පොලීසිය විසින් සිදු කරනු ලබන අපරාධ සම්බන්ධයෙන් උතුරේත්, දකුණේත් නීතිය දෙයාකාරයකින් ක්‍රියාත්මක කිරීම පිළිබදව පොලිස් වෙඩි තැබීමෙන් මරුමුවට පත් දෙමළ දරුවකුගේ මාතාවක් දැඩි ලෙස ප්‍රශ්න කර තිබේ.
"මගේ දරුවා මැරිලා මාස නවයක් වෙනවා. මේ වෙනකම් වැරදිකරුවන්ව අත්අඩංගුවට ගත්තේ නැහැ. වෙනත් වැරදිකරුවන්ව අත්අඩංගුවට ගන්නවා. මොකටද මගේ පුතාව මරපු කෙනාව විතරක් අත්අඩංගුවට ගන්නේ නැත්තේ? ඒක ඇතුළේ තියෙන රහස මොකක්ද? මේකට රජයෙන් මට විසඳුමක් ලැබුණේ නැහැ. මගේ පුතාව මරපු කෙනාට නීතියෙන් දඬුවම් කරන්න. මගේ පුතා ජීවත් වෙන්න ඕන කෙනෙක්."
පොලිස් වෙඩි පහරින් 2026 පෙබරවාරි 10 වැනිදා ඝාතනයට ලක් වු සිත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයස්ගේ නඩු විභාගය 2026 නොවැම්බර් 2 වැනි සදුදා කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනීමෙන් අනතුරුව ඇල්පිනෝ ජානකී මාතාව පළාත් බද මාධ්‍යවේදීන් හමුවේ එලෙස ප්‍රශ්න කළාය.

පොලිස් වෙඩි පහරින් ඝාතනය වූ 17 හැවිරිදි අරුල් ෆයස්ගේ මව, ඇල්පිනෝ ජානකී
මරණ පරීක්ෂණය හෙළි කළ සත්‍යය
අරුල් ෆයස්ගේ ඝාතනයට පසුදා පොලිසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්ව තිබුනේ පෙබරවාරි 10 වැනිදා පොලීසිය විසින් වෑන් රථයකට වෙඩි තැබීමෙන් මියගියේ 19 හැවිරිදි වැඩිහිටියකු බවයි. එහෙත් මරුමුවට පත් සිත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයස් 2008 නොවැම්බර් මස 09 වැනි දින උපත ලද්දකු බව ඔහුගේ උප්පැන්නයේ මෙන්ම මරණ පරීක්ෂණ වාර්තාවේ ද සඳහන් වේ.
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුද්‍රපසුපති මයෝදරන් විසින් මහේස්ත්‍රාත් MNN හුසේන් වෙත 2026 පෙබරවාරි 10 දා යවන ලද මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ පොලිස් වෙඩිල්ලෙන් මරුමුවට පත් 17 හැවිරිදි ඇල්පිනෝ අරුල් ෆයස් ගේ මරණයට හේතුව “රයිෆල් ගිනි අවියකින් පිටවූ උණ්ඩයකින් මෂ්තිෂ්කය විදාරණය වීම” බවයි.
පසුගියදා හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී මියගිය 29 හැවිරිදි දෙදරු පියකුගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකාර පොලිස් නිලධාරියා පසුදාම අත්අඩංගුවට ගැනුනද මාස නමයක කාලයක් ගතවන තුරුත් සිය පුතුගේ ඝාතනයට වග කිව යුතු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට නොගැනීම ගැන අරුල් ෆයස්ගේ මෑණියන් දැඩි කම්පාව පල කළාය.
"අවුරුදු 29ක් වුණ කොල්ලව කොළඹ දී මරපු OICව පහුවෙනිදාම අත්අඩංගුවට ගත්තා. ඒත් මගේ පුතාව මරපු කෙනාව මේ වෙනකම් ඇයි අත්අඩංගුවට ගන්නේ නැතිව තියාගෙන ඉන්නේ? ඒකේ තියෙන සාධාරණය මොකක්ද?”
විමර්ශනවල දුර්වලකම සහ CID මැදිහත්වීම
අරුල් ෆයස් පොලීසිය විසින් මහමග වෙඩිතබා මරා දැමීම සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය සිදු කරන විමර්ශන පිළිබඳව සැහීමකට පත් නොවූ නලිනි සුබාස්කරන් කයිට්ස් මහේස්ත්‍රාත්වරිය එම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස 2026 මාර්තු 12 වැනිදා පොලිස්පතිවරයාට නියෝග කළාය.
වින්දිත පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි සය පුද්ගල නීතිඥ මණ්ඩලය පසුගිය මාර්තු මාසයේ දී අධිකරණයට පෙන්වා දී තිබුනේ ඝාතනයෙන් මාසයකට පසුවත් ඝාතනය සිදු කළ නිලධාරීන්ගේ නම් බී වාර්තාවේ සඳහන් නොවීමත්, තුවක්කුවේ උණ්ඩ කොපු පවා සොයා ගැනීමට පොලීසියට නොහැකි වීමෙන් මෙම විමර්ශනය කෙතරම් දුර්වල ලෙස සිදුවෙමින් පවතින්නේද යන්න පෙන්නුම් කරන බවයි.
