ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි දැන් තෙල් පෝලිම, ගෑස් පෝලිමට ටින් පෝලිමත් එකතු වෙලා. අපි දැන් බලන් ඉන්නෙ තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින පාර්ලිමේන්තුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීය:
"ගරු සභාපතිතුමා, බොහෝම ස්තූතියි. ඉතින් විශේෂයෙන්ම මේ අස්වැසුම තෙල්වලට යම් සහනයක් දීම පිළිබඳව මම හිතන්නේ කාගේවත් නොසතුටක් නෑ. හැබැයි ඉතින් එදා පටන් ගන්නකොට කිව්වේ බාන මිලට, නැත්නම් නැවෙන් බාන ගාණට තෙල් දෙනවා කියලා. හැබැයි දැන් ඉතින් ඇමතිවරයා කියනවා ඒක ප්‍රායෝගික නෑලු. එතකොට ඕක ප්‍රායෝගික නෑ කියලා ගරු සභාපතිතුමා, අපිට කියලා වැඩක් නෑනේ. ජනාධිපතිතුමාට නේද ඔය කියන්නේ? මොකද ඔයාලගේ ජනාධිපතිතුමානේ ගිහිල්ලා පොරොන්දු වුණේ බාන ගාණට, නැවෙන් බාන ගාණට තෙල් දෙනවා කියලා. ඒක මේ අපි කියපු කතාවක් නෙමෙයිනේ. හැබැයි දැන් ඉතින් ඕක ජනාධිපතිවරයාට කියන්නේ නැතුව අපිට ඇවිල්ලා කියලා ඒක ප්‍රායෝගික නෑ.
පොරොන්දු වුණු සහන කෝ? බදු පිට බදු ගහලා
ඉතින් ඒ හින්දා මේ අපිට කියලා පළක් වෙන්නේ නෑ. ඔයාලගේ ජනාධිපතිතුමාට ඒක කියාගන්න. අනික ඔය ජනාධිපතිවරයාට රැස්වීම්වලට යනකොට කියන්න ඕන දේවල් අරගෙන ගිහිල්ලා ලියලා දෙන්න. දැන් පහුගිය කාලේ ගිහිල්ලා කිව්වා එතුමාගේ කාලසීමාවේ කිසිම බද්දක් වැඩි කරේ නෑ කිව්වා. කිසිම බදු ප්‍රමාණයක් අලුතෙන් ගැහුවේ නෑ කිව්වා. ආ බලයට එනකොට නම් කිව්වා පාසල් උපකරණවලට, බෙහෙත්වලට, අත්‍යවශ්‍ය ආහාරවලට වැට් එක අයින් කරනවා කියලා. හැබැයි අයින් කරේ නෑ, වැට් එක වැඩි කරා. කලින් වැට් ගාණ තිබිච්ච නැති තැනට වැට් එක දැම්මා. අර අහිංසක මිනිස්සුන්ගේ ගිණුම්වලට, පොලියට, බිත්තිවලින් වැට් එක දැම්මා. වාහනවල බදු වැඩි කරා. තව IT sector එකේ උපදෙස් දෙන සේවා, උපදේශක සේවා, කන්සල්ටන්සිවලට බදු ගැහුවා.
පටන් ගත්තේ තොරතුරු තාක්ෂණය කේන්ද්‍ර කරගෙන මහා දැවැන්ත ආර්ථිකයක් හදන්න ඕනේ කියලා. ඒක හදන්න ඕනේ. අපිත් ඒ මතේ ඉන්නවා. හැබැයි ඔබතුමාලා මොකක්ද කරේ? IT sector එකේ ආණ්ඩුවෙන් කිසිම සහයෝගයක් නැතුව බොහොම අමාරුවෙන් කීයක් හරි හොයාගන්න මිනිස්සුන්ටත් වැට් එක ගැහුවා.
