The Leader News
BREAKING
ප්ලාස්ටික් ටී බෑග්වලින් තේ කෝප්පයට විෂ රසායන එක්වන බව හෙළිවේ●අභ්‍යවකාශ හමුදා දූත ගමනින් ආණ්ඩුවට එල්ලවන ආරක්ෂක පීඩනය●බැටරි ප්‍රතිචක්‍රීකරණයේ සැඟවුණු විෂ: දරුවන්ගේ ජීවිත අවදානමක●කේඩීයූ අර්බුදය: සිසුන් සහ රෝගීන් පත්වුණු බරපතළ අවදානම●චෙම්මණි : ලංකාවේ විශාලතම සමූහ මිනීවලේ නව වාර්තාවට එරෙහිව නඩු●ස්පාඤ්ඤ මාරක දුම්රිය අනතුර: කෝපා ඩෙල් රේ සියලු තරග කල්දමයි●යෝජිත නව ත්‍රස්ත විරෝධී පනතට ජගත් සංවිධානයෙන් කොන්දේසි 9ක්●යුරෝපා මහ බැංකු ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාර්ඩ් හදිසියේම ඉල්ලා අස්වෙයි●අනුරාධපුර පූජා නගර සැලැස්ම: මතභේද සහ සැබෑ තතු●බිලියන 190ක ආනයන මුදල් ජාවාරම: දෙදෙනෙකු යළි රිමාන්ඩ්●
Top Ad
පුවත්

චෙම්මණි : ලංකාවේ විශාලතම සමූහ මිනීවලේ නව වාර්තාවට එරෙහිව නඩු

Nethmini

Nethmini

October 30, 2026 • 8:59 AM

චෙම්මණි : ලංකාවේ විශාලතම සමූහ මිනීවලේ නව වාර්තාවට එරෙහිව නඩු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති විශාලතම සමූහ මිනීවල සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශේෂඥ වාර්තාවක අඩංගු "ආන්දෝලනාත්මක නිගමන" බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ දෙමළ ඥාතීන් පිරිසක් විසින් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කොට තිබේ.
  • පුරාවිද්‍යාඥයන් වන මහාචාර්ය රාජ් සෝමදේව සහ අනුෂා වන්නිනායක විසින් සම්පාදිත "යාපනයේ චෙම්මණි හි වෝහාරික පුරාවිද්‍යා කැණීම්" (Forensic Archaeological Excavation in Chemmani Jaffna) මැයෙන් යුත් වාර්තාව ඔක්තෝබර් 20 දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
  • "මෙම වාර්තාවේ ලේඛනගත කර ඇති භෞතික සාක්ෂි එකතුව හුදෙකලාව ගත්කල, විමර්ශනයට ලක්වූ භූමදානවල ස්වභාවය සහ ලක්ෂණ පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹීමට ප්‍රමාණවත් නොවේ," යනුවෙන් පිටු 190කින් සමන්විත එම සාරාංශ වාර්තාවේ සඳහන් වේ.
  • "භෞතික සාක්ෂි සහ පුරාවිද්‍යාත්මක පසුබිම පිළිබඳ ප්‍රමාණවත් පරීක්ෂාවකින් තොරව, හුදෙක් අනුමාන කිරීම් මත පමණක් පදනම් වී සාමාන්‍ය භූමදානයක් සිදුවී ඇතැයි යන නිගමනයට එළඹීම” සම්බන්ධයෙන් පිටු නවයකින් යුත් එම ලේඛනයෙන් අගතියට පත් පාර්ශවයන් විරෝධය පළ කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති විශාලතම සමූහ මිනීවල සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශේෂඥ වාර්තාවක අඩංගු "ආන්දෝලනාත්මක නිගමන" බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ දෙමළ ඥාතීන් පිරිසක් විසින් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කොට තිබේ.

 පුරාවිද්‍යාඥයන් වන මහාචාර්ය රාජ් සෝමදේව සහ අනුෂා වන්නිනායක විසින් සම්පාදිත "යාපනයේ චෙම්මණි හි වෝහාරික පුරාවිද්‍යා කැණීම්" (Forensic Archaeological Excavation in Chemmani Jaffna) මැයෙන් යුත් වාර්තාව ඔක්තෝබර් 20 දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

"මෙම වාර්තාවේ ලේඛනගත කර ඇති භෞතික සාක්ෂි එකතුව හුදෙකලාව ගත්කල, විමර්ශනයට ලක්වූ භූමදානවල ස්වභාවය සහ ලක්ෂණ පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹීමට ප්‍රමාණවත් නොවේ," යනුවෙන් පිටු 190කින් සමන්විත එම සාරාංශ වාර්තාවේ සඳහන් වේ.

