ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ ආන්දෝලනාත්මක නඩුවේදී තමන් කිසිදු ප්‍රසම්පාදනයකට අත නොපෙවූ බවත්, සිදුවූ වංචාවට මුල්ම පැමිණිල්ල දැමුවේ තමන් බවත් පවසමින් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ දීර්ඝ විත්තිවාචක ඉදිරිපත් කරයි.
"කිසිම ප්‍රසම්පාදන කටයුත්තකට මා අත පොවලා නෑ. කිසිම බලපෑමක් කරලත් නෑ. ඒ සම්බන්ධයෙන් කිසිවක් මම කාටවත් කියලත් නෑ. ඒක ස්වාධීනව සිදු කරන කටයුත්තක්. ස්වාධීනව සිදු කරන දෙයක්. සෞඛ්‍ය අමාත්‍යවරයෙක් ලෙස ප්‍රථම වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුල්ම පැමිණිල්ල යොමු කිරීමට කටයුතු කළේ මම." යැයි හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ප්‍රමිතියෙන් තොර ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේදී අට වන විත්තිකරු ලෙස විත්ති කූඩුවේ සිට සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම පසුගියදා අවසන් කරන ලදි. විත්තියෙන් සාක්කි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස කරන ලද ඉල්ලීම අධිකරණය විසින් මීට පෙර ප්‍රතික්ෂේප කරන ලදී. ඒ අනුව විත්තිකරුවන්ගේ විත්තිවාචක කැඳවීමට තීරණය කළ අතර විත්තිකරුවන් හය දෙනකු විසින් සිය විත්තිවාචක ඉදිරිපත් කිරීම අවසන් කර තිබේ.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නඩුවේ හත්වන විත්තිකරු වන වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් විත්තිවාචකය ඉදිරිපත් කරමින් මෙසේ සඳහන් කළේය.
"චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා" - නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්
"ස්වාමීනි, මේ අධි චෝදනාපත්රයෙන් ඉදිරිපත් කර ඇති සියලු චෝදනා මා තරයේ ප්‍රතික්ෂේප කරනවා.
ප්‍රධාන තොග පාලක වන නන්දන බණ්ඩාර තමයි ඖෂධ ලැයිස්තුව සකස් කළේ. එය SPC එකට යැවීම සිදු කළා. එය සකස් කිරීමට අතිරේක ලේකම්වරයා විසින් එවා තිබුණු ලිස්ට් එක උපයෝගී කරගෙන තිබුණා. සැප්තැම්බර් මස 22 පැවති රැස්වීම අදාළ කරගෙන තිබුණා. ඒ රැස්වීමට මට යන්න ලැබුණේ නෑ. වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය චන්දන විජේසිංහ මහතා ඊට සහභාගි වී තිබුණා. වෛද්‍ය සැපයුම් ඒකකයේ තිබූ හිඟ ලැයිස්තුවක් ගේන්න කියල තමයි තිබුණේ. ඒ වන විට ඔවුන්ගේ priority list එකක් තිබුණා. ඒ අනුව තමයි අදාළ ලිස්ට් එක සකස් කර තිබුණේ.
26 වෙනිදා වෛද්‍ය චන්දන විජේසිංහ නන්දන බණ්ඩාරට කියලා තිබුණා ඖෂධ ලැයිස්තුවේ සාරාංශයක් හදන්න කියලා. හිඟ ඖෂධ වලට අදාළ කරුණු ඇතුළත් කරලා නන්දන බණ්ඩාර ඒ ලැයිස්තුවත් හදලා වෛද්‍ය චන්දන විජේසිංහට දීලා තිබුණා. ඔහු ඒක කැබිනට් එකට යැවූ බව දැන ගත්තා. මම විසි දෙවෙනිදා පැවති රැස්වීමට සහභාගී නොවූ බවට නන්දන බණ්ඩාරත් මේ අධිකරණයේ සාක්ෂි ලබා දුන්නා.
ඔක්තෝම්බර් මස 10 වෙනිදා රැස්වීමක් තිබුණා, ඖෂධ සම්බන්ධයෙන් අදාළ කාරණා කතා කිරීමට. ඒ සම්බන්ධ නිලධාරීන් කැඳවාගෙන මමත් එම රැස්වීමට ගියා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්, SPC ආයතනයේ සභාපති, සාමාන්‍යාධිකාරී, NMRA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු පිරිසක් එහි සිටියා. එහිදී කතා කළේ ICL වල තිබුණ ප්‍රමාදය ගැන. Cancer drugs වල හිඟයකුත් තිබුණා. ඒකට අවශ්‍ය සැපයුම් ලබාගන්නේ කොහොමද කියලා තමයි කතා කළේ.
28 වැනිදා මෙම අධිකරණයේ පැ. 264 ලෙස ලකුණු කර ඇති සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපියක් ලැබුණා. ICL ක්‍රමවේදය භාවිතා කිරීමට පෞද්ගලික අංශය හවුල් කර ගැනීමට අදාළව තමයි එය නිකුත් කර තිබුණේ. ඒ ගැන කැබිනට් තීරණයකුත් අරගෙන තිබුණා. එහිදී register සහ unregistered සියලුම අය සලකලා බලන්නත්, මිල කමිටු යාන්ත්රණයට යටත්ව මිල තීරණය කරලා මිලදී ගන්නත් කියලා උපදෙස් ලබාදී තිබුණා. වෛද්‍ය සැපයුම් ඒකකයට කියලා තිබුණා මාස තුනකට අවශ්‍ය ඖෂධ ලබාගැනීමට අවසර දෙන බව.
මේ සඳහා biddersලා ඉදිරිපත් වී තිබුණා. Procurement කමිටුවකින් තමයි තෝරා ගැනීම් කළේ. ඊළඟට කියා තිබුණා සැපයුම්කරු තෝරාගෙන ඉවරයි, letters of acceptances නිකුත් කරන්න කියලා. MSD එකට කියලා තිබුණා purchasing orders නිකුත් කරන්න කියලා. Evaluation කමිටුවක් තිබුණා. ඒ පිළිබඳව මා පසුව දැනගත්තා. දෙනාවත්ත මහත්මියගේ සභාපතිත්වයෙන්, එහි තවත් හතර දෙනෙක් සිටියා. HSEPC කමිටුව ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් පැවතුණා. ඒකෙත් සාමාජිකයින් තුන්දෙනෙක් හිටියා. ඒ සියලු කමිටු වලින් ප්‍රසම්පාදනය ඉවර කරලා තමයි මේ ලිපිය මා වෙත ලැබී තිබුණේ.