සිස්ටම් එක හදන්නේ නැතුව ෂෝ එක දානවා
ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි දැන් තෙල් පෝලිම, ගෑස් පෝලිමට ටින් පෝලිමත් එකතු වෙලා. ඉතින් අඩු ගානේ තමන්ට දීලා තියෙන වගකීමේ සිස්ටම් එක හදාගන්න බැරි නම්, ඒ පීඩනය දැන් මිනිස්සු අපිට පටවනවා නම්, ගරු සභාපතිතුමා, එක්කෝ ඒක නොකර ඉන්න ඕනේ. එක්කෝ කරන්න ලෑස්ති වෙනවා නම්, ඒකට අවශ්‍ය යටිතල පහසුකම් ටික හදන්න ඕනේ. යටිතල පහසුකම් ටික, සිස්ටම් එක හදන්නේ නැතුව, නිකන් ෂෝ එක දාන්න රැස්වීම්වල මේක කියන්න ඕන හින්දා, පාර්ලිමේන්තුවේ මේක කියන්න ඕන හින්දා, අනිවාර්ය කරාට පස්සේ, ඒ පරිවර්තන කාලසීමාවක් නැතුව, අවසානයේ පීඩනයට පත්වෙන්නේ රටේ ජනතාව.
දැන් එක පැත්තකින් ජීවන වියදම. දැන් තෙල්වලට පොඩි සහනයක් දුන්නා කියලා අනිත් පැත්තෙන් තෙල් මිල වැඩි වෙනවානේ. තෙල්වල බද්ද වැඩි කරනවානේ. අඩු ගානේ තෙල්වල බද්ද අඩු කරන්න. තෙල්වලට ප්‍රායෝගිකව ආණ්ඩුව දාලා තියෙන බද්ද යම් ප්‍රමාණයක් අඩු කරන්න. එහෙමනේ පොරොන්දු වුණේ. තිබ්බ බදු ප්‍රමාණයටත් වඩා තෙල්වලට බදු ප්‍රමාණය වැඩි කරා, රුපියල් 30ක්. අවසානයේදී පීඩනයට පත්වෙන්නේ මිනිස්සු, ජනතාව.
තවත් පැත්තකින් කිරිපිටිවල මිල ගත්තත්, අත්‍යවශ්‍ය ආහාරවල මිල ගත්තත්, ඒ හැම මිලක්ම ජීවන වියදමට එකතු වෙලා තියෙන්නේ අද. ඒ හා සමානව පඩි වැඩි වෙන්නේ නෑ. දැන් ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු බැලුවම ගෑස් පෝලිමක් නෑ. ආ හැබැයි ගමට ගියාම, නගරවලට යනකොට ගෑස් පෝලිම් ගැන, තෙල් පෝලිම් ගැන ජනතාව කතා වෙනවා. ඒක දකින්න තියෙනවා. හැබැයි ඉතින් පාරිභෝගික අමාත්‍යාංශයේ පාරිභෝගික අධිකාරියත් දන්නේ නෑනේ පාන්පිටි මිල වැඩි කරලා කියලා. මෙතැන ඇවිල්ලා ලැජ්ජ නැතුව කියනවා අපි අපෙන් අහන්නේ නැතුවනේ වැඩි කරේ කියලා. ඒක නොකියා ඉන්න ඕනේ.
ආණ්ඩුව හොඳට බොරු කියන්න නම් දක්ෂයි
හැම දෙයක්ම මිනිස්සුන්ගෙන් තමයි වැඩි වෙලා තියෙන්නේ. දැන් මේකට ආණ්ඩුවේ විසඳුම මොකක්ද? ආණ්ඩුවේ විසඳුම තවත් අලුතෙන් බද්දක් ගහන එකද? එහෙම නැත්නම් ඔබතුමාලාගේ සුපුරුදු පුරුද්ද වගේ අපි හොරු අල්ලනවා කියලා පරීක්ෂණයක් කරන එකද? මොකක්ද ආණ්ඩුවේ සූදානම?
අද වෙනකන් ගරු සභාපතිතුමා, ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ජීවන වියදම පාලනය කරන්න, දරාගත හැකි තැනකට මේ රටේ ජීවන වියදම ගේන්න, පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට යන වියදම යම් ප්‍රමාණයක් අවම කරන්න, ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කරන්න කිසිදු සාර්ථක වැඩපිළිවෙළක් අද වෙනකන් මේ අවුරුදු දෙක හමාරක් ඇතුළත ආණ්ඩුව ක්‍රියාත්මක කරලා නෑ. උද්ධමනය 8%ත් ඉක්මවා තියෙනවා. හැබැයි මේ මාසෙත් මේක වැඩි වෙනවා.
දිට්වා වෙලාවේ ආපු හානිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා බොරු කිව්වා. අද වෙනකන් සමහර මිනිස්සු කූඩාරම්වල, සමහර අය අද වෙනකන් තාවකාලික නිවාසවල. පාරවල් අද වෙනකන් හැදෙන්නේ නැහැ. අවුරුදු දෙකකටත් වැඩි කාලයක් අද වෙනකොට ගත වෙලා තියෙනවා. දැන් මේ කාරණාවලට ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැතුව ගරු සභාපතිතුමා, මොන කයිවාරු ගැහුවත් පළක් වෙන්නේ නෑ. මොකද ආණ්ඩුව හොඳට බොරු කියන්න නම් දක්ෂයි.