"කෙසේ වෙතත්, එහි හමුවූ පුරාවස්තු සහ ඊට අදාළ සාක්ෂි අනුව පෙනී යන්නේ, මෙම ස්ථානය ලෝකයේ වෙනත් ප්‍රදේශවල හමුවන රහසිගත භූමදාන ස්ථානවලට වඩා, විධිමත් භූමදාන චාරිත්‍ර ඉටුකරන ලද ස්ථානවලට වැඩි සමානකමක් දක්වන බවයි," යනුවෙන් එම පුරාවිද්‍යාඥයන් දෙදෙනා තද කළු අකුරින් යටින් ඉරි ගසා විශේෂයෙන් අවධාරණය කර තිබේ.

සාක්ෂි නොසලකා හැරීමේ චෝදනාව

එයින් දින දෙකකට පසුව, නීතිඥ කස්තුරි අහලංකන් විසින්, අගතියට පත් පාර්ශව වෙනුවෙන් එම අධිකරණය හමුවේම විරෝධතා පෙත්සමක් ගොනු කර පෙන්වා දී ඇත්තේ ‘අදාළ සාරාංශ වාර්තාවේ අඩංගු සොයාගැනීම්, නිරීක්ෂණ, අර්ථකථන සහ නිගමන, සිද්ධියට අදාළ ද්‍රව්‍යමය තත්වයන් සහ පවතින සාක්ෂි පිළිබඳව අවධානය යොමු කිරීමට මුළුමනින්ම අපොහොසත් වී ඇති’ බවයි.

 "භෞතික සාක්ෂි සහ පුරාවිද්‍යාත්මක පසුබිම පිළිබඳ ප්‍රමාණවත් පරීක්ෂාවකින් තොරව, හුදෙක් අනුමාන කිරීම් මත පමණක් පදනම් වී සාමාන්‍ය භූමදානයක් සිදුවී ඇතැයි යන නිගමනයට එළඹීම” සම්බන්ධයෙන් පිටු නවයකින් යුත් එම ලේඛනයෙන් අගතියට පත් පාර්ශවයන් විරෝධය පළ කර තිබේ.

 අධිකරණය විසින් දැනටමත් අපරාධයක් සිදුවූ ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති මෙම සමූහ මිනීවල සම්බන්ධයෙන් මතුව ඇති මතභේදය හමුවේ, ආරක්ෂක අංශ විසින් සිදුකළ බවට චෝදනා එල්ල වන මහා පරිමාණ අපරාධ පිළිබඳව ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිත පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි දෙමළ ජනතාව දිගු කලක් තිස්සේ කරමින් සිටින ඉල්ලීම නැවත කරළියට පැමිණ ඇත.

 යුද්ධයෙන් පීඩාවට පත් එම කලාපයේ වෙසෙන දෙමළ ජනතාව දැඩි ලෙස විශ්වාස කරන්නේ, චෙම්මණි සමූහ මිනීවලෙන් හමුවූ ළදරුවන් සහ දරුවන් ද ඇතුළුව පුද්ගලයන් 500කට අධික සංඛ්‍යාවකගේ දේහ, බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබූවන්ගේ බවයි.

මළ සිරුරු සහ සොල්දාදුවාගේ හෙළිදරව්ව

 90 දශකයේ මැද භාගයේදී චෙම්මනි සොහොන් බිම මුලින්ම සොයා ගත් විට, බලධාරීන්ට ඒ සඳහා මඟ පෙන්වා දුන් ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ එම මළ සිරුරු පැහැරගත් හෝ රඳවාගනු ලැබූ හෝ දෙමළ ජාතිකයන්ගේ බවයි. දෙමළ පාසල් සිසුවියක් වන ක්‍රිෂාන්ති කුමාරස්වාමි සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීම සහ ඇගේ මව, සහෝදරයා සහ පවුලේ මිතුරෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සෝමරත්න රාජපක්ෂ සොල්දාදුවාට මරණ දඬුවම නියම වී ඇත. එම මළ සිරුරු චෙම්මනියෙන් ගොඩ ගන්නා ලදී. සොයාන්නා ලද සිය ගණනක් මළ සිරුරු හමුදාව විසින් මරා දැමූ දෙමළ ජාතිකයින්ගේ බව ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

 2025 පෙබරවාරි මාසයේදී අස්ථි කොටස් අහම්බෙන් සොයා ගැනීමෙන් අනතුරුව මැයි මාසයේදී ආරම්භ වූ චෙම්මනි සිද්දුපත්ති සුසාන භූමියේ කැණීම් 2026 අගෝස්තු මාසය දක්වා සිදු කෙරිණි. පුරාවිද්‍යාඥයන්ගේ නවතම වාර්තාවට අනුව, දින 80ක පමණ කාලයක් පුරා සිදුකළ කැණීම්වලදී අවම වශයෙන් පුද්ගලයින් 574 දෙනෙකුට අයත් අස්ථි කොටස් හමුවී ඇත.