ලේකම්වරයා විසින් උපදෙස් නිකුත් කර තිබුණා මේකට අවශ්‍ය මුදල් ICL එකෙන් හෝ වෙනත් Funding source එකකින් ගන්න පුළුවන් බව. ඒකට අදාළ document සමග invoice ඉදිරිපත් කර තිබුණා."
ලිපිගොනු සහ වවුචර් අනුමත කිරීමේ ක්‍රියාවලිය
"ස්වාමීනී, මට කරන්න තිබුණේ ලේකම්වරයාගේ උපදෙස් වෛද්‍ය සැපයුම් ඒකකයේ නිලධාරීන්ට දැනුම් දීම. ඒ උපදෙස් 305, 306, 307 යන ලිපි වලින් මම සිදු කළා. ලේකම්තුමා තවත් ලිපියක් එවා තිබුණා Purchasing orders දෙන්න කියලා. Purchasing orders දෙන්න නම් order list එකක් තියෙන්න ඕන. ඒ අනුව order list එකක් හදන්න මම උපදෙස් දුන්නා. ඒ වන විට SPC V orders තිබුණා. ඒක MSD V orders වලට පරිවර්තනය කරන්න කියලා කිව්වා.
Order list එකකදී සැපයුම්කරුට quantity එක decide කරන්න ඕන. ඒ වෙනකොට අපි MSD එකට යැවූ ලිස්ට් එකක් තිබුණා. Secretaryත් list එකක් එවා තිබුණා. එසේම letter of acceptance කියලා එකක් තිබුණා. මේවා ගලපා ගන්න තමයි උපදෙස් දුන්නේ. ඒවා සම්බන්ධ කරලා ලිස්ට් එකක් හදන්න කියලා තමයි උපදෙස් දුන්නේ.
මේ ක්‍රියාවලිය තුළින් ඇනවුම් දෙපාරක් ඉදිරිපත් වීමක් කොයි වෙලාවකවත් සිදු වුණේ නෑ. ඒ බව පැ. 293 ලෙස ලකුණු වී ඇති ලේඛනයෙන් පේනවා. සාක්ෂි දෙන්න ආ හිජාස් නමැති නිලධාරියත් එය තහවුරු කළා.
සැපයුම් අංශයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා කිව්වා සැපයුම් එන්නට පටන් අරගෙන තියෙන්නේ, ඒකට ගෙවීම් කරන්න වැය විෂයක් හඳුනාගත යුතුයි කියලා. ඒකට ලේකම්වරයාගෙන් උපදෙස් ගන්න කිව්වා. ඒ අනුව තමයි ලේකම් උපදෙස් දුන්නේ ICL හෝ වෙනත් source එකක් භාවිතා කරන්න කියලා. ඒ සඳහා පැ. 264 දරන ලේකම්වරයාගේ ලිපියෙන් අනුමැතිය ලබාදී තිබුණා.
පෙබරවාරි 15 වැනිදා ඖෂධ ලැබෙමින් තිබෙන විට ඒ ගැන මා අතිරේක ලේකම්වරයාට දැන්වුවා. ඖෂධ එකසිය පනස් නවයකට සැපයුම්කරුවන් තෝරාගෙන තිබුණත් ඒ වන විට ලැබී තිබුණේ නමයක් පමණයි. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා මම උපදෙස් ඉල්ලුවා.
මාර්තු 01 වැනිදා සැපයුම්කරුවන්ගෙන් ප්‍රමාද ගාස්තු අය කරගන්න එපා කියලා ලේකම්ගෙන් ලිපියක් ලැබුණා. ඒ වන විට ප්‍රමාද ගාස්තු අය කරමින් සිටියේ. ඒ බව මම අධ්යක්ෂවරයාට දැනුම් දුන්නා. අනෙක් අයට ඒ බව දැනුම් දීම ඔහු විසින් සිදු කරනවා.
මැයි මාසය වන විට ඇනවුම් කළ රිටොක්සිමැබ් ඖෂධය ලැබීමටද පටන් අරගෙන තිබුණා. ඒ ඖෂධය භාර ගැනීමේ ක්‍රියාවලිය පටන් ගත්තේ MSD එකෙන්. සැපයුම්කරු අදාළ ලියකියවිලිත් භාණ්ඩත් අරගෙන ආවා. Invoice, purchasing order, WOR පිටපත ඉදිරිපත් කරලා තිබුණා.
ඉස්සෙල්ලාම ඉන්නේ අදාළ තොග පාලක නිලධාරීවරයා. මේ ඖෂධය බාරගත්තේ ප්‍රියන්ත කස්තුරිසිංහ කියන නිලධාරියා. එහිදී සාම්පල් ලැබෙනවා, ඒවා පරීක්ෂා කර බැලීමේ ක්‍රමවේදයක් තියෙනවා. චෙක්ලිස්ට් එකක් සම්බන්ධයෙන් කරුණු හයක් තියෙනවා. ඒ කරුණු හය සම්පූර්ණ වුණාම උපදෙස් ලබා ගැනීම සහකාර අධ්යක්ෂවරයෙකුගෙන් සිදු කරගන්නවා. මේකෙදී චාන්දනී වන්නිආරච්චි තමයි ඒ අනුමත කර තිබුණේ. ඒ අනුව ඒ ලියකියවිලි CIU එකටත් එතනින් ගණකාධිකාරී සැපයුම් වෙතත් යවනවා. එහිදී කරන්නේ මේ මිල තහවුරු කිරීමක්. ප්‍රසම්පාදනයක ඇති මිල හා සැපයුම්කරු සපයා ඇති මිල සංසන්දනය කර බලනවා. Dollar rate එකට ගලපා බැලීමක් කරනවා. මේ සැපයුම්කරුට ගෙවීමට සුදුසුද කියන එක බලනවා. මේ ලේඛන ටික ගබඩා අංශයට යවනවා. ගබඩා අංශයෙන් කමිටුවට ගිහින් දෙනවා, ලේඛන අරගෙන පරීක්ෂා කර බලනවා."