දැන් අයවැය දෙකක් ඉවරයි, තුන එනවා දැන්. ඒක ඊට එහා බොරු අයවැයක් වෙයිද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මොකද ඔබ ප්‍රතිපත්ති ප්රකාශනයක් ගහලා ඡන්ද කාලේ බෙදුවට, ඒ බෙදපු ප්‍රතිපත්ති ප්රකාශනයේ සතපහක වැඩක් නෑ.
ඉන්න ආයෝජකයොත් දාලා යන තත්ත්වයක්
දැන් මම දැක්කා එක ඇමතිවරයෙක් කියනවා ආයෝජන වෙනවලු. කොහෙන්ද එන්නේ? කවුද ආවේ? අද වෙනකන් ආයෝජකයෙක් ඇවිල්ලා බිහි වෙච්ච, ඔබගේ ආණ්ඩුව විසින් නිර්මාණය කරපු රැකියාවක් පෙන්නන්න. මේ වෙනකොට ඉන්දියානු සමාගමක් බලාගාරයකට ආවා, හරවලා යැව්වා. වරායේ චීන සමාගමක් හිටියා, හරවලා ගියා, වන්දිත් අරගන්නවා. ජපානයේ සමාගම හැරිලා ගියා. මේ වෙනකොට ඔබතුමන්ලා මහ ලොකුවට උජාරුවට කතා කරන ආයෝජකයෝ එක් එක්කෙනා හැරිලා යනවා.
තවත් පැත්තෙන් ආයෝජකයන්ට හිතකර නැති පනත් තියෙනවා. අපි විශ්වාස කරනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) යම් සංශෝධන වෙන්න ඕනේ, නූතනත්වයට ගැලපෙන්න ඕනේ. එදා තිබිච්ච ත්‍රස්තවාදී අරගලයට වඩා වෙනස් ත්‍රස්තවාදී සහ අන්තවාදී අරගලවලට අපිට මුහුණ දෙන්න වෙන්නේ. ඒක තමයි යථාර්ථය. මේ කලාපය ගත්තත්, දකුණු ආසියානු කලාපය ගත්තත් අන්තවාදීන්ගේ ග්‍රහණයට ලක්වෙලා යනවා. ඒකට අපි මුහුණ දෙන්න ඕනේ. ඒකට අවශ්‍ය නව නීති ඕනේ. අන්තවාදයට අවශ්‍ය නව නීති කියන්නේ පච්ච ගහපු කොල්ලා හිරේ දාන එක නෙමෙයි. කොණ්ඩේ වවන් ඉන්න කෙනා කියලා හිරේ දාන එක නෙමෙයි. ඇඳුම් මෝස්තරය බලලා මේක පාතාලේ මෝස්තරයක් කියලා හිරේ දාන එක නෙමෙයි.
දැන් ඔබ එක්ක අරගල කරපු අය අන්න පාරේ. අදත් ඔබ එක්ක අරගල කරලා, ගෙවල් ගිනි දීලා, ආණ්ඩු පෙරළපු අය අදත් පාරේ. ඇයි? ඔබ එදා වෙච්ච පොරොන්දු ඉටු කරන්නේ නෑ. ඔබ ඒ අයත් එක්ක පාරට බැහැලා, ඒ අයගේ ජීවිත පරදුවට තියලා එදා ආණ්ඩුව එක්ක හැප්පිච්ච අය තාමත් පාරේ ඉන්නේ ඇයි? ඊට එහාට ගියපු මර්දනයක් ක්‍රියාත්මක කරන්න ඔබතුමන්ලා සූදානම් වෙන හින්දා. අද PSTA එක, සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ පනත සම්බන්ධයෙන් සමාජයේ විශාල කතිකාවක් තියෙනවා. ආයෝජකයෝ ඔබේ බදු ප්‍රතිපත්තියට එකඟ වෙන්නේ නැත්නම්, මේ රටේ ආණ්ඩුවක් විදිහට ඔබ ගන්න තීන්දු තීරණ නිසා ආයෝජකයෝ ලංකාවට ආකර්ෂණය වෙන්නේ නැත්නම්, ඔබතුමන්ලා ආයෝජකයන්ට අහිතකර පනත් තවදුරටත් ලංකාව තුළ ස්ථාපනය කරන්න උත්සාහ කිරීම තුළ මොකක්ද වෙන්නේ? ඉන්න ආයෝජකයෝ හැරිලා යනවා පමණක් නෙමෙයි, එන්න ඉන්න ආයෝජකයෝ එන්නෙත් නෑ. ඒක තමයි ගරු සභාපතිතුමා යථාර්ථය.