 කෙසේ වෙතත්, මාධ්‍යවේදීන් වෙත මීට පෙර බලධාරීන් විසින් ලබා දුන් තොරතුරු අනුව, අදියර තුනක් යටතේ දින 110ක් පුරා සිදුකළ කැණීම්වලදී හමුවූ දේහ සංඛ්‍යාව 583 කි. මළ සිරුරු අතර තිබී හමුවූ පාරිහාරික වස්තු  අතරට කිරි බෝතල්, බෑග්, බෝනික්කන්, කාසි සහ වැහි කබා ඇතුළත් වේ. මෙම සොයාගැනීම් ප්‍රථම වරට හෙළිදරව් කරන අවස්ථාවේදී, යාපනය මහේස්ත්‍රාත්වරයා, පුරාවිද්‍යාඥයන් ඇතුළු කැණීම් කණ්ඩායම්, අධිකරණ වෛද්‍ය නිලධාරීන්, නීතිඥයන් මෙන්ම අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) නියෝජිතයන් ද එම ස්ථානයේ සිටියහ.

සමූහ මිනීවල' නම හිතාමතා හැලීමක්ද?

මහාචාර්ය සෝමදේව විසින් මීට පෙර ඉදිරිපත් කරන ලද වාර්තා තුනට වඩා වෙනස් මෙම නවතම වාර්තාව, අදාළ ස්ථානය 'සමූහ මිනීවලක්' ලෙස නම්කොට නොමැති අතර, වින්දිතයන් මෙය හඳුන්වන්නේ 'හිතාමතා සිදුකළ මග හැරීමක්' ලෙසයි.

 "මහාචාර්ය රාජ් සෝමදේව විසින් මෙම අතුරු වාර්තාවෙන් 'සමූහ මිනීවල' යන යෙදුම හිතාමතාම ඉවත් කර ඇති නමුත් ඔහු මීට පෙර ඉදිරිපත් කළ වාර්තා තුනේදීම මෙම යෙදුම භාවිතා කර තිබුණි. මෙම මග හැරීම, අතුරු වාර්තාවේ නිරවද්‍යතාවය සහ වලංගුභාවය පිළිබඳ බරපතල සැකයක් මතු කරයි," යනුවෙන් එම විරෝධතා මෝසමේ සඳහන් වේ.

 මීට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලද මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ආයතන විසින් ප්‍රසිද්ධ කරන ලද වාර්තා කිහිපයකම, මෙම ස්ථානය හඳුනාගෙන තිබුනේ 'සමූහ මිනීවලක්' ලෙසය.

 "2025 සැප්තැම්බර් මාසයේදී, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් චෙම්මනි සමූහ මිනීවල සම්බන්ධ විමර්ශනය පිළිබඳ කරුණු සොයා බැලීමේ වාර්තාව ප්‍රකාශයට පත් කරන ලද අතර, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව, විශ්වසනීය, විනිවිදභාවයෙන් යුත් සහ විද්‍යාත්මක පදනමක් සහිත ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා එහිදී නිර්දේශ ද ඉදිරිපත් කෙරිණි," යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

පරස්පර නිගමන සහ වසංගත තර්කය

“චෙම්මනි හි වළ දමා ඇති සිරුරු වල ස්ථාවර දිශානතියක් නොමැතිකම, ඒ ආශ්‍රිත සොහොන් භාණ්ඩ නොමැතිකම සහ විධිමත් භූමදාන සම්මුතීන් නොසලකා හැරීම සමස්තයක් වශයෙන් යෝජනා කරන්නේ සංස්කෘතික වශයෙන් අර්ථවත් ආකාරයකින් මියගිය අයට ගෞරව දැක්වීමේ අභිප්‍රයකින් තොරව වල දැමීම් සිදු කර ඇති බවයි. ඒ වෙනුවට, මෙම පුද්ගලයන් කඩිමුඩියේ බැහැර කරන ලද බවට සහ මෙම භූමදාන සමහර විට බලහත්කාරයෙන් හෝ ප්‍රචණ්ඩකාරී තත්වයන් යටතේ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා සම්බන්ධ සමූහ මිනී වළවල්වල පිළිබඳව හඳුනාගෙන ඇති ලක්ෂණ සමඟ සමපාත වන බවට වන උපකල්පනය සනාථ කරයි,” යනුවෙන් මහාචාර්ය සෝමදේව 2025 මැද භාගයේදී පැවසීය.