භාණ්ඩ භාරගැනීම සහ වවුචර් අත්සන් කිරීමේ සීමාවන්
"ස්වාමීනී, එහිදී සහකාර අධ්යක්ෂ ගබඩා බලනවා. එයා බලලා සහතික කරනවා. පසුව නැවත MSD වෙත එවනවා. පද්ධතියට ඇතුල් වී GRN එක ගන්න පුළුවන්. පිටපත් තුනක් අරගෙන ප්‍රධාන ගණකාධිකාරී, ගණකාධිකාරී සැපයුම් හා ප්‍රධාන ලිපිගොනුවට දානවා. එතනින් භාණ්ඩ භාර ගැනීම අවසන් වෙනවා. ඒ වන විට නිලධාරීන් හය දෙනෙක් ඒවා පරීක්ෂා කර බලනවා.
GRN එකේ copy එකක් Account supply වෙත යවනවා. ගෙවීමක් කිරීමට වවුචර් එකක් හදන්න ඕනේ. ඒකෙදි ඉන්නවා නිලධාරීන් කොටස් දෙකක්. සහතික කිරීමේ නිලධාරී එක්කෙනෙක්. වවුචර එක හදලා තියෙන්නේ කළමනාකාර සහකාර නසීර් විසින්. ඔහු මේ වවුචර් හදන එක ගැන හොඳින් දන්නවා. ඔහුව මේ අධිකරණයට කැඳෙව්වේ නෑ. තවත් වවුචර් තුනක් සම්බන්ධයෙන් නිලධාරීන් තුන්දෙනෙක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. එක් අයෙක් නිහාල් රංජිත්, ඔහු එය චෙක් කර තිබෙනවා. ඉතිරි වවුචර් තුන අත්සන් කළේ කවුද කියලා අද වෙනකන් අනාවරණය වී නෑ. වවුචර් හතර ගණකාධිකාරී සැපයුම් වෙත ඊළඟට යවනවා. ගණකාධිකාරී සැපයුම් මේවා පරීක්ෂා කර බලා ගෙවීම් නිර්දේශ කරනවා. ඊට පස්සේ අධ්‍යක්ෂකට යවනවා. ඔහු ඒවා බලලා සීමාව ඉක්මවා යනවා නම් එය මා වෙත යොමු කරනවා. ඔහුගේ සීමාව ඒ වන විට තිබ්බේ මිලියන 25යි. ඒ නිසා ඒක මට එවා තිබුණා. GRN, invoice, WOR පිටපත් ඒවා තිබුණා. වවුචර අනුමත කිරීමේදී මම භාවිතා කරන ක්‍රමවේදයක් තිබෙනවා. මුදල් සීමාව තහවුරු කරගන්න ඕනේ, මගේ සීමාවද කියලා.
2023/12/21 දින සෞඛ්‍ය ලේකම් ලිපියක් ඒවා තිබුණා. ඒ විදිහට DDGට අදාළ මුදල මිලියන 40යි. ඒ වවුචර මිලියන 40කට අඩු නිසා මගේ සීමාවේ තිබුණේ. මුදල් රෙගුලාසි අනුව සලකා බැලිය යුතු කාරණා හයක් තියෙනවා. එහි සැපයුම් කොන්දේසි අංක පහ තමයි ගෙවීමට ඇති විධිමත් අනුමැතිය. සෞඛ්‍ය ලේකම්ගේ අනුමැතිය ලැබී තිබුණා මේ ගෙවීම් කරන ලෙස. ඒ අනුව මුදල් රෙගුලාසි සම්බන්ධ කාරණා හතරක් පරීක්ෂා කර නිවැරදියි කියලා තේරුම් අරගෙන වවුචර පත් අත්සන් කළා.
ඊළඟට ස්වාමීනි, පැමිණිල්ලෙන් චෝදනා කළා වවුචර අත්සන් කිරීම පෙබරවාරිවල සැපයුම්කරුගේ ඉල්ලීම මත කළ බව. ස්වාමීනී, වවුචර දහස් ගණනක් තියෙනවා. ඒවාගෙන් එක සැපයුම්කරුවෙකුගේ ඒවා පමණක් සොයාගෙන ඇවිල්ලා අත්සන් කරන්න බෑ. ලේඛන ගණනාවක් අත්සන් කරනවා, මෙහෙම ඉල්ලීමක් කළාද කියලවත් මට මතක නෑ.
අත්සන් කළ වවුචර් ඊළඟට සහතික කිරීමට යවනවා. ඒක කළේ ප්‍රධාන ගණකාධිකාරී. සියලුම දේ පරීක්ෂා කරලා නිවැරදි නම් පමණයි සහතික කළ හැක්කේ. මොකක් හෝ දෝෂයක් තිබෙනවා නම් අත්සන් කරන්න බැහැ. ඔහු එය සහතික කර තිබ්බා. ඒ අනුව කිසිම දෝෂයක් තිබූ බවනම් නිරීක්ෂණය කර තිබුණේ නෑ.
ගෙවීම් කළේ ප්‍රධාන ගණකාධිකාරීවරයා. මම හිතනවා ඔහු නිවැරදියි කියලා, ඔහු කිසිම දෝෂයක් නිරීක්ෂණය කර තිබුණේ නෑ. ගණකාධිකාරී වැඩ කරලා තියෙන විදිය හරියටම නිවැරදියි කියලා තමයි මම තේරුම් ගත්තේ."
"රජයට පාඩුවක් කරන චේතනාවක් තිබුණේ නෑ"
"මේ නඩුවේදී procurement entity ගැන කතා කළා. රාජ්‍ය අමාත්‍යාංශය විසින් තමයි procurement notice එකක් promise.lk වල publish කරේ. එය උසාවියේ ලකුණු කළ ලේඛනයේ තිබෙනවා. එහි පැහැදිලිවම තියෙනවා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන හා නියාමන අමාත්‍යාංශය කියලා.
