"ඉස්සර මාක්ස් ලෙනින්; අද ඇඩම් ස්මිත් දෙවියන් වෙලා"
"අතීතයේ මාක්ස්, ලෙනින්, ස්ටාලින් දෙවියන් කරගෙන හිටපු මාලිමාව අද ඇඩම් ස්මිත් වැනි ධනවාදී ආර්ථික විද්‍යාඥයන්ව දෙවියන් කරගෙන. රටේ ජනතාවට මැතිවරණයේදී වමට සිග්නල් දාලා අද යන්නේ අන්ත දකුණට. මේ රජය නව ලිබරල්වාදයේ කප්පිත්තන් සහ පීතෘවරුන් බවට පත්වෙලා ජනතාව අමු අමුවේ රවටලා තියෙනවා.
අපේ රටේ ජනතාව පත් කරගත්තේ ජනතාවගේ යුක්තිය, සාධාරණත්වය සහ ජීවිත සුරක්ෂිත කරන පාලනයක්. ඒත් අද වෙන්නේ ජනතාවගේ ජීවිත කුඩා පට්ටම් කරලා, ගජමිතුරු ධනවාදීන් රජ කරවන ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන එකයි."
"IMF කියන පදයට නටලා බදු බර වැඩිකරලා"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) කියන කියන පදයට නැටුවා මිසක් මේ රජය පොඩි මිනිහා ගැන හිතුවේ නැහැ. IMF එක ප්‍රාථමික ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක් ඉල්ලද්දී, රජය ජනතාව මිරිකලා ඒක 5.4% දක්වා වැඩි කළා. රාජ්‍ය ආදායම 13.9%ක් ප්‍රමාණවත් කියද්දී, බදු බර 15.4% දක්වා උස්සලා ජනතාවගේ සාක්කුවට ගැහුවා.
එදා විපක්ෂයේ ඉන්නකොට කිව්වේ මොනවාද? ලක්ෂ 12ට විට්ස් කාර් එක දෙනවා කිව්වා, රුපියල් 50,000ට ජපන් බයික් දෙනවා කිව්වා. අද ඒ කිසිවක් නැහැ. වරායේ ගොඩබාන මිලට තෙල් දෙනවා කියලා බලයට ඇවිත්, අද ඉන්ධන මිල දිගින් දිගටම වැඩි කරනවා. විදුලි බිල 33%කින් අඩු කරනවා කියලා පොරොන්දු වෙලා,
අද නැවත වරක් විදුලි බිල වැඩි කරන්නයි ලෑස්ති වෙන්නේ."
"දරිද්‍රතා රේඛාව නොදැන කරන අයවැය සහ අස්වැසුම අසාර්ථකත්වය"
"රජය 12 වැනිදාට අයවැය ඉදිරිපත් කරන්න යනවා. හැබැයි අදටත් මේ රටේ ගෘහස්ථ ආදායම් වියදම් සමීක්ෂණය සම්පූර්ණ කරගන්න මේ අයට බැරි වෙලා. රටේ සැබෑ දරිද්‍රතා රේඛාව නොදැනයි අයවැය කතාව ලියන්නේ. ඇවිදින පුස්තකාල කියලා බලයට ආවට රටේ සැබෑ තත්ත්වය මේ අය දන්නේ නැහැ. අද රටේ දුප්පත්කම 30%ත් 40%ත් අතර තියෙනවා. 18-24 අතර තරුණ පරපුරේ වැඩිම විරැකියාව තියෙන්නේ ලංකාවේ කියලා IMF එකම කියනවා. කර්මාන්ත වැහිලා, රැකියා නැතිවෙලා යන එක නවත්වන්න ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නැහැ.
අනෙක් පැත්තෙන් 'අස්වැසුම'. සැබෑ දරිද්‍රතා පිටුදැකීමකට පරිභෝජනය, නිෂ්පාදනය, ඉතිරිකිරීම, ආයෝජනය සහ අපනයනය කියන අංග පහම තියෙන්න ඕනේ. ඒත් අස්වැසුමේ තියෙන්නේ නිකම්ම පරිභෝජනය විතරයි. වැරදි සහ විද්‍යාත්මක නොවන දත්ත පදනම් කරගෙන කරන මේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අසාර්ථකයි."
"ජනවරම පාවාදීම සහ විරෝධතා මර්දනය"
"රටේ ලක්ෂ 220ක ජනතාවගේ ආර්ථික සහ සමාජයීය අයිතිවාසිකම් උල්ලංඝනය කරන ගමන්, රජය හදන්නේ 'රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත' ගෙනල්ලා ජනතා විරෝධතා මර්දනය කරන්නයි. දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරන්නත්, ත්‍රස්තවාදියා කවුද කියලා තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයා අතට ගන්නත් මේ හරහා කටයුතු කරනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදය සංකෝචනය කිරීමක් වගේම ලැබුණු ජනවරම අමු අමුවේ පාවාදීමක්.
අද රටේ උපාධිධාරීන් 80,000ක් මහ මග ඉන්නවා. එදා ඡන්දය ගන්න බොරු පොරොන්දු දීලා අද ඒ අයව අමතක කරලා. ගුරු සංවර්ධන නිලධාරීන්ට, ගොවි ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරලා නැහැ. දැන්වත් ජනතාවගේ බදු බර අඩු කරලා, පොරොන්දු වුණු සහන ලබා දෙන්න. රජයට කොන්දක් තියෙනවා නම්, ඇමෙරිකාවේ සිදුවන දේශපාලන වෙනස්කම් දෙස බලලා, වහාම පළාත් සභා මැතිවරණය පවත්වලා ජනමතයට මුහුණ දෙන්න කියලා මම අභියෝග කරනවා."
වැඩිදුර තොරතුරු සහ සබැඳි:



