වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව ඔහු විසින් සිදුකරන ලද සිසේරියන් ශල්‍යකර්ම අතරතුර අනවසරයෙන් කාන්තාවන් වන්ධ්‍යකරණයට ලක් කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වන නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊ‌යේ (27) කැඳවනු ලැබිණි.

ඒ හා සමගාමීව කුරුණෑගල නගරය පුරා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සෙසු පොලිස් බලඇණි යොදාගනිමින් ආරක්ෂාව තරකර තිබුණු අතර ඒ හේතුවෙන්ම වෛද්‍ය සාෆි අධිකරණයට ඉදිරිපත් කරනු සියැසින් දැකබලා ගැනීමට සෑහෙන පිරිසක් අධිකරණ භූමිය තුළ හා ඒ අවට රැදී සිටිනු දක්නට ලැබුණි. ඊට අමතරව විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරන වාර්තාකරුවන් විශාල පිරිසක්ද අධිකරණයේ ගේට්ටුව අසළ රැස්ව සිටියහ.

වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඇතුලු භික්ෂුන් වහන්සේලා සැළකිය යුතු පිරිසක්ද විවිධ හේතූන් මත එම නඩුව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විවිධ පාර්ශවයන්ද අධිකරණ භූමිය තුළ සිටිනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් පසුව දැනගන්නට ලැබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව දින 90 රැඳවුම් නියෝග පිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින වෛද්‍ය සාෆි අද දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකරන බවත් අදාළ පරීක්ෂණ වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට සහ විමර්ශනය සම්බන්ධයෙන් යම් නියෝග කිහිපයක් ලබාගැනීමට පමණක් අද දිනයේ නඩුව කැඳවනු ලබන බවය.

දවසේ සාමාන්‍ය අධිකරණ කටයුතු අවසන් වීමෙන් පසු පස්වරු 12.15ට පමණ වෛද්‍ය සාෆිගේ නඩුව විවෘත අධිකරණයේ අඬගසන ලදී. එහිදී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා ඇතුලු නීතිඥවරුන් පිරිසක්ද, සැකකරු වෙනුවෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක්ද පෙනී සිටියහ.

 

අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ කරුණු දැක්වීම..

පළමුවෙන්ම පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අධිකරණය ඇමතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී මහතා මෙම සිදුවීමේ පසුබිම පැහැදිලි කරන ලදී. එහිදී දිවයින පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියද ඉන්පසු වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීම පිළිබඳවද කරුණු සදහන් කෙරිණි.

එහිදී දිවයින පුවත්පතේ අදාළ ප්‍රවෘත්තිය පළකරන ලද නියෝජ්‍ය ප්‍රධාන කර්තෘ හේමන්ත රන්දුණු මහතා වෙතින් ප්‍රකාශ සටහන් කළ බවත් එහිදී අදාළ ප්‍රවෘත්ති වාර්තාවේ සඳහන් කාරණා තමාට හෙළිකරන ලද්දේ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා විසින් බවට හේමන්ත රන්දුණුගේ ප්‍රකාශයේ සදහන් වන බවත් වාර්තා කරන ලදී.

නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගෙන්ද ප්‍රකාශයක් සටහන් කළ බවත් එහිදී තමන් හේමන්ත රන්දුණු මහතාට ප්‍රකාශ කළේ මෙම වෛද්‍යවරයා වඳ සැත්කම් සිදුකරන බවට යම් සැකයක් පවත්නා බව පමණක් බවට නියෝජ්‍ය පොලිස්පතිතුමන් ප්‍රකාශ කළ බවද අධිකරණයට වාර්තා කරන ලදී.

ඒ අනුව දිවයින පුවත්පතේ අදාළ ප්‍රවෘත්තිය පළවන අවස්ථාව වනවිට වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් අනවසරයෙන් වන්ධ්‍යකරණය කරන ලද බවට වාර්තාගත පැමිණිලි කිසිවක් පැවතී නැති බවත්, ඒ අනුව දිවයින ප්‍රවෘත්තිය කාරණා නිසි පරිදි සොයා බැලීමකින් තොරව පළකරන ලද පුවතක් බවට තමන් නිරීක්ෂණය කරන බවත් වැඩිදුරටත් සැළකරන ලදී.