තරින්දි දාබරේගෙන් ඇහුවා procurement entity එක තියෙනවා MSD කියලා තිබුණ එක ගැන. ඇය පිළිගත්තා ඒක ඇයගෙන් වුණ වරදක් බව. Procurement entity එක ගැන ලේකම්තුමාගෙන් මට කිසිදු දැනුවත් වීමක් සිදු වුණේ නෑ.
ස්වාමීනි, 2022 වසරේදී මේ සිද්ධියට මුහුණ දුන්නා. සැපයුම්කරු සමග කිසිදු පුද්ගලික සම්බන්ධයක් නෑ. ඔහුට පුද්ගලික වාසි අරන් දෙන්න කටයුතු කරලා නෑ. රජයට අලාභ වෙන්න කටයුතු කරලත් නෑ. රජයට පාඩුවක් කරන චේතනාවක් තුන් හිතකවත් තිබුණේ නෑ.
මේ නඩුවට අදාළව සාක්ෂි ලබා දුන් සහකාර අධ්‍යක්ෂිකාවක වන චාන්දනී කළ ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍යයි. ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් තියෙන චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා."
එම ප්‍රකාශයත් සමඟ හත්වන විත්තිකරුගේ නඩු කටයුත්ත අවසන් කරන බව ඔහුගේ නීතිඥ අරවින්දු මනතුංග ආරච්චි මෙනෙවිය අධිකරණයට දැනුම් දුන්නාය.
කෙහෙළිය විත්ති කූඩුවට: මතකය අලුත් කරගැනීමට අවසර
හත්වන විත්තිකරුගේ විත්තිවාචකය ඉදිරිපත් කිරීම අවසන් කිරීමෙන් පසුව අටවන විත්තිකරු වන හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සිය විත්තිවාචකය ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. සිය සේවාදායකයා මේ වන විට මානසික ආතතිය සම්බන්ධ රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ගනිමින් සිටින අතර ඔහුට ක්ෂණිකව මතකය අමතක වීමේ තත්ත්වයක් ඇති බැවින් මෙම විත්තිවාචකය ප්‍රකාශ කිරීමට ලේඛනයක් බලා මතකය අලුත් කරගනිමින් අදාළ ප්‍රකාශය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස හෙතෙම විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.
එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ ලේඛනයක් බලාගෙන අදාළ ප්‍රකාශය කළ නොහැකි නමුත් එම ලේඛනය බලා සිය මතකය අලුත් කරගෙන ප්‍රකාශය කිරීමේ හැකියාව විත්තිකරුට ඇති බවය. ඒ අනුව නීතිඥවරයා විසින් කරන ලද ඉල්ලීමට විනිසුරු මඩුල්ලේ අවසරය හිමි විය.
අනතුරුව විත්තිවාචකය ඉදිරිපත් කරමින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මෙසේද ප්‍රකාශ කළේය.
"ස්වාමීනී, මම ස්තූතිවන්ත වෙනවා මට මේ අවස්ථාව දීම සම්බන්ධයෙන්. මගේ නම කෙහෙළිය රඹුක්වැල්ල, මගේ බිරිඳ කුසුම් රඹුක්වැල්ල. මට දියණියන් තුන්දෙනෙකු සිටිනවා, පුතෙක් සිටිනවා, මුණුබුරු මිණිබිරියන් තුන්දෙනෙක් සිටිනවා. මම මහනුවර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අ.පො.ස. උසස් පෙළ සමත් වුණා. පසුව ශ්‍රී ලංකා හෝටල් පාසලේ වසර තුනක ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවා. පසුව රටින් බැහැරව අධ්‍යාපන කටයුතු සිදු කළා. 1976 වසරේදී මා ලංකාවට ආවාට පසුව මගේ පියා කතා කරලා කිව්වා රැකියාවක් කරන්න අවශ්‍ය නැහැ, ඔහුගේ ව්‍යාපාර බලාගන්න කියලා. ඒවා මට භාර දුන්නා, මම ඒවා හොඳින් කරගෙන ගියා. හෝටල් ක්ෂේත්රයේ කටයුතු කළා. සාර්ථක ව්‍යාපාරිකයෙක් ලෙස මට මගේ ව්‍යාපාර කරගෙන යන්නට පුළුවන් වුණා. පියා ලබාදුන් ව්‍යාපාර වලට අමතරව මගේම කියලා ව්‍යාපාර තුනක් ආරම්භ කරලා පවත්වාගෙන යන්න මට පුළුවන් වුණා. පුළුවන් හැම අවස්ථාවකදීම අනිත් අයටත් උදව් කරමින් ජීවත් වෙන්නට හැකියාව ලැබුණා."
"මම අහම්බෙන් දේශපාලනයට ආව කෙනෙක්"
"ස්වාමීනී, මම දේශපාලනයට සම්බන්ධ වුණේ 1993 වසරේදී. ඒ වන විට ව්‍යාපාර ගණනාවක් කළා. මම අහම්බෙන් දේශපාලනයට ආව කෙනෙක්. මම හැමවෙලේම කියන්නේ මම අහම්බෙන් මේ දේශපාලනයට සම්බන්ධ වුණා කියලයි. දේශපාලනඥයෙක් ලෙස මගේ ප්‍රබල මිතුරෙක් හිටියා, ඔහු නිරන්තරයෙන් කළ ඉල්ලීම නිසා මා 1993 මධ්‍යම පළාත් සභාවට ඉදිරිපත් වුණා. එම මැතිවරණයෙන් තේරී පත්වුණා. අමාත්‍යවරයෙකු ලෙස ප්‍රබල විෂයයන් හයක් භාරගෙන පරිපාලන කටයුතු කළා. ඉන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණා. ජ්‍යෙෂ්ඨයින් ගණනාවක් සිටියදී විශිෂ්ට ජයග්‍රහණයක් අරගෙන පාර්ලිමේන්තුවට පැමිණීමට මට හැකියාව ලැබුණා.