පොලිසිය දේශපාලනීකරණය කරලා මර්දනය දියත් කිරීම
දැන් පහුගිය කාලේ එක තැනක පොලිස්පතිවරයාට නියෝගයක් හම්බවෙනවා පහළ අධිකරණයකින්, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්. හේතුව තරුණයෙක්ව ගිහිල්ලා බොරුවට නඩු දැම්මා. දැන් ඒ කාලේ කිව්වේ 'ආ නාමල්ට විරුද්ධව බොරු සාක්ෂි දෙනකොට, නාමල්ට විරුද්ධව දිවුරුම් ප්‍රකාශ කරනකොට කමක් නෑ, නාමල් විතරයිනේ' කියලා. හැබැයි අද මොකක්ද වෙලා තියෙන්නේ? අද ඒක විපක්ෂයේ සිට මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් දක්වා ගලාගෙන ගිහිල්ලා තියෙනවා. විපක්ෂයේ ඉඳන් සාමාන්‍ය පුරවැසියා මර්දනය කරන තැනට ඇවිල්ලා තියෙනවා. අවසානයේ අමාරුවේ වැටෙන්නේ පොලිසියේ නිලධාරීන්, ඔබතුමන්ලාගේ දේශපාලන නියෝග ඉෂ්ට කරන්න ගිහිල්ලා.
මත්ද්‍රව්‍ය දාලා දරුවෙක්ව, පුද්ගලයෙක්ව ගිහිල්ලා උසාවියට ඉදිරිපත් කරනවා. පොලිස්පතිවරයා පැත්ත පළාතක නෑ. අන්න හෝමාගම සිද්ධිය, පොලිසිය ඇතුළේ තරුණයෙක් ඝාතනය වෙනවා. මොකක්ද ඔබතුමන්ලාගේ ආණ්ඩුව කරලා තියෙන සාධාරණය? අනිත් පැත්තේ ත්‍රීවීල් එකට වෙඩි තියෙනවා. ඒ දරුවගේ අම්මා කතා කරාම කියනවා මරන්න තමයි වෙඩි තිබ්බේ කියලා. අවුරුදු 16ක දරුවෙක්. අම්මට පොලිසියෙන් කියනවා මරන්න තමයි වෙඩි තිබ්බේ කියලා. එහෙම නීතියක් කොහෙද තියෙන්නේ ගරු සභාපතිතුමා? ත්‍රීවීල් එකක් ගිහිල්ලා පොලිසියෙන් නැවැත්තුවේ නැත්නම් ඒකෙ රෝදෙට වෙඩි තියන්න පුළුවන්. මේක හඹා ගිහිල්ලා හිතාමතා ඝාතනය කිරීමේ උවමනාව ඇතුව තියපු වෙඩිල්ලක් බව තමයි පේන්නේ. ඒ දින වකවානුවලම තවත් සිද්ධියක් තියෙනවා, ත්‍රීවීල් එකකට වෙඩි තියලා නාවික හමුදාවේ සෙබළෙක් ඝාතනය වෙනවා. හැබැයි ඔබතුමන්ලාගේ න්යායපත්රය මොකක්ද?
දැන් කොළඹ මේ තදාසන්න ප්‍රදේශවල, ලංකාවේ හැම තැනම ත්‍රීවීල් දුවනවා. යම්කිසි හේතුවකින් ත්‍රීවීල් එක පදවන මනුස්සයා වාහනය නවත්වන්නේ නැතුව ගියොත් සභාපතිතුමා, ටැක්සියේ නැගලා යන අහිංසක මගියාටයි වෙඩි වදින්නේ. නවත්වන්නේ නැති රියදුරාට නෙමෙයි. විභාග ලියන්න ඉන්න දරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් මොකක්ද කිව්වේ? මත්ද්‍රව්‍ය තියෙනවා කියලා. ඇයි? පොලිසියේ පුරුද්ද පැහැදිලිවම බොරු සාක්ෂි හදන එක. ඒක තමයි ඔබතුමන්ලාගේ ආණ්ඩුවේ න්යායපත්රය.