 

'සාෆිගේ වත්කම් ගැන සැකයක් නෑ' - සීඅයිඩිය

කෙසේ වෙතත් ඉන්පසු වෛද්‍ය සාෆි වෙනත් චෝදනාවක් මත අත්අඩංගුවට ගන්නා ලදුව ඔහුගේ වත්කම් ඉපයීම් පිළිබඳව, තව්හිද් ජමාත් සංවිධානයට හෝ අයි.එස්.අයි.එස් සංවිධානවලට ඔහුගේ පවතින්නේ යැයි කියන සම්බන්ධතා පිළිබඳව සහ ප්‍රධාන වශයෙන් සිසේරියන් සැත්කම්වලට භාජනය කරන ලද කාන්තාවන් අනවසරයෙන් වන්ධ්‍යකරණයට ලක් කළේ යැයි කියන චෝදනා සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කළ බව වැඩිදුරටත් වාර්තා කරන ලදී.

මේ සියලු කාරණා සම්බන්ධයෙන් පිටු 210කින් යුත් දීර්ඝ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයා කියා සිටියේ මෙම වෛද්‍යවරයා යම් ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ දැයි දුරකථන වාර්තා ආදිය යොදාගෙන විමර්ශනය කරන ලද නමුත් ඔහු එවන් සංවිධානයකට සම්බන්ධ බවට කිසිදු කරුණක් මේ දක්වා අනාවරණය වී නොමැති බවයි.

තවදුරටත් මෙකී වෛද්‍යවරයා සතු වත්කම් පිළිබදව සහ ආදායම් පිළිබදව සිදුකරන ලද විමර්ශන වලදී ඔහු වෛද්‍ය වෘත්තියේ යෙදීමෙන් සහ ව්‍යාපාර කටයුතුවලින් දළ වශයෙන් මාසිකව රුපියල් ලක්ෂ 19 ක පමණ ආදායමක් උපයන්නෙකු බවද ඒ අනුව ඔහු සතු වත්කම් පැහැදිලි කළ නොහැකි මාර්ග හරහා උපයාගත් ඒවා බවට කරුණු අනාවරණය නොවන බවත් වාර්තා කරන ලදී.

ඉන්පසු මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් මීට පෙර පැවැතියේ යැයි කියන චෝදනා සම්බන්ධයෙන්ද විමර්ශන කටයුතු සිදුකළ බව වාර්තා කළ නිලධාරීවරයා එම විමර්ශනයට අදාළව සටහන් කරගන්නා ලද කටඋත්තරවල උදෘත පෙරකී වාර්තාව සමගින් ඉදිරිපත් කරමින් ඒවායෙන් තෝරාගත් උපුටන කිහිපයක් විවෘත අධිකරණයේ කියවන ලදී.

කෙසේ වෙතත් මෙකී පූර්ව චෝදනා සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් සොයාගැනීමේ අපහසුතාවයද ඒවා සම්බන්ධ රෝහල් වාර්තා දැනට සාමාන්‍ය රෝහල් ක්‍රියා පටිපාටිය යටතේ බැහැර කර ඇති හේතුවෙන්ද, ඇතැම් ශල්‍යකර්ම අතරතුරදී සිදුකර ඇතැයි කියන වැරදි සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කිරීමේදී කරුණු අනාවරණය වූ බවද ඒවා අනුව ඒ සම්බන්ධයෙන් පවා වෛද්‍ය සාෆි අපරාධයක් සිදුකර ඇති බවක් මේ දක්වා අනාවරණය වී නැති බවද සඳහන් කරන ලදී.

 

සාෆි තනිව සැත්කම් කරලා නෑ..

ඉන්පසු මෙම නඩුවේ ප්‍රධාන ප්‍රශ්නගත කරුණ වන වෛද්‍ය සාෆි විසින් සිසේරියන් සැත්කම් අතරතුරදී කාන්තාවන් අනවසරයෙන් වන්ධ්‍යකරණයට ලක් කර ඇත්තේද යන්න පිළිබදව සිදුවන විමර්ශනයට අදාළ කරුණු වාර්තා කරන ලදී.