2024 පෙබරවාරි 04 වැනිදා වෙනකම්ම මම පාර්ලිමේන්තුවේ කාලය ගත කළා. වරින් වර පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. වසර තිස් දෙකක් දේශපාලනඥයෙක් ලෙස කටයුතු කළා. ඉන් වසර විස්සක් අමාත්‍යවරයකු ලෙස අමාත්‍යාංශ නමයක කටයුතු කරන්න හැකියාව ලැබුණා.
2021 වසරේ පළවෙනි වතාවට මට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු භාර ගන්නට සිදුවුණා. එදා ජනාධිපතිතුමා උදේ හයට විතර කතා කරලා කිව්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා, ඒක බාර අරගෙන කරගෙන යන්න කියලා. ඒ වන විට ඉතාම අමාරු තත්ත්වයක් තිබුණේ. මුදල් ඇමතිවරයා ලෙස අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී කිව්වා විදේශ මුදල් සංචිත ඩොලර් මිලියන හතළිස් එකයි තියෙන්නේ කියලා. ඒ වන විට ඇවිල්ලා තිබුණු නැවේ බඩු ගන්නත් ඩොලර් මිලියන හතළිස් පහක් අවශ්‍යව තිබ්බා. එවැනි භාරධූර කාලයකදී තමයි මම මේ වගකීම බාරගත්තේ. එහිදී එකම අරමුණ වුණේ මේ කටයුතු කොහොමද කරන්නේ කියන එක.
පසුව දේශපාලන අස්ථාවරභාවය නිසා මුළු කැබිනට් මණ්ඩලයම එකවරම ඉල්ලා අස්වුණා. 2022 මැයි මස විසිවැනිදා සිට 2023 මැයි 23 වැනිදා වෙන තෙක් ඇමතිවරයා ලෙස කටයුතු කළා. මගේ ගම මහනුවර. මෙහි තියෙන්නෙ නිල නිවාසයක්. මගේ නම, ලිපිනය, දුරකථන අංකය, ඊමේල් ලිපිනය ඕනෑම අයකුට මේ වෙලාවේදී වුණත් ගන්න පුළුවන්. පාර්ලිමේන්තු වෙබ් අඩවියෙත් එය තියෙනවා. ඕනෑම අයෙකුට ඒ ඕනෑම දෙයක් බලා ගන්න පුළුවන්.
මේ අධිකරණයට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරමින් මට එල්ල කර ඇති චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා. මම මානසික ආතතිය, ව්‍යාකූලත්වයකට පත්ව සිටිනවා. කෙටි කාලීනව මතකය අමතක වෙනවා. ඒත් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා, එය තහවුරු කර ගැනීමට වෛද්‍ය වාර්තා පවා තිබෙනවා.
2021 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගන්නා විට විශාල අර්බුදයක් තිබුණා. ආර්ථික අර්බුදය එක්ක තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වුණා."
කැබිනට් පත්‍රිකා සහ සාමූහික වගකීම
"ස්වාමීනී, මට එල්ල වුණ චෝදනාව කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීම. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම නිවැරදිව මා කළ බව මම කියනවා.
පළවෙනි කැබිනට් මණ්ඩල පත්‍රිකාව 2021 මැයි 3 වැනිදා ඉදිරිපත් කළේ. 2021 කොවිඩ් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තිබුණා. ඒක ඖෂධ හිඟය මඟහැරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක්. 2022 වසරේදී ආර්ථික අර්බුදයත් විදේශ විනිමය හිඟකමත් නිසා විශාල ප්‍රශ්නයක් තිබුණා. ඖෂධ ගොඩක් පිටරටින් තමයි ගෙනාවේ. ඩොලර් මිලියන 400ක් පමණ සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්ෂිකව වැය වුණා.
කොවිඩ් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ටික දිනකට දීර්ඝ කරන්න කියලයි කැබිනට් පත්‍රිකාවෙන් ඉල්ලුවේ. නමුත් ඊට අවසරය ලබා දුන්නේ නෑ. එවකට සිටි මුදල් ඇමතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා. ඔහු විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මුදල් අමාත්‍යාංශයේ යෝජනාවක් ලෙස තමයි සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉදිරිපත් කළේ. මම ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණේ නෑ. නමුත් මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය ලැබුණා. ඒ අනුමැතිය ලැබීමෙන් පස්සේ ඒක සාමූහික වගකීමක් බවට පත් වෙනවා. ඒ අනුව කටයුතු කළා.
දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ relocate කිරීම සම්බන්ධයෙන්. එක ආයතනයකට ලබා දී තිබූ මුදල් තවත් ආයතනයකට යොමු කිරීමක් තමයි එහිදී සිදු වුණේ. අමාත්‍යාංශ ලේකම්වරයාගේ දැනුම්දීම මත ICL සම්බන්ධයෙන් භාවිතාව දැඩි දුර්වලතාවයකින් තිබෙන බව හෙළි වුණා. එලෙස භාවිතා නොකර සිටි මුදල් 2022 දෙසැම්බර් මස 31 වැනිදා වන විට භාවිතා කර අවසන් කරන්න කියලා තමයි තිබුණේ. එම අරමුදල් පෞද්ගලික අංශයටද යොමු කරන්න කියලා මුදල් අමාත්‍යාංශයෙන් ලිපි දෙකක් ආවා. ඒ අනුව මා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා.
මාර්ගෝපදේශ අනුව කැබිනට් අනුමැතිය ඊට ලැබුණා. ඒ අනුව කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමකට යටත් වුණා. කැබිනට් මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ ලේකම්වරයාට. කිසිම ප්‍රසම්පාදන කටයුත්තකට මා අත පොවලා නෑ. කිසිම බලපෑමක් කරලත් නෑ. ඒ සම්බන්ධයෙන් කිසිවක් මම කාටවත් කියලත් නෑ. ඒක ස්වාධීනව සිදු කරන කටයුත්තක්, ස්වාධීනව සිදු කරන දෙයක්."
