රුසියානු ගුවන් සේවය වන එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයකින් එරට ධනවතුන් 200 කට
අධික පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණීමට නියමිතව තිබුණද එම ගුවන් ගමන අවලංගු කර ඇත.
 
යුරෝපය පුරා හදිසියේම පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය නිසා මෙම ගුවන් ගමන අවලංගු කර ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.
 
ඒ අනුව රුසියාවේ සිට ශ්‍රීලංකාවට පැමිණෙන ගුවන් ගමන් ලබන බ්‍රහස්පතින්දා (31) වන තෙක් අත්හිටුවා ඇති බව ගුවන්තොටුපල හා ගුවන් සේවා සභාපති මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි පැවසීය. 
 
කොවිඩ් - 19වසංගතය මධ්‍යයේ විදේශීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව නැවත විවෘත කිරීමට රජය ගන්නා උත්සාහයේ කොටසක් ලෙස රුසියානු සංචාරකයින් රැගත් ගුවන් යානය ඉරිදා (27) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ බව ඔහු පැවසීය.
 
මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි තවදුරටත් කියා සිටියේ, රුසියානු ගුවන් ගමන අවලංගු කර තිබුන ද, සංචාරකයින් පිරිසක් සමඟ යුක්රේනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ගුවන් යානයක් සඳුදා (28) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.
 
කෙසේවුවද, දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ විදේශීය සංචාරකයින් සඳහා ගුවන් තොටුපල නැවත විවෘත කිරීම සඳහා ලබන සඳුදා (28) සිට ජනවාරි 19 දක්වා නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට රජය සූදානම් වේ.
 
මෙරට පැමිණෙන එම ධනවතුන් කෙලින්ම හෝටල්වලට රැගෙන ගොස් PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතය. 
 
රුසියානු ධනවතුන් මෙරට ගෙන ඒමේ ව්‍යාපෘතිය, කලක් එරට ශ්‍රී ලංකා තානාපතිව සිටි උදයංග වීරතුංග විසින් මෙහෙයවනු ලබන්නක් බව පැවසේ.
 
 
හෙට (26) සිට යළි විවෘතයි : 
 
මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මෙහෙයුම් කටයුතු සඳහා හෙට (26) සිට යළි විවෘත කිරීමට නියමිතය.
 
ඒ අනුව වාණිජ සහ භාණ්ඩ ප්‍රවහන ගුවන් යානාවලට මෙරට ගුවන්තොටුපොළට පැමිණීමට සහ පිටවීමට අවසර හිමිවේ.
 
සෞඛ්‍යාරක්ෂිත උපදේශනවලට අනුව එම ක්‍රියාමාර්ග ගන්නා බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.
 
 
''මේක සංචාරක පොකුරක් වෙයි ද ?''
 
මේ අතර සංචාරකයින් සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරිමේ දී සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ ලිපියේ දෝෂ පවතින බව ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය ආයතනයේ සමාජික, ආචාර්ය මහේෂ් ප්‍රියදර්ශන ප්‍රකාශ කළේය.
 
"මේ ගුවන්තොටුපොළ විවෘත කරනවා සංචාරක ව්‍යාපාරය සඳහා. මේක විවෘත කිරීමේ දී අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වැඩපිළිවෙළ නිරෝධායන රෙගුලාසි නීතිරීති වැඩපිළිවෙල යටතේම සිදුකරන්න කියලා. ඒකට හේතුව ඊයේ පෙරේදා සංචාරක සංවර්ධන අධිකාරිය ලිපියක් නිකුත් කරනවා. ඒ ලිපියේ යම් යම් දෝෂ සහිත තත්ත්වයන් පවතිනවා. 
 
මේකට නමක් දාලා තියෙනවා අත්හදා බැලීමේ බුබුලක් කියලා. අපිට තියෙන ගැටලුව තමයි මේක සංචාරක බුබුලක් නෙමෙයි සංචාරක පොකුරක් වෙයි ද කියන එක. මෙන්න මේ ගැන වැඩි අවදානයක් යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා," යනුවෙන් ද අචාර්ය මහේෂ් ප්‍රියදර්ශන වැඩිදුරටත් පැවසීය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්