ප්‍රසම්පාදන කොමිසම අහෝසිකර බිලියන ගණන් මහජන මුදල් අවභාවිතා කිරීමට අවස්ථාව ලබාදුන්

ආකාරයටම මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ගන්නා උත්සහයේදී ඔවුන් තුළ ඇති චේතනාව ඉතා සැක සහිත බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.

ජනාධිපති ලේකම්ගේ නියෝගයකින් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම නීති විරෝධි මෙන්ම සාදාචාර විරෝධි බවද ඔහු අවධාරණය කර සිටියි.
ඔහු එබව සඳහන් කල අද (10) පැවති මාධ්‍ය හමුවකදීය.

 ජනතාව නිවැරදි පණිවිඩය අවශ්‍යම මොහොතේ ලබාදෙන්නේ කිසිවෙක් නොසිතන ආකාරයෙන් බවත්, වර්තමාන ආණ්ඩුවද ඒ බව තේරුම් ගන්නේ නම් එය ඉතාමත්ම යහපත් බවත් කරු ජයසුරිය එහිදී සඳහන් කළේය.

හිටපු කතානායකවරයා මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් මෙසේද සඳහන් කළේය.

 

ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට හානි කරන සිද්ධීන් :

''ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට දැඩි ලෙස හානි කරන සිද්ධීන් කිහිපයක් පසුගිය දින කිහිපය තුළ සිදුවී ඇති වී තිබෙනවා. එය කනගාටුවට කරුණක්.

පොදුවේ ගත්කල ප්‍රජාතන්ත්‍රවාදි ආයතන ශක්තිමත් කිරීම උදෙසා බෙහෙවින් ඉවහල් වූ ව්‍යවස්ථා සභාවෙහි ක්‍රියාකාරීත්වය අහෝසි කරමින් පාර්ලිමේන්තු සභාව නමින් නව ව්‍යුහයක් හදුන්වා දීමට රජය කටයුතු කලා. 

ඒ මඟින් සිදුවූයේ රටේ වැදගත් සියලුම ආයතන හැසිරවීම සඳහා එක් තනි පුද්ගලයෙකු වෙත බලතල ලබාදිමයි. 

එහෙත් මෙම තත්වයට එරෙහිව රට තුළ විශාල ජනමතයක් ගොඩනැගී ඇති බව රජය අද තේරුම්ගත යුතුයි.

මිලියන 21ක් පමණ වූ රටේ සමස්ත ජනජීවිතය එක් තනි පුද්ගලයෙකුගේ බලාධිකාරිත්වයට යට කිරීම නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම් බෙහෙවින් දුර්වල කර තිබෙනවා. සාධාරණත්වය ඉටුවේය යන අපේක්ෂාවන් අහිමිකර තිබෙනවා.

GOtabaya Rajapaksha He

''රටේ සමස්ත ජනජීවිතය එක් තනි පුද්ගලයෙකුගේ බලාධිකාරිත්වයට යට කිරීම නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම් බෙහෙවින් දුර්වල කර තිබෙනවා. සාධාරණත්වය ඉටුවේය යන අපේක්ෂාවන් අහිමිකර තිබෙනවා.''

එය එසේ වුවත් රටේ විවිධ පාර්ශව තුලින් මතුවූ විරෝධතාවයන් නොසලකා හරිමින්, නැත්නම් යටපත් කරමින් 20 වන සංශෝධනය මඟින් අත්පත් කරගත් බලතල අනුව පත්කරන ලද නව පාර්ලිමේන්තු සභාව මේ වනවිට කොමිෂන් සභා 07ක් සඳහා නව සාමාජිකයන් පත්කිරිමට එකඟත්වය ලබාදි තිබෙනවා.

 

ජනතාව අපේක්ෂා කරන යහපත් අරමුණු ඉටු වන්නේද ?

දැන් අප ගැඹුරින් අවධානය කල යුත්තේ ඒ මගින් මේ රටේ ජනතාව අපේක්ෂා කරන යහපත් අරමුණු ඉටු වන්නේද නැද්ද යන්නයි.