"මම බෙහෙත් ගණන් කරන්නේ නෑ"
"බෙහෙත් හිඟයක් නොතිබූ අවස්ථාවක බෙහෙත් හිඟයක් මවා පාමින් මම ඇමතිවරයා ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල වුණා. මම ඇමතිවරයා ලෙස බෙහෙත් ගණන් කරන්නේ නෑ. නිලධාරීන් දෙන තොරතුරු අනුව තමයි මම කටයුතු කරන්නේ. බෙහෙත් ගැන මම දන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න වෙනම අංශයක් තියෙනවා. ඒ වෙලාවේ MSD වැඩ බලන අධ්යක්ෂවරයාව සිටියේ වෛද්‍ය චන්දන විජේසිංහ මහතායි. ඔහු තමයි බලධාරියා. ඔහු ලබාදුන් සංඛ්‍යාලේඛන අනුව තමයි කටයුතු කළේ. ඒ ඒ අංශයෙන් එක් එක් වාර්තා ලැබී තිබුණා. ඒවා කැබිනට් මණ්ඩල පත්‍රිකාවට ඇමුණුමක් ලෙස ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩල පත්‍රිකාවට ඇමුණුමක් ලෙස ඉදිරිපත් කළේත් ඔහුගේ අත්සන ඇති ලිපියක්.
ස්වාමීනී, මේ නඩුවට අදාළව සිදුවීම සම්බන්ධයෙන් මට දැනගන්න ලැබුණා. ව්‍යාජ ලේඛන හදලා, ව්‍යාජ බෙහෙත් හදලා, නිලධාරීන් නොමග යවලා කෙරුණු ගනුදෙනුවක් ගැන. මගේ උපදේශකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යැව්වා පැමිණිල්ලක් සටහන් කරන්න කියලා. මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළෙත් ඒ පැමිණිල්ල අනුව තමයි. සෞඛ්‍ය අමාත්‍යවරයෙක් ලෙස ප්‍රථම වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුල්ම පැමිණිල්ල යොමු කිරීමට කටයුතු කළේ මම. ඉදිරියට එහෙම කවුරුවත්ම පැමිණිලි කරයිද කියලා සාධාරණ සැකයක් තියෙනවා. මොකද මට මේ වුණ දේ නිසා.
මේ අධිකරණයට 10V63 කියලා ලේඛනයක් ඉදිරිපත් වුණා, මා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස රැස්වීමකට සහභාගි වූ බවට. 2022 සැප්තැම්බර් මස 2 වැනිදා සිට හත්වැනිදා දක්වා මා සිටියේ භූතානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවකට සහභාගී වෙමින්. සැප්තැම්බර් මස 05 වැනිදාත් මම හිටියේ භූතානයේ. ඒ පැවති බව කියන රැස්වීමට මා සහභාගී වූ බවට කාගේ වුවමනාවකට සටහන් කරාද කියා මා දන්නේ නෑ.
2022 ඔක්තෝම්බර් මස 10 දින පැවති රැස්වීමකට අදාළ ලේඛන 10V53 ලෙස අධිකරණයට ඉදිරිපත් වුණා. මම එදින හිටියේ ගාල්ලේ කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමින්. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණේ රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ ගැන පැමිණිල්ල විසින්ම ඉදිරිපත් කළ ඩයලොග් දුරකථන වාර්තා මඟින් ඔප්පු වෙනවා."
CID ප්‍රශ්න කිරීම් සහ රිමාන්ඩ් අත්දැකීම
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මට 2023 දෙසැම්බර් 26 වෙනිදා සහ 2024 පෙබරවාරි 02 වැනිදා ප්‍රකාශ ලබා ගත්තා. ප්‍රකාශ දෙන අවස්ථාවේදීවත් මා සැකකාරයෙක් කියලා මට කිව්වේ නෑ. පෙන්වූ ලේඛන වලින්වත් මා සැකකාරයෙක් කියලා මට කිව්වේ නෑ. උදේ නමයට ප්‍රකාශ සටහන් කරගන්න පටන් අරගෙන රාත්‍රී නමයට තමයි අවසන් කරේ. ඒ අතරතුර කෙටි විවේක දෙකක් ලැබුණා. මම දියවැඩියාව සහ ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයෙන් පෙළෙනවා. විශාල අපහසුවකින් තමයි හිටියේ. මට බෙහෙත් ලබා දුන්නෙත් මේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පස්සේ.
ප්‍රකාශ සටහන් කරගන්නා අතරේදී ලේඛන ගණනාවක් වරින් වර පෙන්නුවා. අමාත්‍යාංශ නිලධාරීන් විසින් අත්සන් කළ බව කියමින් මේ මේ නිලධාරියාගේ අත්සන කියලා පෙන්නුවා. ඒ වෙලාවේ මට ඒ ලේඛන මොනවද කියලා කියන්න බෑ. මම කිව්වා ඒක එහෙමනම් වෙන්න ඇති කියලා. මට කිසිම ලිපි ලේඛනයක් ගේන්න කියලා කිව්වෙත් නෑ. මම ලිපි ලේඛන අරගෙන ආවෙත් නෑ. මගේ උපදෙස් මත කරන ලද පැමිණිල්ලකින් තමයි ආධාර අනුබල දුන්නා කියලා මාව අත්අඩංගුවට ගැනීමක් සිදු කළේ.
අවසර නැති කර්මාන්තශාලාවක, ව්‍යාජ ලේඛන හදලා, ව්‍යාජ බෙහෙත් හදලා, නිලධාරීන් පවා නොමඟ යවලා, විශාල පිරිසක් අපහසුතාවයකට පත් කළා. මගේ උපදෙස් මත කරන ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශන නිසා රිමාන්ඩ් භාරයට පත්වෙලා මාස නවයක් හිටියා. ඉතාම අපහසුවෙන් තමයි හිටියේ. ඒ සියල්ල දරාගෙන හිටියේ අධිකරණය ගැන තියෙන අචල විශ්වාසයෙන්. ඉදිරියටත් අධිකරණය පිළිබඳව ඒ විශ්වාසය තියෙනවා. මගේ පවුල ඉතාම අපහසුතාවයට පත්වෙලා තියෙනවා. මම කිසිම දෙයකින් කොමිස් අරගෙන නෑ.