 භූමදාන කිරීම් වලට හේතුව වසංගතයක් හෝ ස්වාභාවික ව්‍යසනයක් යැයි අනුමාන කරන ඔහුගේ නවතම වාර්තාව පීඩාවට පත් පාර්ශවයන්ගේ දැඩි විරෝධයට පාත්‍රව තිබේ.

 සාරාංශ වාර්තාවේ මෙසේ සඳහන් වේ: "මළ සිරුරු විශාල සංඛ්‍යාවක් එක තැනක මිහිදන් කිරීමට හේතුව වසංගතයක් හෝ වෙනත් ස්වාභාවික ව්‍යසනයක් නම්, ඒ ආශ්‍රිතව හමුවන පුරාවස්තු ප්‍රමාණය සීමිත වීම පුදුමයට කරුණක් නොවේ. එවැනි තත්වයක් යටතේ, වටිනා පූජා භාණ්ඩ හෝ පුද්ගලික දේපළ තැන්පත් කිරීමට වඩා, මියගිය අයගේ දේහ කඩිනමින් බැහැර කිරීම ප්‍රධාන අරමුණ වන්නට ඇත."

 එසේ වෙතත්, එම වාර්තාවේම සඳහන් වන සුර කිහිපයක් සහ ශ්‍රී ලාංකික කාසි විශාල ප්‍රමාණයක් 'චාරිත්‍ර වාරිත්‍ර හා සම්බන්ධ' පුරාවස්තු ලෙස හඳුනාගෙන තිබුණද, ‘ඒවායේ නිශ්චිත කාර්යභාරය හුදෙක් පුරාවිද්‍යාත්මක සන්දර්භය මත පමණක් පදනම්ව තහවුරු කළ නොහැක,’ යයිද කියැවේ.

විද්‍යාත්මක පදනම අභියෝගයට

මෙම වින්දිත පාර්ශ්වයන් තර්ක කරන්නේ, වසංගතයක් හෝ ස්වාභාවික විපතක් සිදුවූ බවට තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි මෙම පුරාවිද්‍යා වාර්තාවේ අඩංගු නොවන බවයි.

 නීතිඥ කස්තුරි අහලංකන් සිය මෝසමේ සඳහන් කරන්නේ, "හඳුනාගත හැකි සහ සත්‍යාපනය කළ හැකි විද්‍යාත්මක සාක්ෂි මගින් තහවුරු නොකරන්නේ නම්, මෙම අස්ථි කොටස් වසංගතයක්, ස්වාභාවික විපතක් හෝ අපරාධමය නොවන වෙනත් සිදුවීමක් හේතුවෙන් භූමදානය කළ බවට එම වාර්තාවේ දැක්වෙන අදහස, අගතියට පත් පාර්ශ්වයන් විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලබන" බවයි.

 2025 අගෝස්තු මාසයේදී චෙම්මනි සමූහ මිනීවල වෙත ගොස් කරුණු සොයා බැලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කළේ, මෙහි සිදු කර ඇත්තේ හින්දු ආගමික චාරිත්‍රානුකූල භූමදාන නොවන බවයි.

 එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ, "මෙම භූමදාන නීති විරෝධී වීමටත්, ඒවා අධිකරණ ක්‍රියාවලියකින් පිටස්තරව සිදු කරන ලද ඝාතන හා සම්බන්ධ වීමටත් සාධාරණ ඉඩක් පවතින" බවයි.

මරණ දණ්ඩනය ලැබූ සිරකරුගේ හඬ

 සෝමදේව - වන්නිනායක වාර්තාව සම්බන්ධයෙන් මතුව ඇති මතභේදයට ප්‍රතිචාර දක්වමින්, චෙම්මනි මිනීවලෙන් ගොඩගත් දේහ සිය ගණන, 1996 වසරේ උතුරේ ස්ථානගතව සිටි ශ්‍රී ලංකා හමුදාව විසින් ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ වන බවට ලාන්ස් කෝප්‍රල් සොමරත්න රාජපක්ෂ නැවතත් ජනමාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

 "මම මීට පෙරත් කියල තියෙන්නෙ, මේ සිරුරු සුසාන භූමිය ආශ්‍රිතව සහ චෙම්මනි අවට ප්‍රදේශයේ භූමදාන කරල තියෙනවා කියලයි. ඒ නිසා, වර්තමානයේ සුසාන භූමි ප්‍රදේශයෙන් හමුවන සිරුරු, ස්ථිර වශයෙන්ම හමුදාව විසින් සමූල ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ සිරුරු වෙන්න ඕනෑ," යනුවෙන් ලාන්ස් කෝප්‍රල් රාජපක්ෂ දෙමළ පුවත්පතක් වන 'වීරකේසරී' වෙත ප්‍රකාශ කර ඇත.

