කටුනායක ඉදිකෙරෙන ඇඳන් 1500ක මධ්‍යස්ථානය වෛද්‍ය රෝහලක් ද, නැතිනම් නවාතැන් පරිශ්‍රයක් ද යන්න පිළිබඳ විමසුමක්.
ප්‍රොෆට් ජෙරෝම් ප්‍රනාන්දු විසින් කටුනායක ඉදිකිරීමට සැලසුම් කර ඇති ඇඳන් 1,500ක දැවැන්ත මධ්‍යස්ථානය පිළිබඳව මේ දිනවල සමාජයේ මෙන්ම මාධ්‍ය අවකාශය තුළද දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
මෙය රජයේ ප්‍රධාන ශික්ෂණ රෝහලක් වන කළුබෝවිල රෝහලේ පවතින සම්පූර්ණ ධාරිතාවද (ඇඳන් 1,100කට ආසන්න) ඉක්මවා යන ප්‍රමාණයකි.
එහෙත් මෙම ස්ථානය පූර්ණ වෛද්‍ය ප්‍රතිකාර සපයන සායනික රෝහලක්ද, නැතහොත් ආධ්‍යාත්මික සුව සේවා වෙනුවෙන් පැමිණෙන බැතිමතුන් සඳහා වන නේවාසික මධ්‍යස්ථානයක්ද යන්න පිළිබඳව කරුණු සොයා බැලීම වැදගත් වේ.
ඇඳන් 1500ක නවාතැන් සැලසුම
කටුනායක මිරකල් ඩෝම් පරිශ්‍රයට යාබදව ඉදිකෙරෙන 'මිරකල් ඩෝම් සිටි' (Miracle Dome City) භූමියේ මෙම පහසුකම ස්ථාපිත කිරීමට නියමිතය.
ජෙරෝම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ නිල ප්‍රකාශනවලට අනුව, සුව මෙහෙයන් සඳහා දිවයිනේ නන් දෙසින් මෙන්ම විදේශයන්ගෙන්ද දහස් සංඛ්‍යාත ජනතාවක් පැමිණෙති.
දීර්ඝ කාලීන රෝගාබාධවලින් පෙළෙන, දුර බැහැර පළාත්වලින් පැමිණෙන දිළිඳු ජනතාවට සහ නවාතැන් අපහසුතා ඇති අයට රැඳී සිටීම සඳහා මෙම මධ්‍යස්ථානය සකස් වන බව එම පාර්ශ්වය පවසයි.
මූල්‍ය ආධාර එක්රැස් කෙරෙන අයුරු
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් දේශීය හා ජාත්‍යන්තර බැතිමතුන්ගෙන් මූල්‍ය දායකත්වය ලබාගැනීම මේ වන විට ආරම්භ කර ඇත.
'Pledge A Bed' නමින් ක්‍රියාත්මක අරමුදල් එක්රැස් කිරීමේ වැඩසටහන යටතේ පහත තොරතුරු වාර්තා වේ:
* එක් ඇඳක් සහ යටිතල පහසුකම් පිරිවැය රුපියල් 500,000ක් (ඇමෙරිකානු ඩොලර් 1,670ක් පමණ) ලෙස ඇස්තමේන්තු කර තිබීම.
* දේශීය හා විදේශීය ණයපත් (Credit/Debit Cards) මගින් එම දායකත්ව මුදල් භාරගැනීම.
* මෙම ව්‍යාපෘතිය හරහා දුරස්ථභාවය හේතුවෙන් ප්‍රතිකාර හෝ යාඥා මඟහැරෙන ජනතාවට සහන සැලසීම ප්‍රධාන අරමුණ බව දැක්වීම.
පාරිසරික චෝදනා සහ ක්ෂේත්‍ර පරීක්ෂාව
මිරකල් ඩෝම් සිටි ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ පරිසරයට හානි සිදුවන බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනා එල්ල විය.
මේ සම්බන්ධයෙන් සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් අදාළ භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී අදහස් දැක්වූ සිවිල් ක්‍රියාකාරික සංජය මහවත්ත සඳහන් කළේ, අදාළ භූමිය නිරීක්ෂණය කිරීමේදී පාරිසරික ආරක්ෂණ ප්‍රමිතීන් ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය වූ බවයි.
එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වන චෝදනා සහ භූමියේ සැබෑ තත්ත්වය අතර වෙනසක් පවතින බවත්, රෝගී සහ අසරණ ජනතාවට නවාතැන් දීම වෙනුවෙන් මෙම ඇඳන් 1,500ක මධ්‍යස්ථානය සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
විශාලතම ගෘහස්ථ ශ්‍රවණාගාර අතරින් එකකි
කටුනායක පිහිටි 'ද මිරකල් ඩෝම්' ශ්‍රවණාගාරය 2023 වසරේදී විවෘත වූ අතර, ආසන 5,000කට වැඩි ධාරිතාවකින් යුත් එය දිවයිනේ විශාලතම ගෘහස්ථ ශ්‍රවණාගාර අතරින් එකකි.
පසුගිය කාලසීමාවේදී දේශන සහ ආගමික අන්තර්ගතයන් සම්බන්ධයෙන් ජෙරෝම් ප්‍රනාන්දු පාර්ශ්වයට එරෙහිව නීතිමය පරීක්ෂණ ක්‍රියාත්මක වූ අතර, ඔහු විදෙස්ගතව සිට යළි පැමිණීමෙන් පසු අධිකරණ ක්‍රියාමාර්ගවලට පෙනී සිටියේය.
වර්තමානයේ ක්‍රියාත්මක වන 'මිරකල් ඩෝම් සිටි' ව්‍යාපෘතිය ආගමික මෙහෙයන්ට අමතරව පුළුල් යටිතල පහසුකම් සහ නේවාසික සංකීර්ණයක් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘතියකි.
වැඩිදුර තොරතුරු සහ කියවීම්:
Prophet Jerome Fernando Ministries - Pledge A Bed නිල තොරතුරු පිටුව
'දිවැසිවර ජෙරොම්' සහ 'මිරකල් ඩෝම්' ගැන නොකී කතා !