එහිදී නිලධාරීවරයා විසින් ලැබී ඇති පැමිණිලි වලින් සැළකිය යුතු ප්‍රමාණයක් හුදෙක් වෛද්‍ය සාෆි විසින් සිසේරියන් සැත්කමක් කිරීම හේතුවෙන්ම ඇතිවූ හුදු සැකය මත සිදුකරන ලද පැමිණිලි බවත්, ඒ අනුව ඒ අතරින් තෝරාගත් පැමිණිලි විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් ඒ ඒ ශල්‍ය කර්මවලට සහභාගි වූ අනෙකුත් සහායක වෛද්‍යවරුන් හෙදියන් සුළු සේවකයන් ආදී විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව සදහන් කරමින් එකී ප්‍රකාශවල උදෘත අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එහිදී සටහන් කරන ලද ඇතැම් ප්‍රකාශ අනුව වෛද්‍ය සාෆි මුස්ලිම් මව්වරුන් සදහා සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී ඔවුන්ට වැඩි කරුණාවක් දක්වන බවත් සිංහල සහ දෙමළ මව්වරුන්ට එවන් කරුණාවක් නොදක්වන බවත් මුස්ලිම් දරු උපත් වලදී දරුවා බිහිවන අවස්ථාවේදී 'අල්ලාහු අක්බර්' යනුවෙන් පවසන බවත් අනාවරණය වී ඇති බව සඳහන් කරන ලදී.

එමෙන්ම වෛද්‍ය සාෆි සිංහල මවකගේ ශල්‍යකර්මයක් සඳහා විනාඩි 15ක පමණ කාලයක් ගතකරද්දී මුස්ලිම් මවක් සඳහා විනාඩි විසිපහක පමණ කාලයක් ගතකරන බවත් ඇතැම් හෙද නිලධාරීන් විසින් ප්‍රකාශ කොට තිබුණි.

කෙසේ වෙතත් වෛද්‍ය සාෆි විසින් තනිව කාන්තාවන් සැත්කමට භාජනය කරන ලද්දේයැයි කියන අවස්ථාවන් පිළිබඳව විමර්ශනය කිරීමේදී එකී සැත්කම සඳහා සහභාගි වූ බව කියන අනෙකුත් වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් තමන් ඒ සඳහා සහභාගි වූ බවට ප්‍රකාශ ලබාදී ඇති හෙයින් වෛද්‍ය සාෆි විසින් කිසිදු මවක තනිවම සැත්කමට භාජනය කරන ලද්දේය යන කරුණ විමර්ශන හරහා තහවුරු වී නොමැති බවද වාර්තා කරන ලදී.

 

සාෆිට ශල්‍යකර්මයක් අතරතුර තම අවධානයට හසු නොවී පැලෝපීය නාල මිරිකන්න බෑ -‌හෙදියන්ගේ සාක්කි

එහිදී සැත්කම් සඳහා සහභාගි වූ වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් ගණනාවකගේ ප්‍රකාශවල උදෘත උපුටා දක්වමින් නිලධාරීවරයා සදහන් කරන ලද්දේ ඔවුන් කිසිදු අවස්ථාවක චෝදනාවල සඳහන් වන පරිදි වෛද්‍ය සාෆි විසින් කිසිදු අයුරකින් අදාළ කාන්තාවන්ගේ පැලෝපීය නාල වලට හානි සිදුකරනවා එකී පුද්ගලයන් විසින් දැක නොමැති බවයි. එපමණක් නොව ඇතැම් වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් ප්‍රකාශිතවම පවසා තිබුණේ වෛද්‍ය සාෆිට ශල්‍යකර්මයක් අතරතුර තම අවධානයට හසු නොවී එවන් ක්‍රියාවක් සිදුකිරීමට කිසිදු අවකාශයක් නොමැති බවයි.

 

'සාෆි ප්‍රශ්නගත අපරාධය කර ඇති බවට තහවුරු වන කිසිදු කරුණක් මේ දක්වා අනාවරණය වී නෑ' - සීඅයිඩිය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිවරයා විසින් පස්වරු 12.15 සිට පස්වරු 1.30 දිවා විවේකය දක්වාද ඉන්පසු 2.15 සිට පස්වරු 3.00 දක්වාද දීර්ඝ ලෙස කරුණු දක්වමින් අධිකරණයට සැළකර සිටියේ වෛද්‍ය සාෆි විසින් ප්‍රශ්නගත අපරාධය සිදුකර ඇති බවට තහවුරු වන කිසිදු කරුණක් මේ දක්වා අනාවරණය වී නොමැති බවයි.

එමෙන්ම වඳභාවයට පත්වී ඇත්තේයැයි කියන කාන්තාවන් සම්බන්ධයෙන් සිදුකරනු ලබන වෛද්‍ය පරීක්ෂණ දිනකට සිදුකළ හැක්කේ 3 ක් පමණ වන හෙයින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීම සඳහා නියෝගයක්ද ඉල්ලා සිටින ලදී.

