ආදායම ඉහළට ගියත් වියදම් පාලනය ගිලිහෙයි
2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව අවසන් වන විට ශ්‍රීලන්කන් ගුවන් සමාගම ලැබූ බදු පෙර පාඩුව රුපියල් බිලියන 35.6ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ සමාන කාලසීමාවේ වාර්තා වූ රුපියල් බිලියන 12ක පාඩුව හා සසඳන විට මෙය තුන් ගුණයක බරපතළ පිරිහීමකි.
ගුවන් සේවයේ ආදායම රුපියල් බිලියන 62.6 සිට බිලියන 82.8 දක්වා කැපී පෙනෙන ලෙස වර්ධනය විය. ගැටලුව මතුව ඇත්තේ ආදායම ඉක්මවා යන වේගයකින් සමාගමේ මෙහෙයුම් වියදම් ඉහළ යාම හේතුවෙනි.
සමස්ත මෙහෙයුම් වියදම සියයට 40.4කින් ඉහළ ගොස් රුපියල් බිලියන 95.2ක් ලෙස සටහන් වෙද්දී, ගුවන් යානා ඉන්ධන පිරිවැය පමණක් සියයට 93කින් පිම්ම පැන රුපියල් බිලියන 41.2 දක්වා ඉහළ ගොස් ඇත.
වත්කම් සියල්ල විකුණුවත් නොපියවෙන ණය කන්ද
ගුවන් සේවයේ ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 351.5ක අගාධයකට ඇද වැටී තිබේ. සමාගම සතු සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 209.9ක් වන අතර, ගෙවිය යුතු බැඳීම් හෙවත් වගකීම් ප්‍රමාණය රුපියල් බිලියන 561.4ක් තරම් ඉහළ අගයක පවතී.
එනම්, ගුවන් සේවය සතු සියලු දේපළ විකුණා දැමුවද පියවිය නොහැකි රුපියල් බිලියන 350කට අධික හිඟයක් ශේෂ පත්‍රය තුළ නිර්මාණය වී ඇත.
එදිනෙදා ගුවන් ගමන් මෙහෙයුම් පාඩුව රුපියල් බිලියන 12.5කි. විදේශ විනිමය අලාභ සහ ණය වෙනුවෙන් ගෙවීමට සිදුවූ අධික පොලිය මෙම අර්බුදය තවත් උග්‍ර කර තිබේ. 'ශ්‍රීලන්කන් කේටරින්' අනුබද්ධ ආයතනය රුපියල් බිලියන 3.4ක ලාභයක් ඉපයුවද, සමූහයේ සමස්ත පාඩුව රුපියල් බිලියන 32.2ක මට්ටමක තබාගැනීමට හැරෙන්නට මුළු බිඳවැටීම පාලනය කිරීමට එය ප්‍රමාණවත් වී නැත.
මහා භාණ්ඩාගාරයේ හදිසි මුදල් එන්නත්
ඉහළ ගිය ඉන්ධන සහ නඩත්තු ගාස්තු හමුවේ එදිනෙදා මෙහෙයුම් පවත්වාගෙන යාමට අවශ්‍ය අභ්‍යන්තර මුදල් උපයා ගැනීමට සමාගමට නොහැකි වී ඇති බව මුදල් අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.
බැංකු ණය ගෙවීම සඳහා මැදිහත් වීමට මෙන්ම, මෙහෙයුම් අඛණ්ඩව පවත්වා ගැනීමට හදිසි ප්‍රතිපාදන ලෙස ඩොලර් මිලියන 30ක් සැපයීමටද මහා භාණ්ඩාගාරයට සිදුවිය. පසුගිය මාර්තු මාසයේදී සමාගමේ ඩොලර් මිලියන 126.5ක ප්‍රතිව්‍යුහගත බැඳුම්කර සෘජුවම මහජන ණය ලේඛනයට පවරා ගැනීමටද රජය පියවර ගත්තේය.
මීට අමතරව, බටහිර ආසියානු ගුවන් කලාප සීමා කිරීම් නිසා ගුවන් ගමන් මාර්ග වෙනස් කිරීමට සහ අවලංගු කිරීමට සිදුවීමෙන් මෙහෙයුම් පිරිවැය තවදුරටත් ඉහළ ගියේය.
කමිටු පත්කිරීමෙන් පමණක් විසඳුම් ලැබේද?
ගුවන් සේවයේ මූල්‍ය ශක්‍යතාව සොයා බැලීම සඳහා පසුගිය ජුනි මාසයේදී කැබිනට් අනුමැතියෙන් උපායමාර්ගික සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවක් පත් කෙරිණි. හුදෙක් තවත් කමිටුවක් පත්කිරීමෙන් පමණක් මෙවැනි ගැඹුරු මූල්‍ය අගාධයකින් ගොඩඒමට නොහැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
වියදම් කප්පාදු කිරීම, ගුවන් යානා උපරිම ඵලදායිතාවයෙන් යෙදවීම සහ ආදායම් මාර්ග පුළුල් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි හා ක්‍රියාත්මක කළ හැකි නිශ්චිත ඉලක්ක රජය වහාම ඉදිරිපත් කළ යුතුව තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සේවය රටේ උපායමාර්ගික ජාතික සම්පතක් බව නිසැකය. වාණිජ විනයකින් තොරව ජනතාවගේ බදු මුදලින් දිගින් දිගටම පාඩු පියවීම වෙනුවට, ස්වශක්තියෙන් නැගී සිටිය හැකි ශක්තිමත් ව්‍යාපාරික ආකෘතියක් ගොඩනැගීම මෙහි ඇති සැබෑ අභියෝගයයි.



