ලේඛන 17ක් සුරක්ෂිත කිරීමට ඉල්ලීමක්
කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පැවති උසස් ඩිප්ලෝමා පාඨමාලාවකට අදාළ තීරණාත්මක ලේඛන 17ක් විනාශ නොවී සුරක්ෂිතව තබාගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් ඉදිරිපත් විය.
නුගේගොඩ දිසා අධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කාර සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දනෝෂා පෙරේරා මහත්මිය එම ඉල්ලීම සිදු කළාය. විභාග උත්තර පත්‍ර, ලකුණු දීමේ ආකෘති සහ අභ්‍යන්තර මහාචාර්ය කමිටු විමර්ශන වාර්තාවල සහතික කළ පිටපත් ද පෙත්සම්කරු වෙත ලබාදීමට නියෝග කරන ලෙස එහිදී ඉල්ලා සිටියේය.
උපකුලපතිවරුන් ඇතුළු හත්දෙනෙකුට එරෙහිව නඩුවක්
පාඨමාලාව හැදෑරූ සනත් කුමාර අතුකෝරල නැමැති සිසුවා විසින් මෙම නඩුව පවරා ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු සහ වත්මන් උපකුලපතිවරුන්, පීඨාධිපති, අංශ ප්‍රධානී, කථිකාචාර්යවරුන් ඇතුළු නිලධාරීන් හත්දෙනෙකුට සහ නීතිපතිවරයාට එරෙහිවය.
විභාග ක්‍රියාවලියේදී සිදුවූ අත්තනෝමතික තීරණ හේතුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය සහ මුදල් අපතේ ගිය බවත්, සහෝදර සිසුන් ඉදිරියේ අපහසුතාවට පත්වූ බවත් පෙන්වා දෙන පෙත්සම්කරු, ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා තිබේ.
පෞද්ගලික අමනාපකම් මත ලකුණු කපාහැරීමේ චෝදනාවක්
නඩු ගොනුවේ දැක්වෙන පරිදි, එක් කථිකාචාර්යවරියක විසින් කළ මුදල් ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම සහ බාහිර වැඩමුළුවකදී ඇතිවූ සිදුවීමක් මුල්කරගෙන තමන් සමඟ පෞද්ගලික අමනාපයක් ඇති කරගත් බව පෙත්සම්කරු පවසයි.
එම අමනාපය හේතුවෙන් නියමිත ලකුණු ලබාදීමේ ක්‍රමවේදයෙන් බැහැරව තමන්ව අසාධාරණ ලෙස විභාගයෙන් අසමත් කළ බවටත්, විභාග ප්‍රශ්න පත්‍රය කලින්ම වෙනත් පිරිසකට ලබාදී තිබූ බවටත් බරපතළ චෝදනා පෙත්සම මගින් එල්ල කර ඇත.
විභාග නොපවත්වා ප්‍රතිඵල වෙනස් කිරීමේ ගැටලුව
මුලින් අසමත් කළ බව දැක්වුණු සිසුන් පිරිසක්, කිසිදු යළි විභාගයක් නොපවත්වා මාස කිහිපයකට පසු හදිසියේ සමත් කර නව ලේඛනයක් නිකුත් කිරීම පිළිබඳව ද පෙත්සම මගින් කරුණු මතු කර තිබේ.
අභ්‍යන්තර විමර්ශනයක් සහ අල්ලස් කොමිසමේ පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙද්දීම, විභාග අසමත් වූ සිසුවෙකුට පවා සහතික ප්‍රදානය කර ඇති බව නඩු ගොනුවේ සඳහන් වේ. නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු උපකුලපතිවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පෙරකලාසි ගොනු කළහ.