අවසාන වශයෙන් නිලධාරීවරයා සඳහන් කරන ලද්දේ මෙතෙක් කල් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 රඳවා ගැනීමේ නියෝග ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන සිටින වෛද්‍ය සාෆි මේ දක්වා අනාවරණය වී ඇති කරුණු අනුව තවදුරටත් එසේ රඳවාගෙන සිටීම යුක්තිසහගත නොවන බව පෙනී යන බැවින් ඒ සම්බ්න්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කොට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

 

විත්ති පාර්ශවයේ කරුණු දැක්වීම..

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වරුන් විසින් තමන්ගේ කරුණු දැක්වීමේ අවස්ථාව සැකකරුගේ නීතිඥවරුන්ට පසුව ලබාගැනීමට අවසර ඉල්ලා සිටි බැවින් ඔවුන්ට පෙර කරුණු දැක්වීමට සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට අවස්ථාව ලැබිණි.

එහිදී අධිකරණය ඇමතූ සැකකරුගේ නීතිඥවරයා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීමෙන් සිදුවී ඇත්තේ කුමක්ද යන්න මනාව පැහැදිලි වන බවත්, එහිදී 'දිවයින' පුවත්පත වගකීම් විරහිත ලෙස පතුරුවා හරින ලද කටකතාව හේතුවෙන් තම සේවාදායකයා මෙම සාවද්‍ය චෝදනාවට ලක්වී ඇති බවත්, ඒ හේතුවෙන් ඔහු පමණක් නොව ඔහුගේ බිරිඳ, දරුවන් ආදී සියල්ලන් දැඩි අපහසුවට පත්වී ඇති බවත් පවත්නා තත්වය තුළ ඇප නියම කිරීමට මෙම අධිකරණයට බලය නැතත් තමන් යුක්තියේ දෙවොලට පැමිණ තම කතාව කීමට තීරණය කළ බවත් සැළකරන ලදී.

 

අගතියට පත් පාර්ශවයේ කරුණු දැක්වීම..

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා මෙම විමර්ශනය අසම්පූර්ණ අවස්ථාවකදී මෙවන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෝෂ දර්ශනයට ලක්කරන ලදී. තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අවධානය යොමු කර ඇත්තේ පැලෝපීය නාලයට හානි සිදුකිරීම හරහා සිදුවන වඳභාවයට පත්කිරීම් සම්බන්ධයෙන් පමණක් බවත් කාන්තාවක වඳභාවයට ලක් කළ හැකි තවත් ක්‍රම පවත්නා බවත්, ඒ සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොසලකා හැර ඇති බවත් අධිකරණයේ අවධානයට යොමු කරන ලදී.

තවද අනවසර වන්ධ්‍යයකරණය දැනට ශ්‍රී ලංකාවේ පවත්නා දණ්ඩ නීති සංග්‍රහයේ හෝ වෙනත් පනතකින් අපරාධයක් ලෙස හඳුනා නොගන්නා බවත්, එය අමුතුම ස්වභාවයේ පද්ධතික අපරාධයක් බවත්, ඒ සඳහා විශේෂ අවධානය යොමුකළ යුතු බවත් ප්‍රකාශ කරන ලදී.

වෙනත් අපරාධයකදී වින්දිතයාට තමාගේ කන කපා ඇති බවත්, අත කපා ඇති බවත් වශයෙන් සිදුවූ හානිය භෞතිකව පෙන්වා සිටිය හැකි වුවද මෙවන් අපරාධයකදී තමන්ට සිදුවී ඇත්තේ කුමක්ද යන්න හෝ මෙම මව්වරුන් නොදන්නා බවත් අධිකරණයේ අවධානයට යොමුකරන ලදී. පද්ධතික අපරාධයක ස්වභාවය අනුව මෙහිදී මෙම වෛද්‍යවරයා විසින් සිදුකරන ලද සැත්කම් වලින් පසු කාන්තාවන් විශාල ප්‍රමාණයක් වඳභාවයට පත්වීමම ඔහු පිළිබදව සැකයක් ඇතිවීමට ප්‍රමාණවත් නොවන්නේදැයි ප්‍රශ්න කළේය.

තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිදුවීමේ වැදගත්ම සාක්ෂිකරුවා වන කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමුකරමින් ඔහුගේ උපදෙස් යටතේ විමර්ශනය සිදුකර නොමැති බවට අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා චෝදනා කරන ලදී.