කෙසේ නමුත් මාරසිංහ සහ සල්මාන් පොලිස් කොස්තාපල්වරුන්ගේ තුවක්කුවලින් වෙඩි තබා ඇති බව සඳහන් කරමින් දිස්ත්‍රික් අපරාධ වැළැක්වීමේ ඒකකයේ භාර ස්ථානාධිපතිවරයා 2026 පෙබරවාරි 10 වැනි දින අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව වින්දිත පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ආචාර්ය කුමරවඩිවේල් ගුරුබරන් නීතිඥවරයා පසුගිය මාර්තු මාසයේ දී පළාත් බද මාධ්‍යවේදීන් හමුවේ කියා තිබුනි.
"සැකකරුවන් බේරනවා; අපිට තර්ජනය කරනවා"
සිත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයස්ගේ නඩු විභාගය 2026 නොවැම්බර් 2 වැනි සදුදා කයිට්ස් අධිකරණයේදී යළි විභාගයට ගැනීමෙන් අනතුරුව අරුල් ෆයස්ගේ මෑණියන් පළාත් බද මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් කියා සිටියේ සිය පුතුගේ ඝාතනයට සම්බන්ධ සැකකාර පොලිස් නිලධාරීන් එදින හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබු බවයි.
"නඩු විභාගය සිදු වුණා. පුතාගේ මරණ පරීක්ෂණය කළා කියලාවත් දන්නේ නැහැ CID එකෙන් ආපු අයට. එයාලා මුලින් වුණ දේවල් ගැන තමයි අහගෙන හිටියා මිස තුවක්කුවෙන් වෙඩි තියපු අයව සැකකරුවන් විදිහට අරන් ඇවිත් ඉදිරිපත් කළෙත් නැහැ. ඒ ගැන කිසිම දෙයක් කතා කළේ නැහැ. එකට හිටිය සාක්ෂිකරුවන් එකට හිටිය සාක්ෂිකරුවන් කියලා කියාගෙන ඉන්නවා මිස වැරදිකරුවන්ට දඬුවම් කරන්න ඕනේ කියන අරමුණ එයලාට නැහැ. තව තවත් පොලිසියෙන් අපිට තමයි කරදර කරන්නේ. අපේ ගෙදරට තමයි එන්නෙත්, නාහඳුනන අය විදිහට ඇවිත් අපිට කරදර කරනවා. ඉතුරුවෙලා ඉන්න මගේ අනිත් දරුවන්ට මේක නිසා සමහර ප්‍රශ්න ඇති වෙනවා. මේකට සම්බන්ධ වුණ නිලධාරින්ව අත්අඩංගුවට ගන්නේ නැහැ. එයාලා එන්නේ නැහැ. ඒ සර්ලා දෙන්නාව බේරනවා විතරයි. මොකටද බේරන්නේ කියලා මට තේරෙන්නේ නැහැ," යි ඇල්පිනෝ ජානකී ප්‍රකාශ කළාය.
මියගිය දරුවාට මඩ ගැසීමේ උත්සාහයක්
සිය පුතු වෙනුවෙන් යුක්තිය ඉල්ලා දස මාසයක් තිස්සේ සටන් වදින අරුල් ෆයස්ගේ මෑණියන් පළාත් බද මාධ්‍යවේදීන් හමුවේ තව දුරටත් හෙළි කර තිබුනේ සැකකාර පොලිස් නිලධාරින් බේරා ගැනීම වෙනුවෙන් ‘හොර පොලීසිය’ සිය පුතුට අවමන් කරමින්ද සිටින බවයි.
"මගේ පුතාට අවමන් කරන විදිහට නම් කියනවා. ගංජා ජාවාරම් කළා. අරවා කළා. මේවා කළා කියලා කියනවා. එයාගේ අම්මා විදිහට කියන්නම්. මෙයාලා කියන දේවල් බොරු. හොර පොලිසිය, එයාලාව බේරගන්න නඩු ගොතනවා. මගේ පුතාට යුක්තිය ඉටු කරලා දෙන්න."
"මාසයෙන් මාසයට නඩුව කල් යනවා. පොලිස් නිලධාරීන් සහ නීතිඥවරුන් අතර තර්ක විතර්ක කරලත් ඊළඟ නඩු වාරයේදීත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා තර්ක කළා." සිත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයස්ගේ මෑණියන් ඉච්ඡා භංගත්වයෙන් යුතුව සදහන් කළාය.
17 වියැති දරුවාගේ ඝාතනයට වගකිව යුතු පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගැනීමෙන් වැලකී සිටීම හෙලා දකිමින් ඔහුගේ පවුලේ ඥාතීන් හා ප්‍රදේශයේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ගතවු මාස 10 ට ආසන්න කාලය තුළ අවස්ථා කිහිපයකදීම අල්ලෙයිපිඩ්ඩි පොලිස් ස්ථානය අසලදී විරෝධතා දියත් කර තිබුනි.