පැරණි ක්‍රමය තුල එනම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව විධායකයට තනි තීරණ ගැනීමට හැකියාවක් තිබුනේ නැහැ.

 උසස් පත්වීම් සිදුකිරීමේදී විද්වත් පාර්ශවයන්ගේද ඇතුළුව බහුවිධ අදහස් විමසිමක් ඒ තුළ සිදුවුණා. 

නුසුදුසු පත්විම් නැවැත්වීමේ හැකියාවක් එහිදී තිබුණා. 

මේ තමයි ශිලාචාර දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අනුගමනය කරන ක්‍රමවේදය. 

ස්වාධින කොමිෂන් සභා තුලින් මුළු රාජ්‍ය තන්ත්‍රයම නිර්දේශපාලනීයකරණය වුණා. මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු වුණා.

එහෙත් පසුගියදා කොමිෂන් සභා සඳහා පත්කල සමහර නව පත්වීම් පිලිබදව විමසා බලන විට එම ස්වාධීනත්වය කෙසේවත් අපි දකින්නේ නැහැ. 

''පසුගියදා කොමිෂන් සභා සඳහා පත්කල සමහර නව පත්වීම් පිලිබදව විමසා බලන විට එම ස්වාධීනත්වය කෙසේවත් අපි දකින්නේ නැහැ.''

ස්වාධීන ආයතන සඳහා පුද්ගලයන් පත්කිරීමේදී ඒ සඳහා නම් කරන පුද්ගලයන් කිසිම අයුරකින් ක්‍රියාකාරි දේශපාලන සම්බන්ධතාවයක් නොපවත්වන අය වියයුතුයි. 

නමුත් අද එම තත්වය ඒ ආකාරයට සිදුවී තිබෙනවාද? ආපසු හැරී බලන විට එදා පැවැති ස්වාධීන ආයතන අන්තර් ජාතික පිළිගැනීමට ලක්වුණා. 

මානව හිමිකම් කොමිසම, මැතිවරණ කොමිසම, තොරතුරු දැනගැනීම පනත හා තොරතුරු කොමිෂන් සභාව ආදී ආයතන එහිදී විශාල ගෞරවයක් උපයාගත්තා.

කොවිඩ් වසංගතය ඇතුළු විවිධ බාධක මධ්‍යයේ වුවත් පසුගිය මහා මැතිවරණයද ඊට පෙර පැවැති ජනාධිපතිවරණයද ඇතුළු මෑත යුගයේ පැවැත්වු සියලු මැතිවරණ නිදහස් හා ස්වාධීන ආකාරයට  පැවැතියේ ඒ නිසයි. එය අප සියල්ලන්ම පිළිගන්නා සත්‍යයක්.

පසුගිය දා එවැනි ආයතන සඳහා පුද්ගලයන් පත්කිරීමේදී ද පාර්ලිමේන්තු සභාව ඇතැම් වැදගත් සාමාජිකයන් සඳහා එකඟත්වය පලකර තිබුණත් සමහර නම් සලකා බැලිමේදී උදේ, දවල්, රාත්‍රියේ දේශපාලනයේ යෙදුන හා යෙදෙන පුද්ගලයන් ගණනාවක් ඒ අතරවීම ගැන අප තුළ දැඩි සංවේගයක් ඇති කර තිබෙනවා.

ඒ වෙනුවෙන් අපගේ බලවත් විරෝධයත් ප්‍රකාශ කරනවා.

election lankaස්වාධීන අපක්‍ෂපාත මැතිවරණයක් නොපැවැත්වුවහොත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් හඳුන්වන්න බැහැ.

ස්වාධීන අපක්‍ෂපාත මැතිවරණයක් නොපැවැත්වුවහොත්, පොලිස් සේවය, රාජ්‍ය සේවය දේශපාලනීයකරණය වුවහොත් එවිට ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් හඳුන්වන්න බැහැ. 

ජනතාව එවැනි තත්වයක් කිසිවිටක අනුමත කරන්නේ නැහැ.

