත් ලෙස යොදාගැනීම හා සම්බන්ධ පුළුල් හා ගෝලීය වශෙයන් සාමාන්‍යකරණය කළ හැකි උදාහරණ දෙකක් පමණයි.
ඇගයීම් ක්‍රමවේද වෙනස් කිරීම සහ න්‍යායකරණය
ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යා සහ මානවශාස්ත්‍රවල අනාගතය නැවත සකස් කිරීම
මෙම නව යථාර්ථය සඳහා ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යා සහ මානවශාස්ත්‍ර නිර්මාණාත්මකව සහ බුද්ධිමත්ව නැවත සකස් කරන්නේ කෙසේද? මෙය ක්‍රම කිහිපයකින් කළ හැකි ය.
1- විභාග සඳහා අවශ්‍ය ඇගයීමේ ක්‍රම, උත්තර පත්‍ර හෝ නිබන්ධන වැනි නිෂ්පාදනවල සිට ක්‍රියාවලිය වෙත යොමු කිරීම (shift assessment from product to process). කෘත්‍රීම බුද්ධියට පහසුවෙන් උත්පාදනය කළ හැකි මෙතෙක් භාවිත, ගෙදර ගෙනගොස් ලියන විස්තරාත්මක රචනා හා නිබන්ධන යනාදිය අත්හැරිය යුතු වේ. ඒ වෙනුවට, වාචික පරීක්ෂණ (viva voce) සහ සහයෝගිතාව මත සිදු කළ හැකි පන්ති කාමර සංවාද දෙසට යොමු වීම අවශ්‍ය වේ.
එනම්, ශිෂ්‍යයා අවසාන වශයෙන් ඉදිරිපත් කරන රචනයකට වඩා, ඔවුන්ගේ සිතීමේ ක්‍රියාවලිය ඇගයීමට ලක් කිරීමයි. නමුත් මෙයින් ගුරුවරුන්ගේ කාලය වැඩියෙන් වැය වනවා මෙන්ම, අන් බොහෝ දෑ ද වෙනස් විය යුතුයි.
2- වඩාත් සවිඥානිකව න්‍යායකරණය වෙත යොමු වීම. කෘත්‍රීම බුද්ධිය මඟින් සාමාන්‍ය සාරංශගත කිරීම් වෙත අප කැඳවාගෙන යන විට, අප යොමු විය යතු වන්නේ, සන්දර්භගත අර්ථවිවරණය, සදාචාරාත්මක තීරණ සහ මූලික සංකල්පගත කිරීම් වෙත යි.
ශ්‍රී ලාංකේය ශාස්ත්‍රඥයින්, දේශීය ඓතිහාසික හා සංස්කෘතික දත්ත හා තොරතුරු බටහිර සිද්ධාන්ත සැරසීමට හෝ හුදෙක් තමන්ගේම විස්තර කථන සඳහා හෝ පමණක් යොදා ගැනීම නැවැත්විය යුතුය.
ගෝලීය න්‍යාය අභියෝගයට ලක් කරන, ඒවා පුළුල් කරන සහ නැවත ලිවීමට යොමු කරවන න්‍යාය හා සංකල්ප, ශ්‍රී ලාංකේය සමාජ-සංස්කෘතික යථාර්ථ තුළින් ඔවුන් ගොඩනැගිය යුතු ය.
විචාරපූර්වක චින්තනයේ අනාගත අභියෝගය
නිගමනය

අප සමාන්‍යයෙන් සිතන ආකාරයට කෘත්‍රීම බුද්ධිය මඟින් සමාජයීය විද්‍යා සහ මානවශාස්ත්‍ර විනාශ කරන්නේ නැත. නමුත්, අප එය පාලනය කරන්නේ නැතිනම් සිදුවන්නේ, හුදෙක් අපගේ අලසකම නිරාවරණය කරමින්, මිනිසාගේ බුද්ධිමය හා චිත්තවේගීය ආන්තීකරණය වඩාත් තහවුරු කිරීමයි. අපගේ විෂය ක්ෂේත්‍ර යනු සිසුන්ට කරුණු කටපාඩම් කිරීමට හුරුකරන සහ කරුණු සාරංශගතකර නිබන්ධන ලිවීමට හුරු කරන අභ්‍යාස පමණක් වේ නම්, කෘත්‍රීම බුද්ධිය විසින් අපව එක රැයකින් මෝඩ රැලක් බවට පත් කරනු ඇත.
නමුත් අපගේ විෂයයන් විචාරපූර්වක චින්තනය, න්‍යාය සම්පාදනය උදෙසා අවැසි ධෛර්යය, සදාචාරාත්මක ආවර්ජනය සහ ගැඹුරු සන්දර්භීය අවබෝධය උදෙසා ගතික අවකාශ වශයෙන් පවතී නම්, ශ්‍රී ලංකාව තුළ මානවවාදී පර්යේෂණයේ සහ චින්තනයේ පරිවර්තනීය විභවය නැවත ලබා ගැනීමට අවශ්‍ය උත්ප්‍රේරකය කෘත්‍රීම බුද්ධිය මගින් සපයනු ඇත.
එනම්, අප කළ යුතු දෑ සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම මිස, කෘත්‍රිම බුද්ධිය අපේ හාම්පුතා කිරීම නොවේ.
(මහාචාර්ය සසංක පෙරේරා)