 කොළඹ පදනම් කරගත් මෙම ප්‍රධාන ධාරාවේ පුවත්පත පවසන පරිදි, මෙම ප්‍රකාශය ලැබී ඇත්තේ මරණ දණ්ඩනය නියම වී සිටින සිරකරුගේ සහෝදරියක් හරහාය.

 "ලගදි කරපු කැණීම්වලින් හමුවෙච්ච මිනිස් ඇටසැකිලි 500කට වැඩි ප්‍රමාණය, චෙම්මණි ප්‍රදේශයේදී හමුදාව විසින් ඝාතනය කරන ලද පුද්ගලයන්ට අයත් බව ඔබ තරයේම විශ්වාස කරනවාද?' යනුවෙන් පැහැදිලිව විමසූ විට, සෝමරත්න රාජපක්ෂ 'ඔව්' යැයි පිළිතුරු දුන්නේය," යනුවෙන් වීරකේසරි පුවත්පත වාර්තා කරයි.

අතුරුදහන් වූ පැරණි ලේඛන සහ ජාත්‍යන්තර ඉල්ලීම

මෙහි ඇති විශ්මය ජනක කාරණය වන්නේ, චෙම්මණි ප්‍රදේශයෙන් සිරුරු සිය ගණනක් හමුවීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සිදු කෙරෙන විමර්ශනවලදී, ඊට පෙර පැවති අධිකරණ ලේඛන වෙත ප්‍රවේශ වීමට නොහැකි වී ඇති බවක් පෙනෙන්නට තිබීමයි.

 "1999 වසරේ හමුවූ සමූහ මිනීවල සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන සහ අධිකරණ ක්‍රියාදාමයන්ට අදාළ වාර්තා, 2025 වසරේ හමුවූ මිනීවල සම්බන්ධයෙන් කටයුතු කරන මහේස්ත්‍රාත්වරයා වෙත ලැබී නොමැති බව පෙනේ. එම ලේඛන අස්ථානගත වී හෝ නැති වී ගොස් ඇති බවක් පෙනෙන්නට තිබේ," යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියාගේ කාර්යාලය 2025 ජූලි මාසයේදී ප්‍රකාශ කළේය.

පුරාවිද්‍යාඥයන් දෙපලගේ වාර්තාව ලැබීමෙන් අනතුරුව, චෙම්මණි සමූහ මිනීවල සම්බන්ධයෙන් ලාන්ස් කෝප්‍රල් සෝමරත්නගෙන් නැවත ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් අවසර ලබා දී තිබුණි.

 දේශීය යාන්ත්‍රණ හරහා යුක්තිය ඉටු වීම සම්බන්ධයෙන් බරපතල ලෙස සැක පළ කරන දෙමළ වින්දිතයන්, දිවයිනේ හතර මායිමෙන් ඔබ්බට ගොස් සහනයක් ලබා ගැනීම සඳහා අධිකරණයේ සහාය පතා තිබේ.

 "මෙම වාර්තාවෙන් මතු වන ප්‍රධාන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා, ස්වාධීන ජාත්‍යන්තර විශේෂඥ සමාලෝචනයක් හෝ තවදුරටත් අධිකරණ පුරාවිද්‍යාත්මක පරීක්ෂණයක් අවශ්‍ය දැයි සලකා බලන ලෙස," නීතිඥ අහලංකන් විසින් ගොනු කරන ලද, එම විශේෂඥ වාර්තාවට අභියෝග කරන පෙත්සම ඉල්ලා සිටී.

 චෙම්මණි විමර්ශන කටයුතු සඳහා ප්‍රමාණවත් ලෙස අරමුදල් සපයා ඇති බවත්, අධිකරණ ස්වාධීනත්වය තහවුරු කර ඇති බවත් පවසන ශ්‍රී ලංකා රජය, වගවීම තහවුරු කිරීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය නොවන බව දැඩි ලෙස අවධාරණය කර තිබේ.


වැඩිදුර තොරතුරු සහ මූලාශ්‍රය:

JDS Lanka වාර්තාව: Court urged to reject latest expert report on Sri Lanka’s largest mass grave

The Leader : චෙම්මනි සමූහ මිනීවළ පරීක්ෂණවලට ජාත්‍යන්තර සහාය ඉල්ලයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...