මෙම පසුබිම තුළ අන්තර් ජාතික වශයෙන් රටක් ලෙස අප උපයාගෙන තිබූ ගරුත්වයට බරපතල හානි සිදුවේවි.

 අපේ රටේ ආර්ථිකයටද එමඟින් බරපතල අහිතකර තත්වයක් නිර්මාණය කරාවි. 
එසේ හෙයින් අපි රජයට ඉතාමත්ම සත්භාවයෙන් කියන්නේ යෝජිත සමහර නම් සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසයි. 

එසේ නොවුණහොත් දැඩි සමාජ විරෝධයක් ඇතිවිය හැකියි. 

එසේ වුවහොත් පුදුම වෙන්න එපා.

 

මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම !

මේ ආකාරයට රජය තවත් හිතුවක්කාර ක්‍රියාවක් කර තිබෙනවා. 

එනම් ජනාධිපති ලේකම්ගේ නියෝගයකින් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමයි. 

එය නීති විරෝධියි. 

සාදාචාර විරෝධියි. 

මහජන උපයෝගීතා කොමිසම බිහිකර ඇත්තේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරගන්නා ලද පනතක් මගිනුයි. 

එවැනි පනතක් අහෝසි කිරිමට නම් පලමුවෙන්ම ඒ සඳහා වන යෝජනාවකට කැබිනට් අනුමැතිය ගන්න ඕන. 

ඊට පස්සේ පාර්ලිමේන්තුව මඟින් එය සම්මත කරගත යුතුයි.

 ජනාධිපති ලේකම්ට මෙවැනි වැදගත් පනතක් අහෝසි කළ හැකිනම් අපි පාර්ලිමේන්තු පවත්වන්නේ ඇයි? 

මෙය පාර්ලිමේන්තුවට කල අපහාසයක් හා අවමානයක් වශයෙන් අපි දකිනවා.

''2002 වසරේදී මහජන උපයෝගීතා කොමිසම නිර්මාණය කිරීමට පාදක වු පනත පාර්ලිමේන්තුවට ගෙනආ මොහොතේ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස ඒ වෙනුවෙන් අපගේ ද පූර්ණ සහයෝගය ලබා දුන්නා. ''

2002 වසරේදී මහජන උපයෝගීතා කොමිසම නිර්මාණය කිරීමට පාදක වු පනත පාර්ලිමේන්තුවට ගෙනආ මොහොතේ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස ඒ වෙනුවෙන් අපගේ ද පූර්ණ සහයෝගය ලබා දුන්නා. 

ලෝකයේ දියුණු රටවල පවතින යහපත් ආදර්ශයන්ද සැලකිල්ලට ගෙන මෙම ආයතනය බිහිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ප්‍රබල ආයතන ගණනාවක් එහිදී රජයට සහය වූවා. 

අන්තර් ජාතිකව සැලකීමේදී ඉතාමත්ම ආදර්ශමත් පනතක් ලෙස එම පනතට විශාල පිළිගැනිමක් ලැබුණා.

මේ කොමිසම පාරිභෝගිකයා දැඩිලෙස ආරක්ෂා කරනවා. 

විදුලිය මිලදී ගැනීම්, විදුලි ගාස්තු අයකිරීමේදීත් මෙම ආයතනය ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. 

නමුත් ජනාධිපති ලේකම්වරයාගේ අනීතික නියෝගය ක්‍රියාත්මක වුවහොත් ඇතිවිය හැකි තත්වය කුමක්ද? එය ඉතාමත්ම ශෝචනීය විය හැකිය.

pbjජනාධිපති ලේකම්වරයාගේ අනීතික නියෝගය ක්‍රියාත්මක වුවහොත් ඇතිවිය හැකි තත්වය කුමක්ද? එය ඉතාමත්ම ශෝචනීය විය හැකිය.

ප්‍රසම්පාදන කොමිසම අහෝසිකර බිලියන ගණන් මහජන මුදල් අවභාවිතා කිරීමට අවස්ථාව ලබාදුන් ආකාරයටම මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ගන්නා උත්සහයේදී ඔවුන් තුළ ඇති චේතනාව අපට ඉතා සැක සහිතයි. 