එහිදී අදාළ අධ්‍යක්ෂවරයා විසින් සංඛ්‍යා ලේඛණ ආශ්‍රයෙන් වෛද්‍ය සාෆි විසින් කාන්තාවන් වඳභාවයට පත්කර ඇති බව ඔප්පු කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය සඳහා අත්‍යවශ්‍ය නොවන ප්‍රශ්නගත සැත්කම් සඳහා සහභාගි වූ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන්ගේ ප්‍රකාශ සටහන් කරමින් ඔවුන් ඒවා නොදුටු බව අධිකරණයට වාර්තා කිරීම දෝෂ දර්ශනයට ලක් කළේය.

මෙම වරදට ආධාර අනුබල දීමේ චෝදනාව එල්ල විය හැකි බැවින් එම සැත්කම් වලට සහභාගි වූ වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් සත්‍ය තත්වය ප්‍රකාශ කරතැයි අපේක්ෂා කළ නොහැකි බව නීතිඥවරයා අධිකරණයේ අවධානයට ලක්කලේය.

 

වඳ කළා කියන මව්වරුන්‌ගේ වඳ කම ගැන පරීක්ෂන එපා.. ඔවුන් මැරෙන්න පුළුවන්..

ඉන්පසු අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අධිකරණය ඇමතූ තවත් නීතිඥ මහතෙකු මෙම ප්‍රශ්නයේ ඇති මානුෂීය මුහුණුවර පිළිබඳව අධිකරණයේ අවධානයට ලක් කරන ලදී. එහිදී වඳභාවයට පත්වී ඇත්තේද නැත්තේද යන්න තහවුරු කරගැනීම සදහා අද දිනයේ අධිකරණයේ අවසරය ලබාගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකිරීමට යන පරීක්ෂණයෙන් එකී පරීක්ෂණයට භාජනය වන මව්වරුන් මඳ සරුභාවයට මෙන්ම මරණයට පවා පත්විය හැකි බව පෙන්වා දෙමින් එම පරීක්ෂණය සදහා නියෝග නිකුත් නොකරන ලෙස ඉල්ලා සිටින ලදී.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිළිතුර..

මෙහිදී අගතියට පත් පාර්ශවය වෙතින් තම දෙපාර්තමේන්තුවට එල්ල වූ දෝෂ දර්ශනය ප්‍රතික්ෂේප කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරයා තම දෙපරේතමේන්තුව මෙහිදී පූර්ණ විනිවිදභාවයකින් යුතු විධිමත් පරීක්ෂණයක් සිදු කළ බව අවධාරණය කලේය.

එහිදී හෙළිදරව් වන කාරණා නිසි පරිදි අධිකරණය වෙත වාර්තා කිරීම තම වගකීම බව සඳහන් කළ නිලධරයා අගතියට පත් පාර්ශවයට මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට තවත් සාක්ෂි ඇත්නම් ඒවා විධිමත්ව ඉදිරිපත් කිරීම මිස අධිකරණයේදී චෝදනා එල්ල කිරීම ඵලදායී නොවන බව පෙන්වා දුන්නේය.

 

සැකකාර පාර්ශවයේ ඉල්ලීම..

අවසාන වශයෙන් සැකකාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සමස්ත ක්‍රියාදාමය සම්බන්ධයෙන් වෛද්‍ය සාෆිගේ බිරිඳ විසින් දැනට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කර ඇති බවත් එහිදී ඉදිරිපත් කිරීම සඳහා අද දිනයේ ගොණු කරන ලද සම්පූර්ණ වාර්තා වල ලේඛන සහ කාර්ය සටහන් වල පිටපතක් නිකුත් කරන ලෙසයි.

 

අධිකරණ නියෝගය..

මෙම කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්තුමන් පැමිණිල්ල විසින් ඉල්ලා සිටි වෛද්‍ය පරීක්ෂණය නොපවත්වන ලෙසත්, මෙම සිදුවීමෙන් අගතියට පත් තවත් අය වේ නම් ඔවුන්ටද පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසත්, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සති දෙකකින් මෙම අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවටත් සැකකාර පාර්ශ්වය ඉල්ලා සිටි පිටපත් දින දෙකක් ඇතුළත නිකුත් කරන ලෙසටත් නියෝග කරමින් නඩුව කල්තබන ලදී.

(උපුටා ගැනීම - ලංකා ඊ නිව්ස් : නීතිඥ අතිල අතාවුද මහතාගේ තොරතුරු පදනම් කරගෙන සංස්කරණය කරන ලද වාර්තාවකි)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image