ස්වාමීනී, මොන විදියකින් හෝ බෙහෙත් ලබා ගැනීම තමයි අපේක්ෂාව වුණේ. ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් වලින් මිලියන 200ක්ම වෙන් කළේ ඖෂධ ලබා ගැනීමටයි. මොන විදිහකින් හරි සෞඛ්‍ය ක්ෂේත්රය යන්තමට හරි පාලනය කරගන්න තමයි අවශ්‍ය වුණේ. බෙහෙත් සම්බන්ධයෙන් නිරන්තරයෙන් ගැටලු මතු වූ අවස්ථාවේ ව්‍යාජ බෙහෙත් හදලා නිලධාරින් නොමග යවලා කළ දේ ගැන කළ පැමිණිල්ල නිසා තමයි අප සියලු දෙනාටම මේ දේ වෙලා තියෙන්නේ.
2006 සමයේදී හමුදාව සැදී පැහැදී සිටියත් ජනාධිපතිවරයා කිව්වා මාධ්‍ය යුද්ධයක් තියෙනවා ඒක බාරගන්න කියලා. ඒ සම්බන්ධ මාධ්‍ය ප්‍රකාශන ආයතනයක් සකස් කළේත් මම. පැය විසි හතරම රාජකාරී කටයුතු කළා. එපමණයි ස්වාමීනී."
එම ප්‍රකාශය සිදුකිරීමත් සමඟ අටවන විත්තිකරු වෙනුවෙන් සිදුකරන නඩු කටයුත්ත අවසන් කරන බව නීතිඥ නයන්ත විජේසුන්දර මහතා අධිකරණයට දන්වා සිටියේය.
හිටපු අතිරේක ලේකම් සමන් රත්නායකගේ ප්‍රකාශය
අටවන විත්තිකරුගේ මෙම විත්තිවාචකය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩුවේ දහවන විත්තිකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් කුසුම්සිරි රත්නායක විසින් සිය විත්තිවාචකය ඉදිරිපත් කරන ලදි.
"ස්වාමීනී, මම වෘත්තිය ආරම්භ කළේ සීමාවාසික වෛද්‍යවරයෙකු ලෙස 1993 දී රාගම ශික්ෂණ රෝහලෙන්. නාවලපිටිය රෝහලට නේවාසික වෛද්‍යවරයෙකු ලෙස පත්වීම ලැබුණා. පසුව එහි නාරි හා ප්‍රසව අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයා ලෙස කටයුතු කළා. අනතුරුව හලාවත මූලික රෝහලේ වෛද්‍ය නිලධාරියා ලෙස පත්වුණා. 1999 දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ලෙස වැඩ ආවරණය කිරීමක් කළා. 2004 වසරේදී පශ්චාත් උපාධිය හැදෑරීම සිදු කළා. වෛද්‍ය පරිපාලනය පිළිබඳ දර්ශනපති උපාධිය හැදෑරීම කළා.
තනතුරු වල තිබුණ පුරප්පාඩු වලට මා apply කරා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් තනතුරු පුරප්පාඩු වුණාම මම ඊට අයදුම් කරලා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් තනතුර ලැබුවා. ඒ අතර ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස තනතුරක් ලැබුණා. ඒ කාලේ කොවිඩ් අර්බුදය රට වෙලාගෙන පැවති අවස්ථාවක්. ඒ දවස්වල තිබුණ සමාජ ආර්ථික පෙරළිය සහ සමාජ නොසන්සුන්තාවය නිසා රාජ්‍ය අමාත්‍යාංශය අහෝසි කළා. එහි සිටි ලේකම්වරු හා සේවකයන් කැබිනට් අමාත්‍යාංශයට අනුයුක්ත කළා.
දේශීය වෛද්‍ය, කොවිඩ් හා ප්‍රාථමික සත්කාර සේවා, ඖෂධ නිෂ්පාදන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ අංශ තුනක් තිබුණා. මා හිටියේ වෛද්‍ය පරිපාලන සේවයේ. වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු ලෙස සිටියේ මම. අනිත් දෙදෙනා රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන්. වෛද්‍ය පරිපාලන සේවයේ ඉහළ තනතුරු දෙකයි තිබුණේ. තනතුරු දෙකටම දෙන්නෙක් පත් කර තිබුණා. ඒ අනුව ලේකම්තුමා රාජ්‍ය සේවා කොමිසමෙන් උපදෙස් ඉල්ලා තනතුරක් නිර්මාණය කරා. ඒ අනුව ලේකම්තුමා ඒකට අදාළව කැබිනට් සංදේශයක් සකස් කළා. ඒ අනුව මට තනතුරක් ලැබුණා. ඒ තනතුර තාවකාලික තනතුරක්. වෙනත් අයෙකුට යොමු වන්නේ නෑ. මා ඉවත් වූ පසුව ඒ තනතුර අහෝසි වන ලෙසයි පැවතියේ.
වැඩ පටන් ගන්නකොටම duty list එකක් දීලා තිබුණා, ඖෂධ ගම්මානවල ඖෂධ නිෂ්පාදන සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා. සුවසැරිය කටයුතුත් හදිසි ප්‍රසම්පාදන කටයුතුත් සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා පවරලා තිබුණා.
ස්වාමීනී, 2024/03/01 වනදා තමයි මාව අත්අඩංගුවට ගත්තේ. ඒ වනතෙක්ම මම උපරිම capacity එකෙන් වැඩ කළා."
ඩොලර් අර්බුදය මැද ඖෂධ ප්‍රසම්පාදනය
"ඒ වන විට අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රෝහල්වලට ප්‍රමාණවත් ලෙස තිබුණේ නෑ. ඒ වගේම ෆාමසි වල තිබුණෙත් නෑ. පැන්ඩෝල් පෙත්තක්වත් ගන්න බැරුව හිඟයක් තිබුණා. ඖෂධ වලින් 86%ක්ම ආනයනය කරන්නේ. ඉතිරි 14% තමයි මේ රටේ හදන්නේ. රෝහල්වල බෙහෙත් නැති බවට විවිධ තැන්වලින් විවේචන ආවා. කොවිඩ් අර්බුදය 2019 වසරේ ලෝක වසංගතයක් විදියට ආවා. සංචරණ සීමා පවරලා තිබුණේ. බෙහෙත් හිඟය රෝහල්වලට නෙමෙයි ෆාමසි වලටත් තිබුණා.