මහජන උපයෝගීතා කොමිසමේ සියළුම සාමාජිකයින් ඔවුන් වෙත ලැබුණ ඉල්ලීමකට අනුව සිය කැමැත්තෙන් ඉල්ලා අස් වූ බවට ඊයේ දිනයේ වාර්තා වුණා.
 
එවැනි ඉල්ලීම් කිරීම නොමනා වැඩක් ලෙස අපි හඳුන්වන්නට කැමතියි. 

මීට ඉහත එක් අවස්ථාවක මෙවැනි සිදුවීමක් වුණා. 

ඒ අවස්ථාවේ දීත් එවකට පැවති ව්‍යවස්ථාදායක සභාව මේ ගැන ගරු අගමැතිතුමා දැනුවත් කළා. එතුමා අපගේ මතය සමඟ එකඟ වුණා.

මෙවැනි සිද්ධීන් නිසා මුළු පාර්ලිමේන්තුවම හෑල්ලුවට ලක් වන අතර පක්ෂ බේදයෙන් තොරව සියළුම ගරු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ගෞරවය රැකදීමට ඉදිරිපත් වන ලෙස අප ඉල්ලා සිටිනවා. 

මෙවැනි සිදුවීම් පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාවත් වාර්තා වී නැහැ.

KaruJaya''මෙවැනි සිද්ධීන් නිසා මුළු පාර්ලිමේන්තුවම හෑල්ලුවට ලක් වන අතර පක්ෂ බේදයෙන් තොරව සියළුම ගරු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ගෞරවය රැකදීමට ඉදිරිපත් වන ලෙස අප ඉල්ලා සිටිනවා. මෙවැනි සිදුවීම් පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාවත් වාර්තා වී නැහැ.''
- හිටපු කතානායක, කරු ජයසුරිය 

ඒ නිසා මේ පිළිබදව වන රජයේ ස්ථාවරය පැහැදිලි කිරීම ජාතික යුතුකමක් වෙනවා. 

එමෙන්ම අද අප මතුකළ අනෙකුත් කරුණු ගැනද රජය තම ස්ථාවරය පැහැදිලි කරනු ඇතැයි අප විශ්වාස කරනවා. මේ රටේ ජනතාව එවැන්නක් බලාපොරොත්තු වෙනවා. 

අප ඉදිරිපත් කල කරුණු කෙරෙහි ජනාධිපතිතුමා ඇතුළු රජයේ අවධානය යොමුකිරීම ඔවුන්ගේ ගෞරවය රැකගැනීමට අවස්ථාවක් ලෙස අපි දකිනවා.

ලංකා පුරවැසියන් බුද්ධිමත්, ඔවුන් සිටින්නේ අවදියෙන්.

 අතිතයේදි මේ රටේ පැවැති බොහෝ ආණ්ඩු පාලකයන් සිතා සිටියේද තමන් කරන කියන ඕනෑම දෙයකට ජනතාව නිහඩව බලාසිටින බවයි. 

නමුත් ජනතාව නිවැරදි පණිවිඩය අවශ්‍යම මොහොතේ ලබාදෙන්නේ ඒ කිසිවෙක් නොසිතන ආකාරයටය. 

වර්තමාන රජයද ඒ බව තේරුම් ගන්නේ නම් එය ඉතාමත්ම යහපත්ය.

''අතිතයේදි මේ රටේ පැවැති බොහෝ ආණ්ඩු පාලකයන් සිතා සිටියේද තමන් කරන කියන ඕනෑම දෙයකට ජනතාව නිහඩව බලාසිටින බවයි. නමුත් ජනතාව නිවැරදි පණිවිඩය අවශ්‍යම මොහොතේ ලබාදෙන්නේ ඒ කිසිවෙක් නොසිතන ආකාරයටය. වර්තමාන රජයද ඒ බව තේරුම් ගන්නේ නම් එය ඉතාමත්ම යහපත්ය.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්