මන්ත්‍රීගේ ගංජා හේනට ගැසූ පොලිස් නිලධාරියාට වූ දේ
කුරුණෑගල පොලිසිය ඇතුළේ පුද්ගලයෙක් ඝාතනය වෙනවා. තව තැනක පොලිසියෙන් යනවා ගෙදරක් සර්ච් කරන්න. සෝදිසි කරන්න කියලා ගෙදර මංකොල්ල කාලා යනවා. මම දැක්කා අද නිවුස්වලත් ඒක යනවා. පොලිසියෙන් ගිහිල්ලා ගෙදර සෝදිසි කරලා සල්ලි ටික කොල්ල කාලා ඇවිල්ලා. දැන් ඔබතුමාලා සම්පූර්ණයෙන්ම පොලිසිය දේශපාලනීකරණය කරනවා. අවසාන ප්‍රතිඵලය තමයි ඒක.
අන්න ඇඹිලිපිටිය පොලිසිය, මොකක්ද වුණේ? ඔබතුමන්ලාගේ මන්ත්‍රීවරයෙක්ගේ ගංජා හේනක් වැටලුවා. ගංජා හේන වැටලුවම මොකක්ද වුණේ? මන්ත්‍රීවරයා කරේ නෑ, පොලිසියෙන් නිර්මාණය කළා කියලා කිව්වා. පොලිසියේ නිලධාරියාට ගැහුවා. අවසානයේ චෝදනා ගොනු කරගන්න බැරිව පොලිසියේ කෙනා නිදහස් කරනවා. අද වෙනකන් ලැජ්ජයිනේ ගරු සභාපතිතුමා, ඒ රාජකාරිය කරපු මනුස්සයාට රස්සාව දීලා නෑනේ. ඔබලාගේ මන්ත්‍රී කෙනෙක්ගේ ගංජා හේන අල්ලපු වැරැද්දට රස්සාව නැති වෙලා, ගුටිත් කාලා ඉන්නවා. මානව හිමිකම් එකෙන් නියෝගයක් දීලා තියෙද්දීත් ඒ මිනිස්සුන්ට රස්සාව දෙන්න අද වෙනකන් ඔබතුමන්ලාගේ ආණ්ඩුව මැදිහත් වුණාද?
කාවන්තිස්ස ඇතාගේ ඇත්ත ඝාතකයෝ කෝ?
අනිත් පැත්තේ කාවන්තිස්ස ඇතාගේ සිද්ධිය, මොකක්ද වෙන්නේ? ඔබතුමන්ලා සමාජයට පෙන්නන්න ඕන හින්දා ගමේ ගියපු මනුස්සයෙක්ව ගෙනල්ලා වැරැද්ද බාරගන්න කියනවා. බොරු සාක්ෂි හදන්න කියනවා. ගමේ අයට කියනවා බොරු සාක්ෂි දෙන්න කියලා. අද ගමම සම්පූර්ණයෙන් පොලිසියට විරුද්ධව, බොරු සාක්ෂි හදන තැනට විරුද්ධ වෙනවා. අවසානයේ මොකක්ද වෙන්නේ? කාවන්තිස්ස ඇතාගේ ඇත්ත ඝාතකයෝ හැංගෙනවා. කාවන්තිස්ස ඇතාගේ ඇත්ත ඝාතකයෝ ඔබතුමන්ලා හොයන්නේ නැද්ද කියන ප්රශ්නය අපිට තියෙනවා.
ඉතින් ඒ හින්දා ගරු සභාපතිතුමා, අවසාන වශයෙන් මම මතක් කරන්නේ, කරුණාකරලා මේ රටට ආයෝජකයෝ ගේන්න ඕන නම් ආයෝජකයන්ට නිසි ගෞරවය දෙන්න. මේ රටේ ජනතාවට අවශ්‍ය රැකියා උත්පාදනය කරන්න. මේ ආර්ථිකය හසුරුවනවා කියන කාරණය ඔබතුමන්ලාට පාර්ලිමේන්තුවට ඇවිල්ලා කයිවාරු ගහලා, අමු පච කියලා කරන්න බෑ. ඒ හින්දා සැලැස්මක් එක්ක වැඩ කරන්න. දැන් අපි බලන් ඉන්නවා තුන්වැනි අයවැයේදී ජනාධිපතිතුමා පච කීයක් කියනවද කියලා ගණන් කරන්න."