ස්වාමීනී, විදේශ විනිමය ලබා දෙන්න මහජන බැංකුව සහ ලංකා බැංකුව විසින් තමයි කටයුතු කළේ. ඒ කාලයේදී ඒවා දෙන්න බැරි බව බැංකු වලින් දන්වා තිබුණා. ඒ සම්බන්ධයෙන් ඇමතිවරයා, මුදල් ඇමතිවරයා සහ ලේකම්වරු සමග සාකච්ඡා කළා. මුදල් අමාත්‍යාංශයේ ආටිගල මහතා කිව්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෙහෙත් ඔක්කොම ගේන්න බෑ, ඒ නිසා ප්‍රමුඛතා ලැයිස්තුවක් හදන්න කියලා. ඖෂධ ලැයිස්තුව සකස් කිරීමේදී ජීවිතාරක්ෂක ඖෂධ අඩු කරේ නෑ. අත්‍යවශ්‍ය ඖෂධ කළමනාකරණය කළේ. වෙනත් රටවලින් ආධාර ලැබෙන ව්‍යාපෘති තිබුණා. ඔවුන්ට කතා කරලා මුදල් බෙහෙත් ගේන්න දෙන්න කියලා ඉල්ලුවා. ඒ අනුව සංවර්ධන ව්‍යාපෘති නතර කර ඖෂධ ගෙනාවා. ඖෂධ විතරක්ම නෙමෙයි වෙනත් උපකරණත් ගෙනාවා. එවැනි උපකරණ 14,000ක් පමණ තිබුණා.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය (ICL) යටතේ මිලියන 200ක් සෞඛ්‍යයට වෙන් කළා. එය ලැබුණේ 2022 මාර්තු මාසයේ. මා ඒ සම්බන්ධයෙන් කටයුතු කළා. ඖෂධ සංස්ථාවේ සභාපති කැඳවා කිව්වා ඖෂධ 158ක් SPC එකට ලබා දුන්නා කියලා. එයින් පනස් පහක් පෞද්ගලික අංශයටත් හතරක් දේශීය නිෂ්පාදනයටත් ලබා දුන්නා. 2022 දෙසැම්බර් 31 වන විට ICL අවසන් වන බව කියා තිබුණා. විවෘත ටෙන්ඩර් කරන්නේ ඕනෑම රටකින් ඖෂධ ගේන්න. නමුත් ICL වලදී ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධ විතරයි ගන්න පුළුවන්.
මාර්තු මාසයේ, අප්‍රේල් මාසයේ කැමති අයට ලියාපදිංචි වෙන්න කියලා පත්තර දැන්වීමක් දැම්මා. ඒ අනුව tender box 6ක් ඉදිරිපත් වුණා. ඒ සියලු ටෙන්ඩර් සැපයුම්කරුවන් ඉදිරියේ විවෘත කළා. ටෙන්ඩර් ඩොකියුමන්ට් වල උපමාන හා නිර්ණායක තිබුණා. Evaluation කමිටුවේ හිටියේ හොඳින් දැනුමැති අය. දෙනාවත්ත මැතිනිය එවැනි දේට සහභාගි වී පළපුරුද්ද තිබුණා. වෛද්‍ය ජයනාත්ට ටෙන්ඩර් සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක් තිබුණා. ප්‍රේමතුංග මහත්මිය ඒ සම්බන්ධයෙන් කටයුතු කර තිබුණා.
එහිදී ටෙන්ඩර් 800ක් තිබුණා. ටෙන්ඩර්කරුවන් 48ක් හිටියා. දින හතකට ආසන්න කාලයක් ඇගයුම් කරගෙන යන අතරතුර වැඩි පිරිසක් WOR යටතේ ඉල්ලා ඇති බව හෙළි වුණා. එය ලබාදීමට අවශ්‍ය ලේඛන අඩුව තිබියදී මොකද කරන්නේ කියලා එතුමිය මගෙන් ඇහුවා. 'අවම මිල හා කාලය බලන්න' කියලා මම ඇයට උපදෙස් දුන්නා. 10/10 දින රැස්වීමක් තිබුණා. 10V53 අනුව මෙතුමිය ඉදිරිපත් කළ ගැටලුව මම ඒ රැස්වීමට ඉදිරිපත් කළා. රැස්වීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තිබ්බේ. එහිදී ගත් තීරණයකට අනුව WOR පරීක්ෂා කරන්නේ ගැනුම් ඇනවුම සඳහා තෝරාගන්නා අයට පමණයි.
ඊට පස්සේ තමයි මේ ඖෂධ ගැන තීන්දු තීරණ ගත්තේ. සැපයුම්කරුවන් හතළිස් අට දෙනාටම සමාන අවස්ථා ලබා දී තිබුණා. ඖෂධ එකසිය අනූ දෙකක් නිර්දේශ කර තිබුණා. ඇගැයීම් කමිටුව විසින් ඊට පෙර ලේකම්තුමාව කැඳෙව්වා, මාවත් කැඳෙව්වා. එහිදී හොඳ පැහැදිලි කිරීමක් කළා, කිසිම නිලධාරියෙක් විරෝධය පළ කළේ නෑ."
මෙම විත්තිවාචකය සිදුකරගෙන යන අතරතුර දිනයට නියමිත නඩු කටයුතු අවසන් වූ බැවින් මෙම චූදිතගේ වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීම කල් තබන ලදී.
රුපියල් කෝටි 14ක මුදල් වංචාව සහ චෝදනා
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් (රුපියල් කෝටි 14කට අධික) වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, එම අංශයේ සහකාර අධ්යක්ෂ පීස් ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශගතව සිටී), සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද, නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක්ද මෙම නඩුව වෙනුවෙන් ඉදිරිපත් කර ඇත.
(සටහන | නෙල්කා මැදගෙදර)



